top of page

නිවසක සාමාන්‍ය අලංකාරයට මෙන්ම විශේෂ අවස්ථාවලදීත් එක සේ භාවිතා කළ හැකි මලක් ලෙස ඇන්තූරියම් මල හැඳින්විය හැකිය. ගෙවත්තට අවශ්‍ය මල් වලට අමතරව ආදායම් ලැබිය හැකි වගාවක් ලෙසද ඇන්තූරියම් හැඳින්විය හැකිය. ගෙවත්තක සෙවණ ගෙන දෙන්නා වූ ගස් යට වගා කළ හැකි මෙය වැල් දොඩම් වැනි වගාවක යටි රෝපණයක් ලෙසද යෙදිය හැකි අතර එතුලින් අලංකාරය මෙන්ම ආදායම් මාර්ගයක් ලෙසද ඇන්තූරියම් වගා කළ හැකිය. පුෂ්පයන් හට ගන්නා මෙන්ම පුෂ්ප හට නොගන්නා ශාක වර්ගයන්ගෙන් යුත් ඇන්තූරියම් පිළිබඳ තොරතුරු මෙහි අන්තර්ගත කර ඇත.

 

ඇන්තූරියම් ශාකය-

හබරල කුලයට අයත් ගෘහාශ්‍රිතව වගා කරනු ලබන අලංකාර ශාක වර්ගයක් ලෙස ඇන්තුරියම් හැඳින්විය හැකිය. මෙය සෙවණ මෙන්ම තෙතමනය ප්‍රිය කරන බහු වාර්ෂික පැළෑටියකි. වර්ණවත් මලක් හට ගන්නා මෙම ශාකය, විශාල වශයෙන් වගා කිරීමෙන් ස්වයං රැකියාවක් බවට පත් කර ගත හැක.

 

ඇන්තූරියම් පුෂ්පය-

ඇන්තූරියම් පුෂ්පය මලක් ලෙසින් හැඳින්වුවත් එය පුෂ්පිකා රාශියක්, ඉතා සමීප ලෙස සැකසුනු පුෂ්ප මංජරියක් හා එය වටා පිහිටි වර්ණවත් විකරණය වූ පත්‍රයකින් යුක්ත වේ. පුෂ්ප මංජරිය "ජද ශුකිය" යනුවෙන්ද විකරණය වූ පත්‍රය "කොළපුව" නමින්ද හැදින්වේ. මෙම පුෂ්පිකා ද්වි ලිංගික වේ.

 

කැපුම් මල් වගාවක් ලෙස ඇන්තූරියම්-

අපනයනය සඳහා ශ්‍රී ලංකාවේ වගා කරන්නා වූ කැපුම් මල් අතරින් ඇන්තූරියම් වගාවට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. මෙමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා සැලකිය යුතු විදේශ විනිමයක් උපයා ගැනීමට හැකි වේ. අඩු ප්‍රාග්ධනයකින් මෙන්ම අඩු ශිල්පීය දැනුමකින් ඇන්තූරියම් වගා කළ හැකි අතර ඇන්තූරියම් මලක් හොඳ තත්වයෙන් මාසයක් පමණ කාලයක් තබා ගත හැකි වීමද ඉතා වැදගත්ය.

 

ඇන්තූරියම් වර්ග-

දකුණු ඇමරිකාව නිජබිම ලෙස සලකන ඇන්තූරියම් "අරේසියේ" (Araceae) ශාක කුලයට අයත් වර්ග සමූහයකින් යුත් ශාක කාණ්ඩයකි. ඇතැම් ශාක විශේෂ අලංකාර පත්‍ර සඳහාත් ඇතැම් ශාක විශේෂ වර්ණවත් මල් සඳහාත් වගා කෙරේ. වර්ණවත් වූ පුෂ්පයන්ගෙන් යුත් වර්ගය "ඇන්තූරියම් ඇන්ඩ්රියානා" නමින් හදුන්වනු ලැබේ.ඇන්තූරියම් වර්ග කිහිපයක් පහත දැක්වේ.

 

ගෙවත්තේ ඇන්තූරියම් වගා කර ආදායමක් උපයා ගන්න

ඇන්තූරියම් ක්‍රිස්ටැලිනම්

ඇන්තූරියම් පිඩටොරාඩියාටම්

ඇන්තූරියම් හුකරි

ඇන්තුරියම් වරොකිනානම්

ඇන්තූරියම් කොත්මලේ ප්‍රභේදය

මිටි ඇන්තූරියම් වන දම් පාට මල් සහිත ලේඩි ජේන් වර්ගය

රතු වර්ණ මල් හට ගන්නා මිටි ඇන්තූරියම් ප්‍රභේදය

ඇන්තූරියම් ඇන්ඩ්‍රියානම් සුදු වර්ණය(මාබල් වයිට්)

ඇන්තූරියම් ගෝතමාලා

ඇන්තූරියම් බයි කලර් රතු සහ කොළ මිශ්‍ර වූ ප්‍රභේදය

ඇන්තූරියම් ක්‍රින්කල්ඩ්(රැළි සහිත)ඇන්ඩ්‍රියානම් රතු වි‍ශේෂය

ඇන්තූරියම් කොළ පාට ප්‍රභේදය

තවත් ඇන්තූරියම් වර්ග කිහිපයක්

ඇන්තූරියම් වගාවට සුදුසු දේශගුණය-

තෙත් සහිත දේශගුණයක් ඇති ප්‍රදේශවලට යෝග්‍ය මල් විශේෂයකි. මුහුදු මට්ටමේ සිට අඩි 4000 ක් පමණ උස් ප්‍රදේශ දක්වා ඇන්තූරියම් වගාවට සුදුසුය. නමුත් අධික ශීතලද එනම් ජලය මිදෙන දේශගුණය මේ සඳහා යෝග්‍ය නොවේ. ශීත දේශගුණයක් සහිත ප්‍රදේශවල රතු සහ තැඹිළි පාට ඇන්තූරියම් සාර්ථක ලෙස වගා කළ හැකිය. අතර මැදි තෙත් කළාපයේ සෙවණ හොඳින් ඇති ස්ථානවල එනම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි හලාවත, දංකොටුව, ගිරිඋල්ල, නාරම්මල, මාවතගම, පලමල්කැලේ, මොණරාගල, කහවත්ත, බිබිල, බදුල්ල, බණ්ඩාරවෙල, ගාල්ල, දෙවිනුවර හා මාතර වැනි ප්‍රදේශවල හොඳින් වගා කළ හැකිය. බංගදෙණිය, වාරියපොළ, ඉබ්බාගමුව, අළු විහාරේ, මාදුබොඩ වැනි අතරමැදි වියළි කලාපයේ තෙතමනය හා සුළඟ වැනි දේ මඟින්, වියළීම අවම කිරීමෙන් ඇන්තූරියම් වගා කළ හැකි අතර වියළි කළාපයට වඩාත් සුදුසු වන්නේ රෝස පැහැයෙන් යුත් ඇන්තූරියම්ය. එයට හේතු වන්නේ රෝස ඇන්තූරියම් අඩු රැක බලා ගැනීමකින් වගා කළ හැකි ඇන්තූරියම් වර්ගයක් වීමය.

 

සෙවණ සහ ජලය-

මෙම වගාව සඳහා තෝරා ගන්නා ඕනෑම ස්ථානයක් සඳහා 70% ත් 75% ත් අතර සෙවණක් පැවතිය යුතුය. මේ සඳහා යෝග්‍ය වන්නේ තරමක් අඳුරු ආලෝකයකි. එයට විශාල ගසකින් ලැබෙන ආලෝකය හෝ කෘතිම දැල් මඟින් ලැබෙන ආලෝකය සුදුසුය. ගස් මඟින් ආලෝකය ලබා ගැනීමේදී වර්ෂය පුරාම පත්‍ර දරන්නා වූ ගස් තෝරා ගත යුතුය. මේ සඳහා ඉතාමත්ම යෝග්‍ය අතු විහිදෙන්නා වූ ගසක් ලෙස පොල් ගස හැදින්විය හැකිය. එක් කාලයකදී පත්‍ර දරන්නා වූ ශාකයන් යට ඇන්තූරියම් වගාව නුසුදුසුය. මේ සඳහා සදාහරිත ශාකයක් වන පිහිඹියා වැනි ශාකයක් යෝග්‍ය වේ. මේ ගස් විශාල ප්‍රදේශයක් පුරා අතු විහිදුවන බැවින් වැඩි බිම් ප්‍රමාණයක් වසා ගනී. මෙවැනි ගස් අඩි 15 ක පරතරයෙන් ත්‍රිකෝණාකාරව සිටුවා 7.5 ක් පමණ වැඩුණු පසු කරටිය කපා අතු නැවීම තුළින් අතු හිදුවීම සාර්ථකව කළ හැකිය. මේ සඳහා ජෑම් ගස්ද යෝග්‍ය වේ. නමුත් අතු ඉක්මනින් දිරා වැටීම නිසා පත්‍ර හා මල් වලට හානිදායක විය හැකිය.

 

ඇන්තූරියම් වගාව සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයකි. ජලවහනය අසතුටුදායක නම් මූල මණ්ඩලයට හානි පැමිනෙයි. ජලය රදන භූමියක හෝ ජලය බැස යාම ප්‍රමාද භූමියක එම ස්ථානවලින් ජලය ඉවත් කිරීමට කාණු පද්ධතියක් සකස් කළ යුතු අතර පොළව මට්ටමේ සිට ඉහළට ගොඩනගන ලද පාත්තිවල පැළ සිටුවීම කළ යුතුය.

 

ඇන්තූරියම් වගා කිරීම-

බිම් සැකසීම-

ප්‍රථමයෙන් ඇන්තූරියම් වගාවට දේශගුණික අවශ්‍යතා සපිරෙන ස්ථානයක් තෝරා ගත යුතුය. වල් පැළ, ගල් මුල් ඉවත් කර පොළව කොටා පළල මීටර් 4.5 ක් වන සේද දිග ක්ෂේත්‍රයේ ගත හැකි ප්‍රමාණයට පාත්ති සකස් කළ යුතුය. පාත්ති දෙකක් අතර පරතරය අඩියක් පමණ විය යුතුය. මෙම පාත්ති වටා ඇති ගැටිය සේදීම වැළැක්වීම සඳහා පොල් ලෙළි ඇතිරීම කළ යුතුය. ඉන් පසුව සෙන්ටිමීටර් 22.5 ක් ගැඹුරට පස් ඉවත් කර පතුළට උළු කැට හෝ ගඩොල් කැට කැබළි ස්ථරයක් යෙදිය යුතුය. ඒ මත පස් ස්වල්පයක් විසුරුවා හැර ඉන් පසු කොළ රොඩු තට්ටුවක් දැමිය යුතුය. ඉන් පසු වගා මාධ්‍ය එම පාත්තියේ යෙදිය යුතුය.

 

වගා මාධ්‍යය සැකසීම-

• දිරා ගිය කොළ කොටස් 2 යි

• වියළි ගොම පොහොර කොටස් 1 යි

• ගඟේ වැලි කොටස් 1/2 යි (දිරා ගිය කොළ පොහොර වෙනුවට කොහු බත් හෝ පොල් ලෙලි කැබළි යෙදිය හැකිය)      හෝ

• වියළි ගොම කොටස් 1 යි

• ගඟේ වැලි කොටස් 1/2 යි

• ලී යතු කොටස් 1 යි

 

මෙසේ සකසා ගත් මිශ්‍රණය පාත්තිය පිරෙන සේ හොඳින් පිරවිය යුතුය. මෙම ඇන්තූරියම් මාධ්‍යයට කුඩා ගඩොල් කැට ස්වල්පයක් එක් කිරීමෙන් ජලවහනය හොඳින් සිදු වේ. ඉන් පසුව පැළ 2 ක් අතර පරතරය අඩි 2 ක් වන පරිදි වළවල් සකස් කළ යුතුය. පැළ 2 ක් මැදට යට පේළියේ පැළය සිටින අයුරින් වළවල් සැකසිය යුතුය. මෙවිට වැඩි පැළ ප්රමාණයක් සිටුවිය හැකිය.

 

ඇන්තූරියම් වගාවේදී සෙවණ දැල් ගෘහයක්-

සෙවණ දැල් ගෘහය සකස් කිරීමේදී සැලකිය යුතු කරුණු.

 

1. නිසියාකාර ප්‍රමිතියක් තිබිය යුතුයි.

2. අවට ඇති ගස්කොළවලින් හානි නොවිය යුතුය.

3. කල්පවත්නා ආකාරයට සැකසිය යුතුය.

4. හොඳින් අව්ව ඇති ස්ථානයක් විය යුතුය. සෙවණ ගෘහයක් ඇතුළත පැවතිය යුතු තත්වයන්. සෙවණ 80% ආලෝකය 20% පරිසර උෂ්ණත්වය 25 සෙන්ටිගේට් අංශක ජල වාෂ්ප 50%-10% ත් අතර සෙවණ ගෘහයක ප්‍රමිතිය. ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක පවතින සෙවණ ගෘහයක තිබිය යුතු සම්මත ප්‍රමිතියක් ඇත. එනම් එම ගෘහයේ මුදුන අඩි 12 ක්ද පහත මට්ටම අඩි 09ක්ද වශයෙනි. මෙහි ආනතිය හෙවත් බෑවුම ඉතාම වැදගත් සාධකයක් වන අතර ආරුක්කු හැඩයටද මෙය සකස් කරනු ලබයි. මෙහිදී විවිධ වර්ගවල සෙවණ දැල් තිබුණද වඩාත් යෝග්‍ය වනුයේ 80% කළු පැහැති ඊශ්‍රායල් වර්ගයේ සෙවණ දැල්ය. (මේ දැල් සඳහා වසර 10 වගකීමක්ද ලැබේ.) කළු වර්ණය යොදා ගනු ලබන්නේ උෂ්ණත්වය උරාගෙන ආලෝකය පමණක් ඇතුළට ලබා ගැනීම සඳහාය. ගැල්වනයිස් කරන ලද කණු මේ ගෘහය සෑදීම සඳහා යොදා ගත යුතුය. නැතහොත් කණු මළ බැඳීම සිදුවන අතර කාලයක් පාවිච්චි කල නොහැක. මේ කණු සවි කිරීමේදී අඩි 1 ½ ක් පොළව යටට කොන්ක්‍රීට් කර සවිකර ගත යුතු අතර, එවැනි සෙවණ දැල් ගෘහයක් වසර 10ක් පමණ අපහසුවකින් තොරව පවත්වා ගත හැක. මෙසේ ගෘහය සාදා ගැනීමෙන් පසු, එය ඇතුළත හොඳින් සමතලා කර, වැලි දමා, හොඳින් තද කර සකස් කර ගත යුතුය. අපනයන ඇන්තූරියම් වගාවේදී සෙවණ දැල් ගෘහය තුළ සකස් කරන ලද මල් සඳහා අධික ඉල්ලුමක් පවතී. මීට අමතරව මැස්සක් තනා, ලණු පැදුරු වලින් සෙවණ ලබා දීමද සිදු කල හැක. මේ සඳහා අඟල් ½ x ½ වියන ලද කොහු දැල් මිලදී ගත හැකි අතර ලූනු අසුරන මළුද භාවිතා කළ හැක. පොළොවේ සිට අඩි 10-12ක් පමණ උසින් මෙම කොහු මැස්ස සකස් කළ යුතු අතර මේ සඳහා කළු තෙල් ආලේපිත ලී කණු භාවිතා කළ යුතුය. කණු ඉක්මනින් දිරායාම වැලැක්වීමත්, ගුල්ලන් වැනි සතුන්ගෙන් වන හානි වැලැක්වීමත් කළු තෙල් ආලේප කිරීමෙන් බලාපොරොත්තු වේ. මෙම ලී කණු වෙනුවට කොන්ක්‍රීට් කණු වුවද භාවිතා කළ හැකිය. නමුත් එය මිල අධික ක්‍රියාවකි. කොහු ලණු දැල් මැස්සක් යෙදීමෙන් පහත සඳහන් ආකාරයේ වාසි ලබා ගත හැක.

 

1. මූලික ලෙස ලණු දැලට වැයවන මුදල අවම වීම.

2. සෙවණ ගෘහය සෑදීමේ පහසුම ක්‍රමයක් වීම.

3. කොහු ලණු මැස්සක් මුල් තත්වයෙන්ම මාස 06ක් පමණ පවත්වාගත හැකිවීම.

4. ඒකාකාරී සෙවණක් ඇන්තූරියම් වගාවට ලැබීම.

 

ඉහත තොරතුරු මනා ලෙස ක්‍රියාවට නැංවුවහොත්, ඔබටත් ඇන්තූරියම් වගාවේ සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

 

ඇන්තූරියම් පැළ සිටුවීම-

සකස් කළ පාත්තියේ වළවල් මැදට පැළ තබා සිටුවිය යුතුය. මෙසේ සිටුවන පැළය හොදින් මුල් අල්ලන තෙක් උණ පතුරක් වැනි යමක් සිටුවා ඇන්තූරියම් පැළය එහි බැඳ තැබීම යෝග්‍යය. ඇන්තූරියම් ගස සෘජුව තැබීමට එසේ සිදු කරයි. සිටුවා ගත් පැළ වටේට පොල් ලෙලි කපා දැමීම මඟින් තවදුරටත් ජලය රඳා ගැනීම සිදු කළ හැකිය. ඉන් පසු දිනකට දෙවරක් ජලය යෙදීම ඉතා යෝග්‍යය. එමෙන්ම ඇන්තූරියම් බඳුන්ගත කිරීම මගින්ද වගාව පවත්වාගෙන යෑම කළ හැකිය.

 

ඇන්තූරියම් පැළ බඳුන්ගත කිරීම-

සාමාන්‍යයෙන් ඇන්තූරියම් ශාකයන් බදුන්ගත කිරීමේදී ඒ සඳහා සිමෙන්ති හෝ මැටි බදුනක් යොදා ගත යුතුය. මේ සඳහා සෙන්ටිමීටර් 25 ක් ගැඹුරිනුත් සෙන්ටිමීටර් 25 ක් විශ්කම්භයෙන් යුත් බඳුනක් ඉතාමත්ම යෝග්‍යවේ. මේ සඳහා වගා මාධ්‍ය ලෙස දිරා ගිය කොළ කොටස් 2 යි, වියළි ගොම පොහොර කොටස් 1 යි, ගඟේ වැලි කොටස් 1/2 යි, ගෙන මිශ්‍රණය සකසා ගත යුතුය. මනා ජල වහනයක් පවත්වා ගැනීම සඳහා බඳුනේ පතුලෙහි තිබෙනා සිදුර මත උළු කැට හෝ මැටි බඳුන් කැබැල්ලක් ගෙන වක්‍ර වූ පැත්ත යටි අතට සිටින සේ තබා කුඩා උළු කැට කැබළි ස්ථරයක් යෙදිය යුතුය. ඒ මත දිරා ගිය කොළ රොඩු තට්ටුවක් අතුරා බඳුනෙන් 1/3 ක් පමණ පිරෙන සේ වගා මාධ්‍ය පිරවිය යුතුය. එම බඳුනෙහි මැදට සිටින සේ පැළය තබා මුල් දෙපසට විහිදෙන ආකාරයෙන් තබා තවදුරටත් වගා මාධ්‍ය බඳුනට පිරවිය යුතුය. බඳුනේ ඉහළ මට්ටමේ සිට අඟල් 1ක් 1.5 ක් පමණ ඉතිරිවන සේ වගා මාධ්‍ය පිරවීමට සැළකිලිමත් විය යුතුය. ඉන් පසු හොඳින් ජලය සපයා සෙවණැති ස්ථානයක තැබිය යුතුය. පොහොර යෙදීම ඇන්තූරියම් ශාකයක් වැඩීම අනුව අවධීන් තුනකට බෙදිය හැකිය.

එනම්,

• ආරම්භක අවධිය

• වර්ධක අවධිය

• පරිණත අවධිය යනුවෙනි.

මේ අවධීන්ට පොහොර යෙදීමේදී වඩාත් සැලකිළිමත් විය යුතුය. ආරම්භක අවධියේදී වර්ධනය වෙමින් පවතින පැළ වලට සතියකට වරක් අවමය පොහොරක් යෙදීම වැදගත්ය. මේ සඳහා බෙහෙවින්ම අවශ්‍ය වන්නේ නයිට්රජන්ය. ඒ සඳහා පීපර්ස් ප්‍රොෆෙෂනල් හෝ නියුට්රිෂෝල් භාවිතා කළ හැක. මෙය වතුර ගැලුම් එකකට තේ හැඳි 1/2 ක් වන සේ මිශ්‍ර කර සතියකට වරක් පැළවලට යෙදිය යුතුය. එමෙන්ම යූරියා දියකර වගාවට යෙදීමටද හැකිය. වර්ධක අවස්ථාවේදී ෂුල්ටස්, පීපර්ස් ප්‍රොෆෙෂනල් වැනි පොහොර භාවිතා කළ හැකිය. මෙය වතුර ගැලුමකට තේ හැඳි 1 ක් මිශ්‍රකර දින 10-14 කට වරක්යෙදීම යෝග්‍යය. මෙමගින් ශාකය හොඳින් වර්ධනයට අවශ්‍ය මූල මණ්ඩලය හොඳින් සකස් වේ. මින් පසු ශාකය පරිණත අවධියට හෙවත් මල් හට ගන්නා අවස්ථාවට පත් වූ විට යෙදීමට වෙළදපලේ විවිධ පොහොර වර්ග දක්නට ලැබේ. ඒ අතර පීපර්ස් ප්‍රොෆෙෂනල්, ඩෙල්ටා ස්ප්‍රේ, ෂුල්ටස් බ්ලූම් ප්ලස් වැනි පොහොර දක්නට ලැබේ. මෙය වතුර ගැලුමකට තේ හැඳි 1 ක් ලෙස ගෙන මිශ්‍ර කර යෙදීම සුදුසුය. එමෙන්ම කාබනික පොහොරද මේ ඕනෑම අවධියකදී යෙදිය හැකිය. ෆිෂ් ඉමර්සන් එවැනි පොහොරකි. මෙය වතුර ගැලුමකට තේ හැදි දෙකක් මිශ්‍ර කර ක්ෂේත්‍රයට යෙදීම සුදුසුය. එමෙන්ම කැට පොහොරද පසට යෙදිය හැකිය. මේ අතර හයිඩ්රොකම්ප්ලෙක්ස් (නිල් කැට), ඔස්මොකොට් වැනි දේ දැක ගත හැකිය. මෙයින් ඔස්මොකොට් වර්ගය එක් වරක් යොදා මාස 5-6 කින් යෙදීම සිදු කළ යුතුය. එමෙන්ම මෙවැනි සෑම පොහොරක්ම යෙදීමේදී උදේ නවයට පෙර යෙදිය යුතුය. මේවාට අමතරව මේ අවධීන් තුනෙහිදීම පොහොරක් ලෙස පොල් ලෙලි යෙදීම සිදු කරයි. මෙවා කුඩා කැබළිවලට කපා ඇන්තූරියම් ශාක වටා යෙදීම මඟින් ඒවා දිරාපත් වී ශාකයට හොද පොහොරක් වේ. මෙමඟින් ජලය රඳා පැවතීම හොඳින් සිදුවන අතර ශාකයේ මුල් ගමන් කිරීමද හොඳින් සිදු වේ. පොල් ලෙලි වියදම් නොයන හොඳ පොහොරක් ලෙස හඳුන්වා දිය හැකිය.

 

ඇන්තූරියම් ප්‍රචාරණය-

ඇන්තූරියම් ප්‍රචාරණය ලිංගික ක්‍රම හෝ අලිංගික ක්‍රම මගින් සිදු කළ හැකිය. බීජ මඟින් ප්‍රචාරණය සිදු කරන්නේ නම් මව් ශාකයට වෙනස් ශාක ලැබීමට ඉඩකඩ ඇත. අලිංගික ප්‍රචාරණයට අනුව සිදු කරන්නේ නම් මව් ශාකයට සමාන වූ ශාක පරපුරක් ලබා ගත හැකිය.

 

ඇන්තූරියම් වර්ධක ප්‍රචාරණය-

වර්ධක ප්‍රචාරණය සඳහා කඳ කැබළි, මොටෙයියන් හෝ අංකුර වැනි වර්ධක කොටස් භාවිතා කළ හැකිය.කඳ කැබළි මඟින් ප්‍රචාරණය හොඳින් මේරූ පත්‍ර නැති උස් වූ කඳන් සහිත කඳෙහි මුල් පිහිටා ඇති ඇන්තූරියම් ශාකයක අග කොටස මුල් කිහිපයක් සහිතව ගෙන වෙනම පැළයක් සේ නැවත සියුවිය හැකිය. ඉතිරි වූ කඳ ගෙන හොඳින් පිරිසිදු කර අංකුර 2 ක් පමණ සිටින සේ කැබළි වලට වෙන් කර ගත යුතුය. ඉන් පසු වගා මාධ්‍යයසේ කොළ පොහොර කොටස් 1 ක් හා වැලි කොටස් 1 ක් සේ මිශ්‍රණය සකසා ගත යුතුය. අඟල් 4 ක් සේ ගණකමට මිශ්‍රණය සිටින සේ පාත්තියක හෝ බඳුනක හෝ මිශ්‍රණය යොදා එහි හරස් අතට දඬු කැබළි තබා ඒවා වැසෙන සේ කොහු බත් දැමිය යුතුය. සමම අවස්ථා වලදී කපන ස්ථාන වසා දැමීම සඳහා වෙළදසැලේ ඇති ශාක වල කැපුම් සහ තුවාල වසා දැමීමට ගන්නා ආලේපන භාවිතා කළ හැකිය. මෙසේ නොකළහොත් එම කැපුම් මඟින් ක්‍ෂුද්‍ර ජීවීන් ඇතුලුවී එම කොටස් විනාශ වීම සිදු විය හැකිය. බැක්ටීරියා දිලීර, ප්‍රොටසෝවා වැනි ක්‍ෂුද්‍ර ජීවීන්ට සුදුසු තෙතමනය වැඩි පෙදෙසක් නිසා මෙම ජීවීන්ගේ ආක්‍රමණය ශාක වලට බලපෑ හැකිය. ඉහත සදහන් කළ ආකාරයට සැකසු දඬු කැබළි වල අංකුර අඟල් 4-5 ක් පමණ උස් වූ විට පාත්තිවල සිටුවීමට ගත හැකිය. මේ ආකාරයෙන් ලබා ගත් පැළෑටි වලට මාස 6ක් පමණ කල් ගත වූ පසු ඇන්තූරියම් මල් පිපීම ආරම්භ වේ.

 

එමෙන්ම ශාකයක් සිටුවා කලක් ගත වූ පසු එහි කඳ මුලින් ප්‍රරෝහ මතු වේ. ඒවායේ මුල් හටගත් පසු මව් ශාකයෙන් ප්‍රවේශම් සහිතව වෙන් කර වගා බිමෙහි සිටුවිය යුතුය. මේවා මව් ශාකයෙන් වෙන් කළ පසු එම කඳෙහි, ශාකයන්ගේ තුවාල වලට ආලේප කරන ආලේපයක් ආලේප කළ යුතුය. මෙම මව් පැළයක් සිටුවීම වැඩුණු ශාකයක් බඳුනකින් ගලවා නැවත සිටුවීමට සමානය. ප්‍රරෝහයක් මව් ශාකයකින් වෙන් කළ යුත්තේ පත්‍ර දෙකක් හෝ තුනක් වර්ධනය වූ පසුවය.

 

බීජ මඟින් ප්‍රචාරණය-

ඇන්තූරියම් බීජ මඟින් පැළ සකස් කිරීමට නම් මල් පරාගනය කළ යුතුය. මේ සඳහා මල් තෝරා ගැනීමේදී ඉතාම අලංකාර වර්ණයෙන් හා පෘෂ්ටයෙන් යුත් ජද ශුකිය, කොළපුව දෙසට නැඹුරු වූ මධ්‍යම ප්‍රමාණයෙන් සැකසෙන නටුව හොඳින් දික් වූ මල් නිපදවන ශාක තෝරා ගත යුතුය. පරාගනය සඳහා මල් තෝරා ගැනිමේදී පරාග ගැනීම සඳහා තරමක් දුරට මේරූ මලක්ද මව් ශාකය ලෙස දිනයක් හෝ දෙකක් පමණ වයසැති අලුත් මලක්ද යොදා ගත යුතුය. ඩිම්බ පරිණත වු මලක ජද ශුකිය තරමක් ඇලෙන සුළුය. පරාග ඇත්තේ වයසින් වැඩි මල් වලය.

 

පරාගනය කිරීම-

ඉතාම සිනිඳු සිහින් කෙදි ඇති බුරුසුවක් ගෙන පරාග මෝරණ ලද මලේ ජදශුකියේ අතුල්ලා ඉන් පසුව එම බුරුසුව ඩිම්බ මෝරණ ලද මලේ ඇතිල්ලිය යුතුය. මේ ආකාරයෙන් දිනකට එක් වරක් හෝ දෙවරක් බැගින් දින තුනක් වැනි කාලයක් ක්‍රමවත්ව කළ යුතුය. ඉන් පසුව පරාගනය කළ මල හදුනා ගැනීම සඳහාත් පරාගනය කළ මල ජලයෙන් සේදී යාම වැලැක්වීම සඳහාත් සිදුරු විදින ලද පොලිතීන් වැස්මකින් මල වසා තැබිය යුතුය. මේ සඳහා යොදා ගන්නා පොලිතීන් කවරය තුළ තෙතමනය රැඳී ඇත්නම් ඒවා ඉවත්වීම සඳහා සිදුරු කරනු. ලබන අතර මල වියලිව තිබෙන විටදී එය දිලීර වැනි ක්‍ෂුද්‍ර ජීවීන් ඇතිවීම වළක්වා ගැනේ. මේ ආකාරයට පරාගනය කළ පසුව එය සාර්ථක නම් ටික දිනකින් ජදශුකිය ක්‍රමක්‍රමයෙන් කොළ පැහැයට හුරු පැහැයක් ගනී. ක්‍රමයෙන් මහත් වී පරාගනය සාර්ථක වූ ස්ථානවල කොළ පැහැ ගැටිති වැනි දෙයක් හට ගෙන ඇති බව දැකිය හැකිය. මෙය ඇන්තූරියම් මලෙන් ඇති වන ඵලයක් ලෙස හැඳින්විය හැකිය. මෙම ඵල හොඳින් රක්ත වර්ණ වී පැසුණු විට එම ඵල නෙළා එහි මැද ඇති බීජ ලබා ගැනීමට බීජය වටා ඇති පටලය මිරිකා ඉවත් කර ජලයෙන් සෝදා ගත යුතුය. ඉන් පසු එම බීජ කොන්ඩිස් වතුරෙන් සෝදා ජීවානුහරණය කළ යුතුය. එවිට එම බීජ වැපිරීමට සුදුසු තත්වයට පත්ව ඇත.

 

බීජ ප්‍රරෝහණය කිරීම-

වැලි කොටස් 1 ක් හා කොම්පෝස්ට් කොටස් 1ක්, කුඩාවට කැබලි කර ගත් ගඩොල් කැබලි ද ගෙන මිශ්‍රණය ලෙස ගෙන තරමක විශාල සිදුරක් විද ගත් බඳුනක් ගෙන එහි අඩියට ගඩොල් කැට කැබලි දමා මිශ්‍රණය ඉවතට යාම වැලැක්විය යතුය. ඉන් පසු එයට මිශ්‍රණය දමා එම බඳුනේ මතුපිට කුඩා ගඩොල් කැබලි වැඩි ප්‍රමාණයක් ඇතිරෙන සේ සකසා ගත යුතුය. ඉන් පසු බීජ එහි වැපිරිය යුතුය. එම බඳුන ජලය දැමූ ප්ලාස්ටික් බඳුනක් තුළ තැබිය යුතුය. එහි ජල මට්ටම බීජ සහිත බඳුන තුළ ඇති මිශ්‍රණයට වඩා පහත මට්ටමක තිබිය යුතුය. එවිට ජල බඳුනේ ඇති ජලය බීජ සහිත බඳුනේ සිදුර තුළින් ගමන් කර මිශ්‍රණයේ තෙතමනය පවත්වා ගැනීම සිදු කරයි. එම බීජ සහිත බදුන විනිවිද පෙනෙන වීදුරු කැබැල්ලකින් හෝ පොලිතින් කොළයකින් හොඳින් වැසෙන සේ සකස් කළ යුතුය. ඉන් පසු එය සෙවණැති ස්ථානයක තැබිය යුතුය. සති කීපයකින් බීජ වලින් මුල් හට ගැනීම ආරම්භ වේ. පැළ වීදුරුවේ හෝ පොලිතීන් කොළයේ ගෑවේ නම් එය ඉවත් කළ යුතුය. පැළ අඟල් 3 ක් පමණ වැඩුණු පසු වෙකත් පොලිතීන් බඳුන්වල සිටුවිය යුතුය. මේ සඳහා ක්ෂේත්‍ර මාධ්‍යයම යොදා ගත හැකිය. මෙසේ බඳුන්වල අඟල් 9 ක් පමණ වනතෙක් වැඩෙන සේ තැබිය හැකිය. මෙම පැළෑටි අඟල් 6-9 දක්වා වැඩී ඇති කාල වලදී ක්ෂේත්‍රයේ සිටුවිය යුතුය. බඳුන්වල අඟල් 9 ක් පමණ වන තෙක් පැළ වැඩුන විට ඇතැම් ඇන්තූරියම් ශාකවල මල් පිපීම ආරම්භ වේ.

 

පටක රෝපණය-

මේ සඳහා ඉතා කුඩා ශාක කොටස් භාවිතා කර ජීවානුහරණ තත්ව යටතේ විශේෂ මාධ්‍යයක අති විශාල පැල සංඛ්‍යාවක් ලබා ගැනීම පටක රෝපණයේදී සිදු වේ. මේ සඳහා ශාකයේ ඕනෑම කොටසක් භාවිතා කළ හැකිය. භාවිතා කරන කොටස නොමේරූ අවධියේ පැවතිය යුතුය. මේ පැල ක්‍රමානුකූලව ක්ශේත්‍රයට හුරු කරවා ගත යුතුය.

 

ඇන්තූරියම් වගාවට වින කරන පළිබෝධකයින්-

• කොරපොතු කුරුමිණියා

• ගොළුබෙල්ලන්

• හංගොල්ලන්

• වේයන්

• යුෂ උරා බොන මකුණන්

 

වගාවට වැළදෙන රෝග හා මර්ධනය-

ඇන්තූරියම් වගාවට වැළදෙන රෝග අතර දිලීර රෝග වැදගත්ය. වගා මාධ්‍යයේ ජලය බැස යාම නිසියාකාරව සිදු නොවීම හා තෙතමනය මත ඇතිවන දිලීර, පත්‍රයේ ගොබය හෝ පත්‍ර සවි වන ස්ථානවලට හානි කිරීම නිසා එම ප්‍රදේශය කුණු වීමට ලක් වේ. මෙය ගොබය කුණුවීමේ රෝගය ලෙස හඳුන්වයි. තෙතමනය ඇති කාල වලදී දිලීර නිසා ඇන්තූරියම් මලේ ජදශුකියේ පාදය දක්වා කුණු වී හැලී යාම සිදු වේ. ඇතැම් අවස්ථා වලදී දුඹුරු පැහැයෙන් හට ගන්නා කුඩා ලප ක්‍රමයෙන් විශාල වී පත්‍රවල වැඩි ප්‍රදේශයක් වසා ගනී. මෙවැනි දුඹුරු පැහැ ගත් ප්‍රදේශ වියලී ගොස් සිදුරු වීම කලක් ගත වූ පසු සිදු වේ. මේ සඳහා වෙළදපොලේ ඇති දිලීර නාශක භාවිතා කළ හැකිය. වැසි සහිත කාලවලදී ජලය හොඳින් බැස යාම දිලීර අඩු කිරීමට හේතු වේ. ඇන්තූරියම් මල් නෙලීම-ඇන්තූරියම් මල් කැපීමට යෝග්‍යම කාලය උදෑසන කාලයයි. මෙයට හේතුව රාත්‍රී කාලයේදි තෙතමනය හොඳින් උරාගත් මල් පෘෂ්ඨිමත්ව තිබීමයි. මලක් ඇරුනු පසු දින 3-4 ක් ගත වූ විට එය කපා ගත හැකිය. මල් කැපිය යුත්තේ ඩිම්බ පරිණත අවස්ථාව වන විටය. එනම් මලේ ඡදශුකිය ඇලෙන සුළු බව තිබෙන අවස්ථාවේදීය. හොඳින් කැපෙන පිහියකින් මල් කපා කැපූ වහාම කැපූ කෙලවර ජල භාජනයකට ඇතුල් කිරීමෙන් මල් කාලයක් තබා ගත හැකිය. ඇන්තූරියම් ශාකයේ මල් අලෙවියට සුදුසු වන්නේ මල් පිපීමෙන් පසු දෙවන වසරේදීය.

 

මල් අලෙවිය-

අලෙවි කිරීම සඳහා තිබිය යුතු ලක්ෂණ-

• කොළපුව මතුපිට පුෂ්පය මෙන්ම යටි පුෂ්පයද ඒකාකාරී ලෙස වර්ණවත් විය යුතුය.

• කොළපුවේ හැඩය රවුම් හෝ හෘදයාකාර විය යුතුය.

• කොළපුවේ කණ්ඩිකා, ප්‍රමාණයෙන් සමාන විය යුතුය.

• කොළපුව මධ්‍යස්ථ දිගකින් යුක්ත විය යුතු අතර එය 10 cm -12.5cm අතර ප්‍රමාණයක් විය යුතුය.

• කෙළෙපුවේ කෙළවර උල් නොවිය යුතුය.

• ජදශුකිය කොළපුවට සමාන්තර විය යුතුය.

• ජදශුකිය කොළපුවට වඩා මදක් කෙටි විය යුතු අතර පහතට නැමී තිබීම වඩාත් සුදුසුය.

• ජදශුකිය හා කොළපුවේ වර්ණය එකිනෙකට වෙනස් විය යුතු අතර එය සුදු හෝ කහ වැනි ලා වර්ණයක් ගත යුතුය.

• මලේ නටුව 30cm -50cm ත් අතර වූ ශක්තිමත් නටුවක් වීම සුදුසුය.

• මල රෝග හා පළිබෝධ වලින් තොර ලප හා සිදුරු නොමැති විය යුතුය.

• නටුව කොළපුවට සම්බන්ධ වන ස්ථානය දැඩි බවක් තිබිය යුතුය.

• කොළපුව රැළි සහිත වීම.

 

මල් අලෙවියට සකස් කිරීම-

ඇන්තූරියම් මල් අපනයන සම්මතයන්ට අනුව නටුවේ දිග ඉතිරි කර කපා එහි කෙළවර තෙත පුළුන් කැබැල්ලක් තබා පොළිතීන් කොළයකින් ආවරණය කර රබර් පටියකින් හෝ නූලකින් ගැට ගැසීම කළ යුතුය. ඉන් පසු කොළපුවට වඩා විශාල වන සේ කපා ගත් සව් කඩදාසියක් මැදින් සිදුරු කර ජද ශුකිය ඒ තුලින් ඇතුළු කර කොළපුව ආවරණය කිරීම සිදු කරයි. ඇතැම් අවස්ථාවල කොළපුව හා ජදශුකිය පොලිතීන් කවරයකින් ආවරණය කරයි.

 

අලෙවිය සඳහා මල් පෙට්ටිවල ඇසිරීම-

අලෙවිකරණ සම්මතයන්ට අනුව සකස් කර ගත් මල් අලෙවිය සඳහා ඇසිරීමට විශේෂයෙන් පිළියෙල කරන ලද කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කරනු ලැබේ. සාමාන්‍යයෙන් අඟල් 30x15x6 ප්‍රමාණයේ පෙට්ටි මේ සඳහා සුදුසුය. සකස් කර ගත් ඇන්තූරියම් මල් ජද ශුකිය ඉහළට සිටින පරිදි එක් තට්ටුවක් අසුරා ඒ මත පත්තර කඩදාසියක් අතුරා ප්‍රතිවිරුද්ධව සිටින සේ අනෙක් තට්ටුව අසුරනු ලැබේ.එක් පෙට්ටියක මල් 100 ක් 120 ක් පමණ ඇසිරීම කළ හැකි වේ. මෙසේ සකස් කරගත් මල් වෙළඳපළට සැපයිය හැකිය.

 

ඇන්තූරියම් සහ වෙළදපල-

ඇන්තූරියම් සුදු, රතු, රෝස, තැඹිලි, කොළ පැහැයෙන් යුත් කොත්මලේ ක්ලෝනය, පේරාදෙනි ක්ලෝනය, කොකාකෝලා, ගෝතමාලා, රෙඩ්හොට් බයිකලර්, බබල්ගම්, ලේඩිජේන් යන වර්ග ප්‍රමුඛ ස්ථානයක් ගනී. ඇන්තූරියම් අලෙවියේදී යුරෝපා රටවල් තද රතු, තද තැඹිලි වර්ග වලට ප්‍රියයි. එමෙන්ම ජපානයේ සුදු, ලා රෝස, ලා තැඹිලි, පබළු රෝස වැනි පාටවලින් යුත් ඇන්තූරියම් වලට ඉල්ලුම වැඩිය. ශ්‍රී ලංකාවෙන් ජපානය, ඕලන්දය, මාලදිවයින වැනි රටවලට ඇන්තූරියම් අපනයනය කෙරේ.

 

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page