top of page

දයානන්ද පෙරේරා

  ශ්‍රී ලංකාව තුළ ශබ්ද පරිපාලන ඉංජිනේරු අංශයේ දැවැන්තයෙකු වූ දයානන්ද පෙරේරා මෙම ක්ෂේත්‍රය තුළ විශාල ඉතිහාසයක් හා පළපුරුද්දක් ඇති පුද්ගලයෙකි. අබේගොඩ අමරසිංහ ආරච්චිගේ දයානන්ද පෙරේරා නම් වූ ඔහු සංගීත ශිල්පියෙකු ලෙස මෙම ගමන ආරම්භ කළේ 1969  අවසාන  භාගයේදිය. බේස් ගිටාර් වාදකයෙකු ලෙසින් පානදුර Rangers සංගීත කණ්ඩායමට එකතු වූ ඔහු 1970 Deep Radians සංගීත කණ්ඩායමට එකතු විය. වාදනයට දක්ෂතාවයක් දැක්වුවද ශබ්ද පරිපාලකයෙකු වීමේ ආශාව යටි සිත තුළ මෝදුවෙමින් තිබිණ. අත් හදා බැලීමක් ලෙස කිර්ති සහ මහේෂ් අබේවික්‍රම සොහොයුරන්ගේ (Deep Radians) ගීතයක් තම නිවෙසේ තිබු ටේප් රෙකෝඩරය භාවිතා කරමින් (Home Recording) නිවසේදීම පටිගත කළේ මෙම කාර්යයට තිබු සුකැමැත්ත නිසාවෙනි. එහි යම් සාර්ථකත්වයක් ඔහු දුටුවේය. දක්ෂ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරුවෙකු හා හොඳ ගීත ශ්‍රවණය කරන්නෙකු වූ තම පියාගේද අභාෂය ඔහුගේ නිර්මාණ ශිලිත්වයට බොහෝ ඉවහල් විය. 

1970-1971 කාලය වන විට හේමසිරි සිල්වාගේ ආරාධනයෙන් රටේ ජනප්‍රිය වාදක මණ්ඩලයක් වූ සියැක් කණ්ඩායමට බේස් ගිටාර් වාදකයෙකු ලෙස එකතු විය. ඔහු ගිටාර් වාදකයෙකු ලෙස කටයුතු කළ ද ශබ්ද පරිපාලකයෙකු වීමේ ආශාව වරින් වර සිත තුළ මෝදු විය.

 1972 කාලයේ සරසවි චිත්‍රාගාරයේ පටිගත කිරීම් සඳහා බේස් ගිටාර් වාදකයෙකු ලෙස සහභාගී වන දයානන්ද පෙරේරා එහිදී සිදු වූ යම් අත් දැකීමක් හේතුකොටගෙන තමා වෘත්තිමය ශබ්ද පරිපාලකයෙකු වනවා යන අධිෂ්ඨානය සිත් කා වැදිණ. 1974 වන විට Gypsies Recording Studio හි පටිගත කිරීම්වලට අවස්ථාව උදාවුණි. සිසිල් ප්‍රනාන්දු යන ගායකයාගේ ගීත කීපයක් ඔහු විසින් පටිගත කළ අතර එය ලංකාවේ මුල්ම Multi Track පටිගත කිරීම ලෙස සැලකේ. නව තාක්ෂණ අත් දැකීම් සොයා ගිය දයානන්ද පෙරේරා සියැක් වාදක මණ්ඩලයේ සිටියදී ම ශ්‍රී ලංකාව ප්‍රථම වරට Rhythm Box පාවිච්චි කරමින් නිර්මාණය වූ රේමන් ෆොන්සේකා ගයන  "මෑතක සිට" ගීතය ඇතුළු ගීත හතරක් පටිගත කළේය. ඉන් පසු ඔගි රණවිරයන්ගේ  ශබ්දාගාරයේ ශබ්ද පරිපාලකයෙකු ලෙස කටයුතු කළ හෙතෙම 1981 නව කඩ ඉමක් පසුකරමින් සිං ලංකා සමාගමේ ශබ්ද පරිපාලකයා ලෙස පත්වීමක් ලබා ගත්තේය. දිනෙන් දින නව තාක්ෂණයේ කඩඉම පසු කරමින් 1985 වන විට කොළඹ ජනකලා කේන්ද්‍රයේ ශබ්ද පරිපාලකයා ලෙස තනතුර හොබවමින් තම ක්ෂේත්‍රය තුළ ඉහළ නමක් දිනා ගැනීමට හැකිවිය.

 

1993 වන විට ඩිජිටල් තාක්ෂණයේ දැනුම ප්‍රගුණ කරමින් කොළඹ නිෂු ශබ්දා ගාරයේ පරිපාලක ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කළ ඔහුගේ පටිගත කිරීම් ක්‍රම වේදය අගය කළ ඇමරිකාවේ ග්‍රැමි සම්මාන උළෙල නියෝජනය කිරීමේ (National Recording & Arts Of World Music) සාමාජිකත්වයට ආරාධනා ලැබූ එකම පුද්ගලයා ඔහු විය. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ගායකයන් හා සංගීත අධ්‍යක්ෂකවරු ඔහු සොයා ආවේ ඔහුගේ සුපිරි පටිගත කිරීම සුසංයෝගයේ ඵල ලබනටය.

 

ශ්‍රී ලංකාවේ පළමු වර්ණ කාටුන් චිත්‍රපටිය වූ මහදන මුත්තයි ගෝලයෝ රොත්තයි සහ චිත්‍රපට, ටෙලිනාට්‍ය ගණනාවක සංගීතය සහ හඬ පටිගත කිරීම් ඇතුළු W.D අමරදේව, නන්දාමලිනි, රෝහණ විරසිංහ, අමරසිරි පිරිස්, නිරංජලා සරෝජනී, රූකාන්ත ගුණතිලක, නිලා වික්‍රමසිංහ, ප්‍රදීපා ධර්මදාස මෙන්ම බටහිර සංගීත ශෛලියට ගයන අනිල් භාරති, ඉන්ද්‍රානි පෙරේරා, මරියසෙල් ගුණතිලක, ඩෙස්මන් ද සිල්වාකොරින් අල්මේදා, ඩැල්රින් සුබී යන බොහෝ  ගායක ගායිකාවන් සහ Fortune, Sun Flower, Super Star, Marians, යන කණ්ඩායම්වල ගීත 60දහසකට වඩා පටිගත කළ ඔහුට රාජ්‍ය සංගීත සම්මාන උළලේ විශිෂ්ට සම්මානයද අංජලිකා චිත්‍රපටියේ හොඳම ශබ්දපරිපාලනය ලෙස 

 

 

විශිෂ්ට සම්මානයද ලක්හඬ ගුවන්විදුලියේ අමරසිරි පිරිස් ගයන "සඳකැන්" ගීතයේ පටිගත කිරීම් වෙනුවෙන් හා සෞන්දර්ය අධ්‍යාපන පීඨයෙන් පිරිනමන විශේෂ සම්මානයද ඇතුළු සම්මාන රැසක් හිමි කරගෙන ඇති ඔහු වර්තමානයේදී ඔහු ඔගි ශබ්දාගාරයේ අපුරු සංගීත සුසංයෝගයක් යොදමින් මේ ක්ෂේත්‍රයේ සිටින දැවැන්ත වෘක්ෂයක් බඳු හිතකාමියෙකි.

2014-03-03 ගී රේඩියෝව සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිණි.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page