top of page

දරුවා රාත්‍රිය වෙනතුරු පාඩම් කිරීම ද සුදුසු? විදුලි බල්බය නිවා නින්දට යාමද? ඔබේ පිළිතුර විදුලි බල්බය නිවා නින්දට යැවීම නම් දරුවාගේ මනස ගැන, සෞඛ්‍යය ගැන මනා අවබෝධයක් ඔබට තිබේ. හොඳ නින්දක් හොඳ අධ්‍යාපනයකට ද වැදගතය.

 

මාපියන්ගේ හද ගැස්ම, හුස්ම පොද වන්නේ දරුවන්ය. දරුවන්ව සුවෙන් සතුටෙන් තැබීම මාපියන්ගේ ඒකායන අරමුණයි. එහෙත් මේ වැඩි සෙනෙහස නරකට හේතුවන අවස්ථා එමටයි. මෑතකදී කරන ලද අලුත්ම පර්යේෂණ වලින් හෙළි වී ඇත්තේ ක්ෂණික ආහාර පාන දරුවන්ට අධික ලෙස ලබාදීම නිසා දරුවන් තරබාරු වන බවයි. මේ තරබාරුකම දරුවන් ළමාවියේ සිටම බෝ නොවන රෝගයක හෝ රෝග ගණනාවක ගොදුරක් වනවා පමණක් නොවෙයි.

 

නැණ නුවණින් ලොව ජයගන්න දරුවා මෙහෙයවන මාපියන්ට ද ඒ අරමුණ ඉටුකර ගැනීමට ක්ෂණික ආහාර නිසා (තෙල්, ලුණු, සීනි අධික ආහාර) ඉඩක් ලැබෙන්නේ නැත. මෙවැනි ආහාර නිසා දරුවන් ඉගෙනීමට දුර්වලයන් වෙයි.

 

විශේෂයෙන්ම මහත ගැහැණු ළමයි අනෙක් අයගේ හිංසනයට ලක් වීමට ද ඇති ඉඩ වැඩිය. තරබාරු ගැහැණු දරුවන් ගණිත විෂයට ද ඉතා දුර්වලයන් බව හෙළි වී තිබේ. සිරුර සිහින් කර ගත් පසු ඔවුන්ට ද අනෙක් දරුවන් මෙන්ම දස්කම් පෙන්වීමට හැකි බවද සොයාගෙන ඇත.දරුවන්ට වින කරන්නේ ක්ෂණික ආහාර පමණක් නොවෙයි. පුංචි තිරය ද දරුවාගේ සතුරෙකි. වසර අටක් පුරා කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ දරුවන් රූපවාහිනිය නරඹන කාලය වැඩිවන තරමට දරුවා නිදා ගන්නා කාලය අඩු බවය. එයින් දරුවාගේ සෞඛ්‍යයට සිදුවන්නේ විශාල තර්ජනයකි.

 

දරුවන් රූපවාහිනිය නරඹන සෑම අතිරේක පැයකටම නිදා ගන්නා කාලය මිනිත්තු හතකින් අඩු වෙයි. එපමණක් නොව වයස අවුරුද්දට වැඩි, රූපවාහිනිය නැරැඹීමට ඇබ්බැහි වූ දරුවන් අධි ක්‍රියාකාරී, ප්‍රකෝපකාරී, දඩබ්බර ජීවන රටාවකට හිමිකම් කියන බවද සොයාගෙන තිබේ. එපමණක් නොව සමාජ විරෝධි ක්‍රියාවන්ට පදනම ද එමඟින් වැටෙයි.ඒ වාගේම පුංචි තිරයට ඇබ්බැහි වූ මේ දරුවන් පමණට වඩා ආහාර ගැනීමට ද පෙළඹෙයි.

 

ස්ට්‍රැත්ක්ලයිඩ් පාසල් සරසවියේ අධ්‍යයනයකට අනුව පාසලට එක් බස් නැවතුමක් ඇවිදගෙන යාම හෝ බයිසිකලයෙන් යාමට පුරුදු කිරීම ඉතා වැදගත්ය. මෙසේ ඇවිදීමෙන් පියවර 1,627ක් පමණ තැබීමට හැකි වන අතර එය සෞඛ්‍ය වර්ධනය කරන පුවතකි.

 

එකම වේලාවකට නිදා ගැනීමට දරුවන් පුරුදු කළ යුත්තේ කාලසටහනකට වැඩ කිරීමට පුරුදු කළ යුතු නිසාම නොවෙයි. එක් වේලාවකට නින්දට නොයා සිතෙන සිතෙන වේලාවට නින්දට යාමෙන් දරුවන් චර්යාත්මක ගැටලු රැසකට මුහුණ පායි. අධික්‍රියාකාරීත්වය, සම වයසේ සිසුන් සමඟ ගැටලු ඇති කර ගැනීම මොවුන් අතර සුලබය.

 

මවක් කෙතරම් දරුවාට සෙනෙහෙ වැඩුවත් මව විෂාදයෙන් පීඩා විඳින්නේ නම් එය දරුවාගේ හැසිරීමේ ගැටලුවලට හේතුවෙයි. දරුවෙකු ඉපදී පළමු දෙවසරේදී මවක අධික ලෙස විෂාදයෙන් පීඩාවට පත් වුවහොත් එය දරුවාට ඉතා අහිතකර අයුරින් බලපායි. ළමා වියේදී වාගේම ගැටවර වියේදීත් මේ දරුවන්ගේ හැසිරීම් ගැටලු දැකිය හැකියි. එපමණක් නොව මාපියන් ආතතියෙන් සිටීම දරුවන්ගේ තරබාරුකමට ද හේතුවෙයි.

 

දරුවන්ට ආදරේ මාපියන් මූලික වශයෙන්ම කළ යුත්තේ දරුවන්ට ආදර්ශවත් වීමයි. මව්පියන් පුංචි තිරය සමඟ ගත කරන වෙලාව සහ පරිගණකය ඉදිරියේ ගත කරන කාලය දරුවන් පුංචි තිරයේ සහ පරිගණකයේ ගත කරන කාලයට බලපායි.

 

තරබාරු දරුවන්ගේ කෝටිසෝල් නම් ආතති හෝර්මෝනය ඉතා ඉහළය. වයස අවුරුදු 8 තරම් ළාබාල වයසේදී පවා කෝටිසෝල් හෝර්මෝනය ඉහළ ගොස් තිබෙන බව සොයාගෙන තිබේ. ආතතිය බොහෝ බෝ නොවන රෝගවලට හේතුවකි.

 

දරුවන් ඉදිරියේ දුම්පානය නොකිරීම පියකුට කළ හැකි ලොකුම යුතුකමකි. අක්‍රීය දුම්පානයෙන් දරුවන් බොහෝ ලෙඩ රෝගවලට ගොදුරු වෙයි. ඇදුම වැනි ස්වසන රෝග ඇතිවීමට පමණක් නොව කරන ප්‍රතිකාර අසාර්ථක වීමට ද පියාගේ අක්‍රීය දුම්පානය හේතු වෙයි.

 

සෑමවිටම දරුවාට සෙල්ලමට ඉඩ නොදී ඉගෙනීමට පමණක් යොමු කිරීමෙන් මාපියන් කරන්නේ ලොකු විනාශයකි. ඉන් මාපියන් උදුරා ගන්නේ දරුවාගේ සතුට පමණක් නොවෙයි. දරුවාගේ වර්ධන ක්‍රියාවලියට ද එය බාධාවකි.

 

ක්‍රීඩාවෙන් මිතුරන්ට ගෞරව කිරීම, මිත්‍රත්වයන් පවත්වා ගැනීම, හැඟීම් හුවමාරු කර ගැනීම වැනි සමාජ වර්ධන කටයුතු හොඳින් සිදු වෙයි. රෝගී, නිරෝගී සියලුම දරුවන්ගේ මානසික සුවතාවට ද ක්‍රීඩාව වැදගත් වෙයි.

 

පවුලේ අඬ දබර දරුවාගේ මානසිකත්වයට පමණක් නොව, ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපායි. මෙවිට දරුවා බැක්ටීරියා සහ වෛරස් රෝගවලට පහසුවෙන් ගොදුරු වෙයි.

ඔබ දරුවා කොතරම් හඳුනාගෙන සිටිනවාද?

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page