top of page

එන්න එන්නම සායනවල එහෙමත් නැත්නම් ළමා වාට්ටුවල පුංචි දරුවෝ බොහොම දෙනෙක් දකින්න ඉන්නවා. හරියටම බෝවෙන රෝගයක් පැතිරිලා ගිහින් වගේ. කරුණු සොයා බලද්දී දැනගන්න ලැබුණේ, ගෙදරදී, ගේ අවට පරිසරයේදී, දෙමාපියන් සමඟම ඉන්නා විටකදී සිදුවුණ අනතුරුවලින් තුවාල ලබපු පුංචි දරුවෝ තමයි මේ වාට්ටුවල පිරිලා ඉන්නේ කියලයි.

 

සමහර පුංචි දරුවෙක්ගේ ඇහැ ළඟම ලොකු තැල්මක්. තවත් දරුවෙක්ගේ අතක් නැත්නම් කකුලක් වෙලුම්පටිවලින් ඔතලා. තවත් කෙනෙක් මුහුණේ ඉදලා පහළටම වතුර බිබිලි එක්ක පිළිස්සුම් තුවාල නැත්නම් ලොකු කැපුම් තුවාලයක්. කොහොමද මේ පුංචි පැටව් මේ තරමටම තුවාල කරගන්නේ....?

 

මේ ප්‍රශ්නයට පිළිතුරු හොයන්න අපි මුණ ගැසුණේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය පේරාදෙණිය ශික්ෂණ මහ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂාර කුඩගම්මන මහතායි.

 

මේ කතිකාවට ආරම්භයක් විදිහට මෑතකදී සිදු වුණු අතිශයින්ම කණගාටුදායක සිද්ධියක් ගෙන ආ හැකියි. වයස අවුරුදු තුනක පුංචි හුරුබුහුටි දුවක් රැගෙන අම්මා තාත්තා පුංචි අම්මලා ආච්චි සීයා මේ හැමෝම වාට්ටුවේ පිරුණා. බලද්දී පුංචි බබා ප්ලාස්ටික් මලක් කටේ දාගෙන ඉදලා එකපාරම ගිලලා. වාට්ටුවට ඇතුලු කරලා පැය කිහිපයක් මේ පුංචි දරුවා මිය ගියා. අර වාට්ටුවට දුවගෙන ආපු ඥාතීයෝ ටික ගෙදරදී මේ පැටියාගේ වැඩ ගැන ඇහැ ගහගෙන හිටියා නම් මේ තරම්ම ලොකු කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ. වැඩිහිටියෝ විමසිල්ලෙන් සිටිනවා නම් පුංචි දරුවෝ අනතුරුවලට ලක්වන්නේ නැහැ. දරුවන්ගේ වයස අනුව අනතුරකින් ආරක්ෂා කර ගැනීමට දෙමව්පිය වැඩිහිටියෝ උනන්දු විය යුතු අතරම කාලය සමඟ දරුවෝ ටික ටික ලොකු වෙද්දී අනතුරක තිබෙන බරපතලකම ආදරෙන් දරුවන්ට කියා දිය යුතුමයි.

 

හිටි හැටියේම දරුවන් අනතුරකට ලක්වන අවස්ථා රැසක් තිබෙනවා.

 

සෙල්ලම් කරමින් සිටියදී

ආහාර ගැනීමේදී

ජලය සමඟ කටයුතු කිරීමේදී

සුරතල් සතුන් අසළ සිටියදී

අනතුරකට ලක්වන අවස්ථා ද වයස් කාණ්ඩ අනුව වෙනස් ස්වරූප ගන්නවා.

 

වයස අවුරුදු දෙකකට අඩු වයසේ දරුවන් සෙල්ලම් කරමින් සිටින අවස්ථාවල ලක්වන ප්‍රධාන අනතුර, යමක් කටේ හෝ නාසයේ හෝ කනෙහි සිර කර ගැනීමයි. එවිට සිර කර ගන්නා ද්‍රව්‍යයේ ස්වභාවය මත අනතුරෙහි ස්වභාවය අඩු හෝ වැඩි වෙනවා. නාසයේ හෝ කනේ හෝ කටේ දා ගත් ද්‍රව්‍ය, ප්ලාස්ටික් ද විද්යුත් බැටරියක් ද, ගෙඩියක් ද, ඇණයක් හෝ ඒ ආශි‍්‍රත දෙයක් ද යන්න මත, දරුවාගේ ජිවිතය පවා තීරණය වෙනවා. පුංචි කොටස් ගැලවිය හැකි සෙල්ලම් බඩු, බැටරි යොදන සෙල්ලම් බඩු, (වයින් කරන) පණ ගැන්වීමේ යතුරු සහිත සෙල්ලම් බඩු වයස අවුරුදු තුනට අඩු දරුවන්ට ලබා දෙන්න එපා. යැයි අවවාද කර ඇත්තේ මෙම අනතුරු අවම කිරීමේ අරමුණින්මයි.

 

වයස අවුරුදු හතරට වැඩි දරුවන්ට බයිසිකල් පැදීම, ක්‍රිකට් සෙල්ලම් කිරීම වැනි ක්‍රීඩාවලදී සිදුවන අනතුරු බහුලයි. බෝලය වැදීමෙන්, බයිසිකලයෙන් බිමට වැටීමෙන් ආදී අනතුරුවලින් විටෙක අත් පා බිදීමට ද ඉඩ තිබෙනවා. දරුවන්ගේ උසට බරට වයසට සරිලන බයිසිකල් ලබා දීමටත්, බෝලය වුවද වයසට ගැලපෙන පරිදි ලබා දීමටත් වැඩිහිටියෝ සැලකිලිමත් වෙන්න ඕනෑ.

 

බොහොමයක් අවස්ථාවල දරුවෝ අනතුරට ලක්වන්නේ නිවස තුළදීමයි. ජනෙල් කූඩු උඩ නැඟීමෙන්, පඩිපෙළ උඩට නැඟීමෙන්, වහලයට නැඟීමෙන් වැනි අවස්ථාවලදී දරුණු අනතුරුවලට ලක්වන අවස්ථා තිබෙනවා. පුංචි දරුවෝ හොඳ නරක ගැලපෙන නොගැලපෙන දේ දන්නේ නැහැ. එම අවස්ථාවල දරුවාට උදව් දෙමින් ආරක්ෂා කරගත යුත්තේ, වැඩිහිටියන් විසින්මයි.

 

ආහාර ගැනීමකදී දරුවන් අනතුරකට පත්වන්නේ නොදැනුවත්කම මුල් කරගෙනයි. කුඩා අවධියේදී ලොකු ආහාර කැබලි ගිලීමෙන්, වාහනයක යනවිට වෙරළු, රඹුටන්, නෙල්ලි වැනි පලතුරු කටේ දමාගෙන සිටීමෙන්, එකවර නොසිතූ අවස්ථාවක උගුරේ හෝ ස්වසන මාර්ගයේ හෝ සිරවීමෙන් අනතුරකට ලක් වීමේ ඉඩක් පවතිනවා.

 

ජලය සමඟ කටයුතු කිරීමේදී, පුංචි දරුවන්ට ජලයේ ගිලීම පිළිබඳ අවබෝධයක් ඇත්තේම නැහැ.

 

වයස අවුරුදු 2,3,4 වයසේ පසුවන දරුවන් වුවත් නිවසේ ජල ටැංකිය තුළදී මිය ගිය අවස්ථා අප දැක තිබෙනවා. දියේ ගිලීමක් කියන්නේ පුංචි දරුවෙකුට අඩියකට තරමක් වැඩි ජලය පිරවූ ඕනෑම අවස්ථාවක් විය හැකියි.

 

ඇතැම්විට වැඩිහිටියෝ පුංචි දරුවෝ නාවන්න බේසමට වතුර දාලා දරුවාත් බේසමට දාලා සබන් හොයනවා ෂැම්පු හොයනවා. මේ අනතුරකට අත වැනීමක්. අම්මාගේ අවධානය බිදෙන විනාඩිය දරුවාට අනතුරක් ඇතිවන අවස්ථාවක්  විය හැකියි.

 

සුරතල් සතුන් ඇසුරේ දැවටෙන පුංචි දරුවෝ සතාගෙන් වන හානිය අදුරන්නේ නෑ. සත්තු වුවත් සෙල්ලමට කැමති නිසා දරුවෝ පිටි පස්සේ එහාට මෙහාට යනවා. හැබැයි සතාට රිදුනොත් මේ පුංචි දරුවෙක් කියලා හිතන්නේ නෑ. හපනවා නැත්නම් සූරනවා. මෙය අනවශ්‍ය කරදරයක්. දරුවෙක්, දිහා අවධානය යොමු කරන්න බැරි වැඩිහිටියෝ සතුන් නිවසේදී ළං කර නොගන්න වගබලා ගැනීමෙන් අනතුරු වළක්වා ගත හැකියි.

 

වැඩිහිටියෝ එක්ක ආදරෙන් රැඳෙන්න, වැඩිහිටි වැඩවලට අතපොවලා උදව් කරන්න පුංචි පැටව් බොහෝම කැමතියි. කුස්සියේ ඇඳුම් මදින තැන දරුවෝ ඉන්න වෙලාවට වැඩිහිටියෝ හොඳ සිහි කල්පනාවෙන් කටයුතු කරන්නම ඕනි. උණු වතුර, පිහිය, ගෑරුප්පුව පමණක් නොවෙයි හැන්දක් වුණත් අනතුරක සේයාව විටෙක පෙන්වනවා. අපි කලබලේට මුළුතැන්ගෙයි වැඩ කරද්දී පුංචි පැටවුන්ගේ ඇස්, හිස, මුව තිබෙන්නේ වැඩිහිටි අපේ වැලමිට ආසන්නයේ බව කියලා හිතන්නේම නෑ.

 

පුංචි දරුවන්ට නිතරම පෙනෙන්නේ ඇස් මට්ටමට වඩා ටිකක් ඉහළින් තිබෙන දේවල්. ඒ නිසාම පැටව් ගින්දර අදිනවා දිලිසෙන දේ අදිනවා. වස විෂ එහෙමත් නැත්නම් රසායනික ද්‍රව්‍ය පවා දරුවන්ගේ මුවට හැලෙන්නේ ඒ නිසයි.

 

මේ පිළිබඳ හොඳ අවධානයකින් කල්පනා කරන විට අපට දැනෙන එකම දෙය, තව ටිකක් විමසිල්ලෙන් වැඩ කලා නම්, අනතුරක් වළක්වා ගත හැකියි කියලයි.

 

කාර්යබහුලව දිනය ගෙවන කාට වුණත් රෝහල්වල රැඳෙන්න, තමන්ගේ පුංචි පැටියා දුක් විඳිනවා බලන්න හරිම අමාරුයි. අනවශ්‍ය දුකක් කරදරයක් හිතට ගන්නෙ නැතුව ඉන්න හොඳම විසඳුම නම්, ඕනෑම කටයුත්තක් පිළිබඳව විමසිලිමත් වීමයි.

කුඩා දරුවන්ට වැඩිපුරම අනතුරු සිඳුවන්නේ නිවසේදීයි

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page