top of page

අපේ බබා කක්කා දාන්න කැමතිම නෑ අනේ. එයා හරියට අප්පිරියා කරනවා ඒ වැඩේට. වෙලාවකට සැර කරලයි දම්මන්නේ. අපේ බබත් වෙලාවකට දවස් තුන හතර කක්කා නොදා ඉන්නවා. අන්තිමට කෑම කන එකත් අත ඇරලා දානවා. නවීන පන්නයේ බහුතරයක් අම්මලා අතරේ ඇහෙන කතාබහක් තමයි ඒ. පුංචි දරුවන්ගේ කටට කෑම ටික කොහොමහරි තල්ලු කරන්න හදන දැන් කාලේ සමහර අම්මලා පුංචි පැටව් සොබාදහමත් එක්ක ගැටෙමින් ජීවත් කරවන්නත්, කලට වෙලාවට වැසිකිලිය කැසිකිලිය පුරුදු කරවන්නත් උනන්දු වෙන්නේම නැහැ. 

 

මේ නිසා නිරපරාදේ පුංචි දරුවෝ දුක් විඳිනවා විතරක් නෙවෙයි, සදාකාලික රෝගීන් ද වෙනවා.

 

මේ හානිදායි තත්ත්වය නැති කරන්න දැන් කාලය එළඹිලා. පුංචි දරුවෝ ඇයි වැසිකිලි යාම ප්‍රතික්ෂේප කරන්නේ? අපි‍්‍රය කරන්නේ? මේ නිසා සිදුවන්නේ කුමන මට්ටමක අයහපතක් ද කියලා අප ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකගෙන් විමසා සිටියා.

 

ඇය, මහනුවර ශික්ෂණ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වාසනා කිරිදෙන.

 

පුංචි දරුවෙකුට “සුවබර නීරෝගී ළමා කාලයක්” හිමි වන්නේ, නිවැරදි ආහාර පුරුදු, දිනපතා වැසිකිලි යාමේ පුරුදු, ව්‍යායාම, සුවදායක නින්ද කියන සිව් වැදෑරුම් යහපත් පුරුදු හුරු කර තිබුණහොත් පමණයි. මේ පුරුදු වලින් එකක් හෝ බිඳි ගිය විට දරුවා රෝගී තත්ත්වයන්ට භාජනය වීම අරුමයක් නොවෙයි.

 

ඒ අතරින් දිනපතා වැසිකිලියට නොයෑම හේතුවෙන් ඇතිවන මල බද්ධය දිගුකාලීනව පවතින්නේ ඇයි ද යන්නත්, ඉන් දරුවා මුදවා නීරෝගී තත්ත්වයකට ගෙන එන්නේ කෙසේද යන්නත් බලමු.

 

දිනපතා මලපහ නොකිරීම නිසා එම මලපහ ඝන වී ගුද මාර්ගයෙහි සහ මහබඩවැලේ අග කොටසෙහි තැන්පත් වී මලබද්ධය ඇති කරයි. ඕනෑම කෙනෙකුට මෙවැනි තත්ත්වයන් කලාතුරකින් ඇති වී නැවත සාමාන්‍ය තත්ත්වයකට පත් වේ. මෙය රෝගී තත්ත්වයක් ලෙස සැලකුවේ නැතත්, ඇතැම් දරුවන් මාස ගණන් අවුරුදු ගණන් මෙවන් ප්‍රශ්නවලට මුහුණ දී සිටියි.

 

එය දිගුකාලීන රෝග තත්ත්වයක් බවට පත් වූ විට, මුහුණ දීමට සිදුවන අපහසුතා ඇතුලු රෝගී තත්ත්වයන් විවිධ ස්වරූප ගන්නවා. තවත් විටෙක ගල් ගැසුණු අසූචිවල උඩ කොටස් දියර බවට පත් වී ඇතැම්විට ගුද මාර්ගයෙන් ඉවතට කාන්දු වීමට පටන් ගනියි. එවනි අවස්ථාවක යට ඇඳුම් තෙත් වී දුඟද හැමීමක් ද සිදු වෙයි.

 

මෙවැනි අවස්ථාවන් ඇති වූ විට සුවබර නිරෝගී දිවියක් අහිමි වී යනු ඇත.

 

මළ බද්ධයෙහි මූලාරම්භය ආහාරපාන ගැනීමේ රටාවෙන් ඇරඹෙයි. එළවළු පලතුරු ඇතුලු කෙඳි සහිත ආහාර ගැනීම, අධික ලෙස පැණි රස ආහාරයට ගැනීම, වතුර බීමේ අඩුකම, වැඩි වේලාවක් අක්‍රියව සිටීම යන හේතු කාරණා නිසාම මලපහ ඝනව එක්කාසු වීම පටන් ගනී.

 

ගුද මාර්ගය තුළ මලපහ එකතු වූ විට ස්නායු ප්‍රතීක ක්‍රියාවන් හරහා මලපහ කිරීමේ අවශ්‍යතාවය දැනෙයි. එසේ අවශ්‍යතාවය දැනුනු අවස්ථාවක වැසිකිලියට නොයා තද කරගෙන සිටි විට අසූචි නැවතත් මහ බඩවැල තුළටම ඇදී යයි. මෙය දිගින් දිගටම සිදු වූ විට මහ බඩවැලේ පහළ කොටස අසූචිවලින් පිරේ. එය මල බද්ධයේ ඇරඹුමයි. 

 

කෑම අරුචිය, බඩ පුරවා දැමීම, බඩේ කැක්කුම, වමනය වැනි ලක්ෂණ වලින් ඇරඹෙන අපහසුතාවය දරුවන් අලසකම් පිරි, රෝගීන් බවට පත් කිරීම දක්වාම ගෙන යනු ඇති.

 

නිරෝගීමත් ජීවන රටාවකට හුරුවීම තුළින් මෙම අපහසුතා සියල්ල මඟහරවා ගත හැකි වෙයි.

 

කුඩා දරුවෙකුට වයස අවුරුදු තුනක් පමණ වනවිට දිනපතා එකම වේලාවකදී වැසිකිලියාමේ පුරුද්ද හුරු කිරීම ආරම්භ කළ යුතුයි. මෙම හුරු කිරීමට ඉතා සංවේදීව දරුවා උනන්දු කිරීම වැදගත්. මලපහ කළ විට ප්‍රසංසා කරමින් ආදරයෙන් කතා කළ යුතු වෙයි. එවිට හුරු කිරීම පහසුය.

 

කුඩා කල සිටම නිවැරදි ආහාර පුරුදු ඇති කළ යුතු වෙයි. ක්ෂණික, කෙටි කෑම වර්ග නොදී සිටීමටත් නිවසේදී සකසා ගන්නා ආහාරවලටත්, නිතර පළතුරු ආහාරයට ගැනීමටත් දරුවන් හුරු කිරීමෙන් මලබද්ධය පමණක් නොව සෙසු රෝග තත්ත්වයන් ද දුරු කරගත හැකියි.

 

පැය ගණන් එකතැන ඉඳගෙන වීඩියෝ චිත්‍රපට නැරඹීම නිසාද රෝගී සිරුරක් හිමිවන නිසා ක්‍රියාශීලි ක්‍රියාකාරකම්වල යෙදෙමින් නිතර දරුවන් සෙල්ලම් කිරීමට යොමු කළ යුතු වෙයි.

 

දැනටමත් දරුවන් මලබද්ධයෙන් හෝ අමාශගත රෝගයකින් පෙළෙයි නම්, වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර මත සුවදායි ජීවිතයක් උදා කර ගැනීමට ක්‍රියාත්මක විය යුතුමයි.

 

කුඩා දරුවන් වැසිකිළි යාම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page