top of page

ඔබ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගත යුත්තේ ඇයි? ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග මොනවාද? යන්න පිළිබඳව මෙවර ලිපිය යටතේදී තවදුරටත් විමසා බලමු.

 

විවිධ එන්නත්වල අතුරු ආබාධ තිබේද?

ප්‍රතිශක්තිකරණ එන්නත් මූලිකවම නිෂ්පාදනය වූයේ වසූරිය රෝගය සඳහායි. නමුත් මෙම ආරම්භක අවධියේ නිෂ්පාදිත එන්නත් එතරම් ආරක්ෂාකාරී නොවූ අතර අතුරු ආබාධ ද ඇතිවිය. නමුත් වර්තමානයේ තිබෙන එන්නත්වල නම් අතුරු ආබාධ ඇතිවිය හැක්කේ ඉතාම අල්ප වශයෙනි. ඒ නිසා අතුරු ආබාධ පිළිබඳව එතරම් බියක් ඇති කරගත යුතු නොවේ. එහිදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේ ප්‍රතිශක්තීකරණ එන්නත ලබා ගැනීම සඳහා හේතු වූ රෝග අවදානම පිළිබඳවයි.

 

දරුවන් ඉපදුණු අවස්ථාවේදී දරුවාට එන්නතක් ලබා දීමට වෛද්‍යවරු නිර්දේශ කළ විට මව්වරුන්ගේ ප්‍රධාන ගැටලුව බවට පත්වන්නේ එම එන්නත නිසා දරුවන්ට ඇතිවන අතුරු ආබාධ මොනවාද යන්න පිළිබඳවයි.

 

එය ඇත්තෙන්ම සාධාරණ ගැටලුවක් වුවත් දැනට තිබෙන එන්නත්වල අතුරු ආබාධ ඉතා අවම තත්ත්වයක පවතින නිසා ඒ පිළිබඳව මව්වරුන් බියක් ඇති කරගත යුතු නොවේ. ඊට හේතුව පෙර පැහැදිලි කළ ආකාරයට එම එන්නත නිසා දරුවාට ඇතිවන හිතකර ප්‍රතිඵල ප්‍රමාණය අහිතකර ප්‍රතිඵල වලට වඩා ඉතාමත් වැඩි වීමයි.

 

එන්නත් ඛාණ්ඩ මොනවාද?

එන්නත් වර්ග ජීවී, අජීවි හා ධූලකාබ ලෙස වර්ග වේ. මෙම ඛාණ්ඩ ත්‍රිත්වය යටතට සෑම එන්නත් වර්ගයක්ම වර්ග කළ හැකි වේ. ඒ වගේම එක් එක් රෝගවලට පවතින එන්නත් වර්ග ද විවිධ වේ.

 

මෙම ජීවී එන්නත් ගර්භණී මව්වරුන් හා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා ඇති අය හැරුණු විට වෙනත් ඕනෑම අයෙකුට ගැටලුවකින් තොරව ලබාදිය හැකි අතර මඟින් ශරීරයට ඇතිවන ප්‍රතිශක්තිය දීර්ඝකාලීන වේ.

 

නමුත් ඇතැම් අවස්ථාවල එන්නත ලබාදී දින 10 - 14ක් තුළ සුළු වශයෙන් රෝගයේ ලක්ෂණ ඇතිවිය හැකියි. නමුත් එය ඉතාමත් දුර්ලභ දෙයක් වන අතර මෙම එන්නත ජීවිත කාලයටම ලබා දිය යුත්තේ අඩු මාත්‍රා ගණනකි.

 

ජීවි එන්නත් ලබා දෙන රෝග අවස්ථා ලෙස කම්මුල්ගාය, පැපොල, සරම්ප, රුබෙල්ලා, පිළිබඳ හඳුන්වා දිය හැකිය.

 

අජීවී එන්නත්වල වාසි සහගත බව වන්නේ එම එන්නත් ලබා දීමෙන් පසුව රෝගය ඇති වීමේ කිසිදු අවකාශයක් නොමැති වීමයි. එම අජීවි එන්නත් මඟින් දිගුකාලීන ප්‍රතිශක්තියක් නොලැබෙන බැවින් අවශ්‍ය කරන ප්‍රතිශක්තිය සඳහා එන්නත් තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාදිය යුතුය.

 

අජීවි එන්නත් ලබා දෙන අවස්ථාවන් සඳහා උදාහරණ ලෙස ජලභිතිකාව, හෙපටයිටීස් ඒ රෝගය, ජපන් එන්සෙෆලයිටීස් (මොලයේ උණ) ආදිය පිළිබඳ හඳුන්වා දිය හැකිය.

 

ධුලකාබ ලෙසින් හඳුන්වන්නේ ප්‍රතිදේහ නොවේ. යම්කිසි රෝග කාරක බැක්ටීරියාවක් අපගේ ශරීරයට ඇතුල් වූ විට එමඟින් යම් විෂක් නිකුත් කරනු ලැබේ. ධූලකාබ මඟින් එම විෂ ද්‍රව්‍යවල ශක්තිය හීන කර එන්නතක් වශයෙන් ශරීරයට ලබා දේ. එම ධූලකාබ එන්නත් ලෙස ලබාදෙන රෝග අවස්ථා සඳහා උදාහරණ වන්නේ පිටගැස්ම හා ගලපටලයයි.

 

ඒ වගේම නවීන ජාන විද්‍යාව යොදා ගෙනද ඉතාමත් ක්‍රියාකාරී ඒ වගේම ආරක්ෂාකාරී එන්නත් මේ වනවිට නිපදවා තිබේ. ඊට උදාහරණයක් ලෙස හිමෝ ෆීලස් ඉන්ෆ්ලුඑන්සි එන්නත පිළිබඳව හඳුන්වා දිය හැකිය. මෙම එන්නත රජයේ පුළුල් ප්‍රතිශක්තිකරණ වැඩසටහන මඟින් ලබාදෙන එන්නක් ද වේ.

 

ඊට අමතරව නියුමෝකොකල් නැමැති එන්නතක් ද ලබාදෙන අතර එම සියලු එන්නත් ජාන විද්‍යාව උපයෝගී කරගෙන නව තාක්ෂණික ක්‍රම මඟින් නිපදවා තිබේ. මෙම එන්නත් මඟින් අතුරු ආබාධ ඉතා අඩු ප්‍රමාණයක් ඇති වන අතර ඉන් ඇතිවන ප්‍රතිශක්තිය ද දීර්ඝකාලීන වේ. 1978 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය මත සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් පුළුල් ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් ලංකාව තුළ ක්‍රියාත්මක කරන ලදී.

 

නියමිත වයස් සීමාවන්වලදී සෞඛ්‍ය අමාත්‍යංශයේ මුළු දිවයිනම ආවරණය වන පරිදි ගම් මට්ටමින් ඇති සායන මඟින් මෙන්ම රජයේ රෝහල් මඟින් ඉහත ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුළත් සෑම එන්නතක්ම නියමිත වයස් සීමාවේදී නොමිලේ ලබාදෙනු ලැබේ. ඒ නිසා තමාගේ දරුවන්ගේ නිරෝගීකම පිළිබඳ සැලකිලිමත් වන දෙමාපියන් අනිවාර්යයෙන්ම දරුවන්ට මෙම එන්නත් ලබා දීමට වගබලා ගත යුතුයි.

 

නමුත් ඇතැම් දෙමාපියන් තමාගේ කාර්ය බහුලත්වය නිසා දරුවන්ට එන්නත් නියමිත වයසේදී ලබා නොදීම නිසා ඔවුන් බෝවන රෝගවල ගොදුරු බවට පත් වන අවස්ථා ඇත.

 

ඒ නිසා පරිසරය ආශි‍්‍රත ඇතිවන රෝග කාරක විසබීජ (විශේෂයෙන් වෛරස් වර්ග මුල් කරගත් රෝග) ශරීරයට ඇතුල් වී භයානක මට්ටමේ රෝග ඇති කරවිය හැකියි. මෙය වර්තමානය වන විටද බොහෝදුරට දැකගත හැකි නිසා එක් එක් වයස් සීමාවන් වලදී නිර්දේශිත එන්නත් දරුවාට ලබා දීම දෙමාපියන්ගේ යුතුකමකි.

ඔබේ දරුවා බෝවන රෝගයක ගොදුරක් වෙන්නට ඉඩ දෙන්න එපා!

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page