top of page

ගොටුකොළවලින් මතක ශක්තිය වඩන ඔසුවක්

 

ගොටුකොළ යනු ගෘහණියන් එදිනෙදා ආහාර වේල සඳහා යොදාගන්නා ගුණදායී ශාකයකි. විටෙක මැල්ලුමක් ලෙසත් සලාදයක් ලෙසත් කැඳක් ලෙසත් ගොටුකොළ භාවිත කරයි.

ශාක අතර විටමින් ඒ බහුලව අඩංගු ශාකය වන්නේද ගොටුකොළයි.

ගොටුකොළ භාවිත කරමින් රෝග සුව කිරීමට අවශ්‍ය ඔෟෂධ නිවෙසේ සිටම ඔබට සාදා ගත හැකි ආකාරය පිළිබඳ හැරපත්දෙණිය මහත්මිය අපට පැවැසුවාය.

“ගොටුකොළ කියන්නේ ශාක අතර සුවිශේෂතම ශාකයක්. අප එදිනෙදා ආහාර ගැනීමේදී භාවිත කරන අනෙක් මැල්ලුම් වර්ගවලටත් වඩා සෑම අතකින්ම ගුණාත්මක බවක් ගොටුකොළ ශාකයේ පවතිනවා. ඕනෑම  පුද්ගලයෙක් දෛනිකව ගොටුකොළ කැඳක් ලෙස හෝ මැල්ලුමක් ලෙස හෝ සලාදයක්  ලෙස ආහාරයට ගන්නවා නම් රෝග වැලඳීමේ අවදානම නැතිවීමත් වැලඳී ඇති රෝග සුවවීමේ ඔෟෂධීය ගුණයත් එමඟින් ලැබෙනවා.

 

ඒ වගේම තමයි අප එදිනෙදා භාවිත කරන මැල්ලුම් අතර විටමින් ඒ බහුලව ඇති පලා වර්ගය වන්නේ ගොටුකොළ. ගොටුකොළ කුඩා පඳුරක් ලෙස හටගෙන  වැලක් වගේ ඇදී යන ශාකයක්. සාමාන්‍ය ලෙස ගත්තොත් ගොටුකොළ ප්‍රභේද  2ක් තිබෙනවා. ඒ දෙක තමයි හීන් ගොටුකොළ සහ මහ ගොටුකොළ. වැඩියෙන්ම ගුණාත්මකභාවය සහ ඔෟෂධීය  ගුණය රදා පවතින්නේ හීන් ගොටුකොළවලයි. මහ ගොටුකොළ ඔෟෂධ සඳහා නොගත්තත් ආහාර සඳහා ගන්නවා. 

එහි පත්‍ර විශාලයි. රට ගොටුකොළ, යෝධ ගොටුකොළ ලෙසත් ඒවා හඳුන්වනවා. දිය සීරා ඇති ස්ථානවල විශාල වශයෙන් ගොටුකොළ ශාකය හට ගන්නවා. ඒ වගේම තමයි වෙනත් වගාවන් අතර අතුරු වගාවක්  ලෙසත් ගොටුකොළ ශාකය වවන්න පුළුවන්. ඒ වගේම පොල් වගාව සහිත භූමිවල යටි වගාවන් ලෙසත් ගොටුකොළ වවනවා.

 

 අපේ දේශීය ආයුර්වේදයට අනුව ගොටුකොළ කියන්නේ රෝග නාශක ගුණය සහිත ඔෟෂධයක්. මෙහි පත්‍ර ගෙම්බෙකුගේ පිටක් වැනි ස්වරූපයක් නිසා මේ ඔෟෂධය ආයුර්වේදයේ මණ්ඩුක පර්ණී යන නමින් හඳුන්වනවා. ඒ වගේම ආයුර්වේදයේ බ්‍රාහ්මී, දිව්‍යා යන නම්වලින් හඳුන්වන්නෙත් ගොටුකොළයි.

 

ගොටුකොළ ඔෟෂධයේ උද්භිද විද්‍යාත්මක නාමය Centella asiatica ලෙස හඳුන්වන අතර ගොටුකොළ Apiaceae (Cumbelliterae) කුලයට අයත් වේ. ගොටුකොළ ශාකයේ පත්‍ර නටු, වැනි සෑම ශාක කොටසක්ම දේශීය ආයුර්වේදයේ ඔෟෂධ නිෂ්පාදනයට ගන්නා බවද ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය අපට පැවැසුවාය.

“ගොටුකොළ ශාකයේ නටු සහ පත්‍ර අපි ඔෟෂධ සඳහා ගන්නවා. මේ ශාකයේ ඔෟෂධීය ගුණය බහුලව ලබාගන්න පුළුවන් අදාළ ඔෟෂධ සඳහා ගොටුකොළ ශාකය අමුවෙන්ම ගත්තොත් පමණයි. ඔෟෂධයක් සඳහා ගොටුකොළ වියළි ලෙසින් භාවිත කළ යුතු වුණොත් තද අවුවේ වියළා නොගෙන පවනේ වියළා ගත යුතුයි. එහි ඔෟෂධීය ගුණයට හානියක් නොවෙන්නේ එහෙම කළොත් විතරයි. ආයුර්වේදයට අනුව ගොටුකොළ කියන්නේ “මේධ්‍ය ද්‍රව්‍යයක්” ඒ කියන්නේ බුද්ධිය වර්ධනය කිරීමේ ඔෟෂධයක්. ගොටුකොළ කැඳ, සලාද, මැල්ලුම් දෛනිකව ආහාරයට ගන්නවා නම් ලොකු කුඩා සෑම අයකුගේම ධාරණ ශක්තිය සහ ස්මරණ ශක්තිය එමඟින් වර්ධනය වෙනවා. ඒ නිසා පාඩම් වැඩ කරන දරුවන්ට මතක ශක්තිය වර්ධනයට ගොටුකොළ ආහාරයට දීමත් ඉතාමත්ම ගුණදායකයි.

 

ඒ වගේම ඇතැම් පුද්ගලයන් වයසට යෑම නිසා මතක ශක්තිය  අඩු වෙනවා. ඔවුන්ටත් ගොටුකොළ ආශි්‍රත ආහාර ඉතාමත්ම ගුණදායකයි. ඇතැම් මානසික රෝග නිසාත් මතක ශක්තිය අඩු වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් උන්මාදය, මීමැස්මොරය (අපස්මාරය) ආදී රෝගවලට හොඳ ඔෟෂධයක් තමයි ගොටුකොළ කියන්නේ. විශේෂයෙන්ම ස්නායු පද්ධතියේ යහපැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක ඔෟෂධයක් නිසා මානසික රෝග පීඩාවන්ගෙන් පෙළෙන රෝගීන්ට ගොටුකොළ මැල්ලුම්, කැඳ, සලාද වගේ දේවල් වැඩි වශයෙන් ආහාරයට දීම වැදගත් වෙනවා.

 

ඒ වගේම තමයි ඕනෑම ශීර්ෂ රෝගයකට (හිසේ ආශි්‍රත රෝගයකට) ගොටුකොළ හොඳ වේදනා නාශකයක් සහ රෝග නාශකයක්. ඇතැම් අයට පීනස නිසා හිස රෝග වැලඳීමේ ප්‍රවණතාවක් පවතිනවා.  එවන් අයට පීනස  රෝගය වැලඳීමේදී ගොටුකොළ කොටා මිරිකා අරගත් යුෂ කෝප්පයක් පානය කිරීම ඉතාමත්ම යෝග්‍යයයි. 

මුත්‍රා පිටවීමේදී ඇති වන වේදනාව මුත්‍රා දැවිල්ල වගේ රෝග නැති කරලා මුත්‍රාශ්‍රය ආශි්‍රත රෝග සුව කිරීමේ ඔෟෂධීය ගුණයත් මේ ශාකය තුළ පවතිනවා.”

කුඩා දරුවන්ගේ පණු රෝග සඳහාද සමේ හටගන්නා තුවාල, දද, කුෂ්ඨ සඳහාද අර්ශස් රෝගය සඳහාද ආමාශය ආශි්‍රත බොහෝ රෝග සඳහාද ගොටුකොළ හොඳ ඔෟෂධයකි. මෙම අද්විතීය ශාකය සතුව පවතින කාබෝහයිඩේ්‍රට්, කැල්සියම්, ප්‍රෝටීන්, යකඩ, පොස්පරස් වැනි පෝෂ්‍ය පදාර්ථ නිසා මෙම ශාකය ධාරණ ශක්තියට මෙන්ම නින්ද නොයෑමට විසඳුමක් ලෙසින්ද භාවිත කළ හැකි බව ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පවසන්නීය. පීනස රෝගයෙන් පීඩා විඳින බොහෝ පුද්ගලයන්ට එයින් මිදීමේ අරමුණෙන්  ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය එයට පිළියමක්ද පැවැසුවාය.

 

“ගොටුකොළ පීනස රෝගයට ඉතාමත්ම ගුණදායී ඔෟෂධීය ආහාරයක්. ගොටුකොළ සලාදයක් ලෙස හෝ සම්බෝලයක් ලෙස හෝ මැල්ලුමක් ලෙස රතු ළුෑනු වැඩියෙන් දමලා පීනස ඇති අයකුට දින 4ක් පමණ දිනකට එක් වේලක් වන පරිදි ආහාරයට දෙන්න. පීනස රෝගයෙන් මිදෙන්න ඒක හොඳ ඔෟෂධයක්.

ඉගෙන ගන්න දරුවන්ගේ ධාරණ ශක්තිය වර්ධනයටත් ගොටුකොළ ගුණදායකයි. එළකිරි වීදුරුවකට දිනපතා පාන්දර ගොටුකොළ මේස හැදි 2ක් මිශ්‍ර කරලා ඉගෙන ගන්න දරුවන්ට බොන්න දෙනවා නම් ධාරණ ශක්තියට ස්මරණ ශක්තියට ඒ ඔෟෂධීය පානය ඉතාමත්ම ගුණදායකයි. ඒ වගේම තමයි විවිධ මානසික රෝග ඇති අයට උන්මාදය, අපස්මාරය වගේ රෝග ඇති අයට  ගොටුකොළ යුෂ මේස හැදි 2කට එළඟිතෙල් මේස හැඳි එකක් මිශ්‍ර කරලා දිනකට එක්වරක් බැගින් දෛනිකව පානය කරන්න. මානසික රෝගය සුව කිරීමට කරන ප්‍රධාන ප්‍රතිකාරවලට ඒක හොඳ සහායක ප්‍රතිකාරයක්.

 

අද බහුතරයක් කාන්තාවන් සහ පුරුෂයන් යන දෙපිරිස අතරම පවතින රෝගයක් තමයි හිසකෙස්  පැළීම. එවන් පුද්ගලයන් සති හතරක් පමණ කාලයක් සතියකට  දින 3ක් වගේ වන පරිදි ගොටුකොළ යුෂ අරගෙන හිසේ තවරන්න. පැය කිහිපයකට පසුව හිස සෝදන්න. සති 4ක් මෙම ක්‍රියාව සිදු කළොත් හිසකෙස් පැළීමට විසඳුම් ලබාගන්න පුළුවන්.

 

ඒ විතරක් නෙවෙයි ගොටුකොළවලට පුළුවන් ශරීරයේ විවිධ ස්ථානවලට රුධිරය සම්පාදනය කරන්න. පටක රෝපණය  වැඩි කිරීමේ හැකියාවක් ගොටුකොළ ඔෟෂධයේ  පවතිනවා. ඒ ගුණය නිසාම ගොටුකොළ කියන්නේ සැරව සහිත තුවාල සුව කිරීමට ආලේප  කළ හැකි රෝග නාශක ඔෟෂධයක්. සැරව ගෙඩි පැසවූ තුවාල  ඇති පුද්ගලයන් ගොටුකොළ තල තෙල් සමඟ අඹරා ඒ තුවාල මත ආලේප කරන්න. දින කිහිපයක් එම ක්‍රියාව කළ පසුව නිසි සුවයන් ලබාගන්න පුළුවන්. සැරව සහිත තුවාලවලට ගොටුකොළ තල තෙල්වලින් අඹරා ආලේප කළත් අලුත් තුවාල මත ආලේප කළ යුත්තේ ගොටුකොළ ඇල්දියෙන් අඹරාගෙන.

කුඩා දරුවන්ගේ පණු රෝගවලටත් ගොටුකොළ ගුණදායකයි. දරුවන්ගේ පාසල් නිවාඩු කාලෙදි පණු බෙහෙත්  බොන්න දෙනවාට වඩා ඔවුන්ට ගොටුකොළ දඬු සමඟ වලඟසහල් ස්වල්පයක් දාලා තම්බලා බොන්න දෙනවා නම් ඒක පණු රෝගවලට ඉතාමත්ම ගුණයි. මේ පානය සතියකට දෙවරක් බැගින් සති තුනක් පානය කිරීමට දීම උචිතයි.

 

ඒ වගේම  ලොකු කුඩා සැමට රුධිරය පිටවන අර්ශස් රෝගයට රුධිරය වහනය වීම වළක්වන්නත් මෙය හොඳ ඔෟෂධයක්. එවන් රෝගීන්ට එම අර්ශස් රෝග තත්ත්වයෙන් මිදීමට නිවසේ සිටම ඔෟෂධයක් සාදාගන්නා ආකාරය මම කියන්නම්. ගොටුකොළ ස්වල්පයක් අරගෙන රතුලූනු, සූදුරු, කොහිල අල කළං 3 බැගින් අරගෙන (ග්‍රෑම් 15 බැගින්) වතුර පත අටක් මිශ්‍ර කරලා මැටි මුට්ටියක තම්බන්න. පතඅට එකට සිඳුණට පසුව පෙරළා උදේට පත භාගයයි සවසට පත බාගයයි වන පරිදි දින හතක් මේ ඔෟෂධීය පානය බොන්න.”

 

අලුත උපන් බිලිඳුන් සඳහා කිරිදෙන මවුවරුන්ටද ගොටුකොළ ඉතාමත් ගුණදායක ඔෟෂධයක් වන අතර ගොටුකොළ කැඳක්, මැල්ලුමක්, සලාදයක් ලෙස දිනපතා ආහාරයට ගැනීම මවුවරුන්ගේ කිරි වර්ධනයටද හේතු වන බව ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය.

“ඒ වගේම යම් කිසි පුද්ගලයකුට  උදේට, හැන්දෑවට සෙම ගතිය හටගන්නවා නම් ගොටුකොළ කළං 6ක් අරගෙන රතුලූනු, ඉඟුරු පියලි, වියළි තිප්පිලි කළං 2 බැගින් අරගෙන වතුර පත 8ක් දමා පත එකකට සිඳුවා  උදේ සවස  පත භාගය බැගින් සතියක් බොන්න. සෙම් රෝගය සුවයට ඒක වටිනා ඔෟෂධීය කෂායක්.

ගොටුකොළ ඔබේ එදිනෙදා ආහාර වේලේ හොඳ ආහාරයක් කරගැනීම හරහා ඔබට ඔෟෂධීය ගුණය උපරිමයෙන්ම ලබාගන්න පුළුවන්. ඒ වගේම ඔබට පානය කරන්න වටිනා ඔෟෂධීය පානයක් මම කියන්නම්. ගොටුකොළ මඳ සෙවණක වියළා ගෙන (තද අව්වේ වියළීමෙන් ඔෟෂධීය ගුණය වියැකේ) වියළි ගොටුකොළ තේ කොළ ප්‍රමාණයට කුඩුකර ගෙන දිනපතා උදේ සවස තේ කොළ වෙනුවට ඒ කුඩු භාවිත කොට උණු වතුර දමා ඔබට පානය  කරන්න පුළුවන්. ඇත්තටම  මේක තේ පානය වගේම සීනි ස්වල්පයක් අරගෙන පානය කරනවා නම් ඉතාමත්ම  ගුණදායක ආහාරයක් වේවි.

 

ආයුර්වේදයේ දක්වා ඇති ඔෟෂධ වර්ග අතර හොඳ රසායන ගුණයක් ඇති ඔෟෂධයක් තමයි ගොටුකොළ කියන්නේ. වයසට යෑමේදී සෑම පුද්ගලයකුගේම හම රැලි වැටීම,  හිස කෙස් ඉදීම ආදී විවිධ වෙනස්කම් මතු වෙනවා. නමුත් දිනපතා උදෑසන  ගොටුකොළ යුෂ වීදුරුවක් පානය කරනවා නම් ඔබට වයසට  වඩා තරුණ පෙනුමක් ලබන්න පුළුවන්. මොකද ගොටුකොළ කියන්නේ හොඳ “වයස්ථාපන” ඔෟෂධයක්.

 

ගොටුකොළ ශාකය අගනා විස්මිත ඔෟෂධයක් කියලා අපේ පැරැණි වෙදැදුරුවරුන් හඳුනාගත්තේ මීට වසර දහසකට අධික අෑත අතීතයේ. අපේ ඉපැරැණි වෙදැදුරන්ගේ ඒ මතය තහවුරු කරමින් වර්තමානයේ නූතන වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු වෙලා තිබෙනවා ගොටුකොළ කියන්නේ මානසික රෝග සුවයටත්, ධාරණ ශක්තිය වර්ධනයටත්, වයසට යෑමේදී අඩුවන මතක ශක්තිය වර්ධනයටත් අර්ශස් ආදී රෝග රැසකටත් සුවය ලබා දෙන අගනා ඔෟෂධයක් කියලා. ඒ වගේම නින්ද නොයෑමේ රෝගයෙන් පීඩා විඳින්නන්ටත් ගොටුකොළ ඔෟෂධය ආහාරයක් හෝ පානයක් වශයෙන් ගැනීම යෝග්‍යයි.”

 

 

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page