top of page

උපතේ සිට දිවි ඇති තෙක් දත් සුරැකිය යුතුය. නමුත් අප නොසිතන මොහොතක නොසිතන අයුරින් සිදුවන අනතුරකදී මුඛයට වන හානියක් නිසා දත් කැඩී බිදී යාමත් ගැලවී යාමත් සිදුවිය හැකියි. බොහෝවිට කුඩා දරුවන්ගේ කිරි දත් ගැන මවුපියන් වැඩි සැලකිල්ලක් නොදක්වන බව දන්ත සායනයවලට පැමිණෙන දරුවන් දෙස බැලීමේදී පෙනී යන කරුණකි.

 

දරුවන්ගේ ක්‍රියාකාරකම් ඇති වන සමය වනවිට දරුවන්ට සිදුවන මුඛ අනතුරු ද වැඩි වේ. මේ අනතුරු නිසා කිරි දත් කැඩී යාම මෙන්ම ගැලවී යාමට ද හැකියාව ඇත.

 

කිරි දත්වලට සිදුවන අනතුරකදී ස්ථීර දත්වලට ද හානි පැමිණවිය හැකි නිසා එවැනි අනතුරු අවස්ථාවකදී දරුවාගේ දත් පිළිබඳ මවුපියන් වැඩි අවධානයක් යොමු කළ යුතුය.

 

අනතුරකින් හානියට පත්වන කිරි දත් ආරක්ෂා කරගන්නා ආකාරය පිළිබඳව මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්ත ජයසේකර මහතා දැක්වූ අදහස් මෙසේයි.

 

අනතුරකදී මුඛයට සිදුවන හානිය නිසා ප්‍රධාන ලෙස දත්වලට බලපෑම් ඇතිවිය හැකියි. එමෙන්ම දිව, තල්ල, තොල, හකු ඇටය, දත් සහ විදුරුමසට සිදුවන හානිය මුඛ අනතුරු ලෙස සලකනවා.

 

මුඛ අනතුරු සිදුවිය හැකි අවදානම් කාල අතරින් ළමා කාලය විශේෂත්වයක් ගන්නවා. දරුවා ඇවිදීමට උත්සාහ ගන්නා මුල් කාලයේදී මුඛ අනතුරු ඇතිවීමේ වැඩි ඉඩක් පවතිනවා. ඊට අමතරව පාසලේ ක්‍රීඩා කටයුතු වලදීත්, දරුවා ක්‍රියාකාරකම් ආරම්භ කරන අවධියේදීත්, දරුවන් අතර ගැටුම් ඇතිවන අවස්ථාවන් වලදීත් දත්වලට හානි සිදුවිය හැකියි.

 

දරුවාගේ කිරි දත් ඇති කාලයේදී සිදුවන අනතුරු නිසා දත මතුපිට එනමලයට හානි සිදුවිය හැකියි. දත ඇතුළත හානියක් සිදු වී නොමැති නම් කිරි දත් සමයේදී ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැහැ.

 

නමුත් දත කැඩී යාම නිසා තොල්වලට යම් බලපෑමක් ඇතිවන්නේ නම් දතේ තියුණු බව අඩු කරලීමට ප්‍රතිකාර කළ හැකියි.

 

අනතුර නිසා දතේ දන්තිනයට හානි වී ඇත්නම් එම දත පිරවීම කළ හැකියි. ස්නායු හා රුධිරවාහිනී පවතින, දතේ කල්ක කුහරයට හානි සිදුව ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.

 

අනතුරෙන් දත විදුරුමස ඇතුළට යාම හෝ දත ඇදවීමක් සිදුව ඇත්නම් (විදුරුමසෙන් එළියට පැමිණීම) දන්ත වෛද්‍යවරයා වෙත යොමු වීමෙන් පසු දත නැවත ස්ථාන ගත කර ගත හැකිද, දත ගැලවිය යුතුද යන්න තීරණය කරනවා.

 

සමහර අවස්ථාවලදී කිරි දත යමක වැදී විදුරුමසින් රුධිරය ගැලීමක් පමණක් සිදුවිය හැකියි. එවැනි අවස්ථාවලදී කිසිවක් නොකොට ස්ථීර දත නියමිතව පැමිණෙනවාද යන්න සොයා බැලිය යුතුයි.

 

එමෙන්ම දරුවා අනතුරට පත් වූ දින සිට සතියක් පමණ යනතුරු මෘදු ආහාර පමණක් දරුවාට ලබාදිය යුතුයි. දත කැක්කුම, දත මුල ගෙඩි හට ගැනීම එවැනි අවස්ථාවලදී සිදුවිය හැකියි.

 

දතේ වර්ණය වෙනස් වීම රතු පැහැයක් හෝ කාලයකට පසු අඳුරු වර්ණයකට ලක් වීම සිදුවිය හැකියි. දත හැලී යනතෙක් ආරක්ෂා කර ගැනීම සඳහා කිරි දත් සඳහා ද ස්නායු පිරවුමක් කළ හැකියි. කිරි දත් හැලී යන තෙක් තබා ගැනීම වැදගත් වෙනවා.

 

දරුවාගේ කිරි දත් යමක වැදුණු විට එහි හානියේ ස්වභාවය තේරුම් ගැනීම වැදගත් වෙනවා. කිරි දතට ඉහළින් ස්ථීර දත වැඩෙන නිසා කිරි දත යමක වැදීමෙන් ස්ථීර දතට ද හානි සිදුවිය හැකියි.

 

එවැනි අවස්ථාවකදී ස්ථීර දත පැමිණියත් ස්ථීර දතේ සුදු ලප හෝ ඊට වැඩි හානියක් වුවද පෙන්නුම් කළ හැකියි. මේ නිසා දරුවන්ගේ දත්වලට සිදුවන අනතුරු පිළිබඳව වැඩිහිටියන් හොඳ අවබෝධයකින් සිටිය යුතුයි.

 

කිරි දතක් යම් අනතුරකදී ගැලවී යාමකට ලක් වුවහොත් ස්ථිර දත් මෙන් නැවත සවි කිරීමක් කෙරෙන්නේ නැහැ.

 

ස්ථීර දත් ආරක්ෂා කර ගැනීමට නම් කිරි දත් පෙළ ද ආරක්ෂා කර ගැනීම වැදගත් වෙනවා.

ඇතැම් මවුවරු දරුවන්ගේ කිරි දත් ගැන සැළකිල්ලක් දක්වන්නේ නැහැ

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page