
රුක්මණී ද ේවි


ඇය නිවසේදී ගීත මුමුණන අතර ඇයගේ හඬ තුළ ඇති අපූර්වත්වය තේරුම් ගත් ඇයගේ පියා ඇයට ධෛර්ය දුන්නේය. ඇය පාසල් වේදිකාවේ ගායනයට පිවිසියාය. අසන්නෝ ඇයගේ ගී නදින් ප්‍රීති ප්‍රමෝදමත් පත් වූවෝය. කිතුණු භක්තිකයන් වූ ඔවුන්ට දෙව් මැඳුරේ ගීතිකා ගායනයෙන් ලැබූ පන්නරය අත්වැලක් විය. ඇයට තිබුණේ සුරඟන හඬක් යැයි බොහෝදෙනා අතර කතා බහට ලක් විය. පාසල් වේදිකාවේ "සපත්තු මහතාගේ බිරිඳ"වේදිකා නාට්‍ය ඇයගේ කුසලතා පිබිදූ අවස්ථාවක් විය. නුගේගොඩ වෝල්ටර් අබේසිංහ මහතා නිර්මාණය කළ "රාමායනය" වේදිකා නාට්‍යයට ඇයට අවස්ථාව උදාවිය. සී. ඒ. ෆොන්සේකා මහතාගෙන් රංගනය සහ ලෝරන්ස් පෙරේරා යටතේ සංගීතය පුහුණු වූ ඇය කලා කෙතේ පියවරක් ඉදිරියට තැබුවාය.


රුක්මණී දේවි පදනමේ නීතිඥ, චන්ද්‍රා ලිහිණි කාංචනා ප්‍රනාන්දු සහ ජයන්ත කඳානආරච්චි 2014-07-26 දින ගී රේඩියෝ සමඟ කළ සාකච්ජාවක් ඇසුරෙනි.
සිංහල ගීත ලොවේ ගී කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ රුක්මණී දේවිය ලොකු පොඩි කාගෙත් හිතාදරයට පාත්‍ර වූ චරිතයකි. ඇය නමින් ඩේසි රාසම්මා ඩැනියෙල්ස් ය. 1923 ජනවාරි 15 වන දින නුවරඑළියේ රම්බොඩ උපත ලැබීය. ඇයගේ මව හෙලන් රෝස් ඩැනියෙල්ස්ය. කුඩා කාලයේ සිටම ගායන හැකියාව උපතින් දායද කරගත් ඇය හඬින් සහ රුවින් පොහොසත් දැරියක් විය. 1933 දී ඇය මුල් අධ්‍යාපනයට දෙමටගොඩ ශාන්ත මැතිව් තුමාගේ පාසලට ඇතුළත් විය. එකල ඇයගේ මව ගුරුවරියක වූ බැවින් ඇය ඉගැන්වූයේ වැල්ලවත්ත ශාන්ත ක්ලෙයාර් විදුහලේ ය. පසුව 1939 ඇය පදිංචි වී සිටියේ මොරටුව ග්‍රාමයේ ය. එකල ඇයගේ මව මොරටුව වේල්ස් කුමාරි විදුහලේ ගුරුවරියක ලෙස සේවය කරන ලදී. මොරටුව පදිංචිව සිටි කාලයේ මොරටුමුල්ලේ ශාන්ත පෝල් දෙව් මැඳුරේ ඔර්ගන් වාදකයෙකු වූ ආතර් ප්‍රනාන්දු සංගීත ශිල්පියා ඇයගේ ගායන දක්ෂතා හඳුනාගෙන ගායනයට උපදෙස් දුන්නේය. ඇය කතා කළේ ඉංග්‍රීසි බසින් බැවින් ඇය ගායනා කළේ ඉංග්‍රීසි ගීත සහ දමිළ ගීතයන් ය. ඇයගේ හඬ සිංහල ගීතවලට ද ඇදී ගියේ ගුවන්විදුලියේ ඇනී බොතේජු, සුසිලා ජයසිංහ, රෙජිනා පෙරේරා ආදී ගායක ගායිකාවන්ගේ ගීත ගැයිමෙනි.
1960 යුගයේ නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ කැබලේරෝස් ගායක කණ්ඩායමට එකතු වුණු රුක්මණී දේවිය එතෙක් ගායනා කළ ගීත ශෛලියට වඩා වෙනත් මඟක් ගත් ගීත ගායනයේ යෙදුනාය. කැලිප්සෝ ශෛලියට නිර්මාණය වුණ "මල්බර හිමිදිරියේ, මැණිකේ ඔබේ සිනාවේ" යන ගීත නෙවිල් ප්‍රනාන්දු සමඟ ගායනා කළ අතර "සඳක් නැගී සඳක් දිළේ, පුන්සඳ හිනැහෙන්නේ" (සී.ටී. ප්‍රනාන්දු සමඟ) ඇයගේ ගායනයේ ජනප්‍රිය ගීත අතරට එක්වේ. කණ්ඩායම් ගීත කලාවේ මුල් ගායිකාව ඇය වුවාය. 70 යුගය වන විට එම ශෛලිය හා මුසු වූ ගීත රැසක් ඇය එළි දැක්වූවාය. "පෙම් රජදහනේ" (මිල්ටන් මල්ලවආරච්චි සමඟ) නිලම්බරේ (ෆිලික්ස් ඇන්ටන් සමඟ) "ඡායා මවා" (ඩෙරික් ද සිල්වා) ගීත ඉන් කිහිපයක් වේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ශිල්පිණිය ඇය විය. එම චිත්‍රපටය ඇතුළුව, රුක්මණී දේවිය විසින් චිත්‍රපටි සඳහා ගයනා කළ ගීත රැසකි.
1938 වසරේ ලාබාල දැරියක වුවද ළමා හඬ අභිබවා ඇය "සිරිබුද්ධ ගයා" ගීතය ගායනා කළ අතර කතෝලික භක්තිකයෙකු වූ ඇය මේ ගීතය ගායනා කිරීම විශේෂ වේ. තවද ඉංග්‍රීසි බසින් සිංහල පද ලියාගෙන මෙම ගීත පුහුණු වූ බව නොරහසකි. ගායනා කරන විට ගායන ශෛලිය, හඬ පාලනය, ස්වභාවිකව ගායනා කිරීමට ඇය ඉගෙන ගත්තාය. තවද ඇය "සිරි බුද්ධ ගයා" ගීතය ගායනා කිරීමට සිදු වූ අවස්ථාවේ, ඇය උණ රෝගයෙන් පෙළුණාය. ඇය කිතුණු භක්තික දැරියක වූයෙන් ඇය දෙවිඳුන්ට යාච්ඤා කළාය. ඇයව සුව කරන ලෙස අයැදුවාය. එදිනම රාත්‍රියේ කිසිවෙකු ඇයගේ ගෙල ස්පර්ශ කරනු ඕ සිහිනෙන් දුටුවාය. "දුව බිය නොවන්න උදේට ගොස් හොඳින් ගයන්න, නුඹ මුළු රටේම ප්‍රසිද්ධ වේ" යන වදන් ඇයට කීවාය. ඇය නැඟිට දෙවිඳුට ස්තුතියි කළාය. ඒවදන් සැබෑ විය. එම ගීතය ගායනා කිරීමෙන් ඇයවෙත ගලා ආ සුභ පැතුම් සමඟම ඇයට ගීත ගණනාවක් ගායනා කිරීමට අවස්ථාව උදා විය.

ඩේසී ඩැනියෙල්ස් රුක්මණී දේවී යන නම ආරූඩ වූයේ රාමායනය නාට්‍යයේ රඟපෑමට යෑමේදීය. මුලින් රුක්මණී වසුන්දරා යන නම තබා පසුව රුක්මණී දේවි යන තරු නාමය ඇයට තබන ලදී. 1938-1939 නාට්‍ය ගණනාවක රඟපාමින් ගී ගායනා කළ යුගයක් ද විය. පානදුර ඩික් ඩයස්ගේ "ජානකී හරණය" පී.පී ආටිගලගේ "රෝහිණී", ලූෂන් රාජපක්ෂගේ "රාජ ද්‍රෝහියා", ඩී. ඒ. ෆොන්සේකා ගේ "කීකරු බිරිඳ", මොරටුව විල්ෆ්‍රඩ් පිරිස්ගේ "රංගල අප්පු", නාට්‍යයේ එඩී ජයමාන්න සමඟ රඟපෑවාය. වේදිකා නාට්‍ය ගණනාවක රඟපෑව ද ඩබ්. රූපසිංහ මාස්ටර් සමඟ ග්‍රැමෆෝන් තැටියට ගායනා කළ "සිරි බුද්ධගයා විහාරේ" ගීතය ගායනයත් සමඟම ඇයගේ නම රට පුරා ප්‍රචලිත විය. ඒ, ඩබ්. රූපසිංහ මාස්ටර් තැබූ "රුක්මණී දේවී" නමින්ය. මෙම නාමය ඇයට ලබා දුන්නේ මයිකල් සන්නස් ලියනගේ සහ ජයන්ත වීරසේකර සූරීන් බව ද කියවේ.

"සැප නෑ සංසාරේ", "තේ පැන් දින දින" H.M.V. තැටියට "පුන්සඳ පායා " ඇය ගැයූ ගී අතර බිඳකි. ඇයගේ හඬ ඇයටම පමණක් ආවේණික වූ මිහිරි හඬක් වීම කාගෙත් සිත ඇයට ඇඳි යන්නට හේතුවක් විය. 1917 "ටවර් හෝල්" නාට්‍යයන් හි තබ්ලා වාදනය කළ රූපසිංහ මාස්ටර්ගේ නිවැරදි තේරීමක් ලෙස රුක්මණී දේවිය හඳුන්වා දිය හැකිය. ඉංග්‍රීසි බසින් සිංහල පද ලියා ගායනා කිරීමේදී මෙම ගීතයේ "රශ්මි ප්‍රභාදීක්ෂර පායාසේ මෝක්ෂා "යන වදන් නිවැරදිව ගායනා කිරීමට ඇය සමත් විය. රාගධාරී සංගීතය නොහැදෑරුවද "පිළු, ජින්ජුටී, තිලංග" යන රාග ඇසුරෙන් නිර්මාණය වූ ගීත පවා ඇය නිවැරදි ලෙස ගායනා කරන ලදී. "ශ්‍රී සර, ශ්‍රී මුණි, ශ්‍රී පාදේ, ශ්‍රී මුණි ගෞතම, බොහෝ එවැනි ගීත ඇය ගායනා කිරීමේ අභියෝගය ජය ගන්නා ලදී. "ලොවේ දසත පූජිත ගරු සිංහල ජාතිය උපන්න" නමින් විරුදු ගීත ගායනයට පිවිසි ඇය ගුවන්විදුලියේ ද ගීත ගායනා කළාය. 1943 පෙබරවාරි 15 එඩී ජයමාන්න සමඟ විවාහ විය. රුක්මණී දේවීය මිනර්වා නිළියක ලෙසින් නාට්‍ය ගණනාවක ගී ගයමින් වේදිකාවේ රංගනයේ යෙදුනාය. වේදිකාවේ රංගනයත්, ගායනයත්, සමඟම ග්‍රැමෆෝන් තැටි සඳහා ඇය ගායනා කළ ගීත අතර ජනප්‍රිය ගීරැසක් විය. "සිරිබුද්ධ ගයා, සාරා සිරිණි රම්‍යා, තේ පැන් දින දින, සිරි පාද කමල්" ඉන් කිහිපයකි. වෙළඳ තැටි සඳහා ද ගී ගායනා කළ ඇය" ආදරය නිසා, නිති නමදිමු සෑසී, කෝකිලයා, (ජෝතිහල සමඟ) දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත (ජෝතිපාල සමඟ) චාන්දනී පායා, දැඩි කළ මාතා" යන ගීත ඉන් කිහිපයකි.

තමාගේ රංගනය වෙනුවෙන් තමාගේම හඬමුසු කර ගත් නිළියන් අතර ඇය ප්‍රමුඛ තැනක් ගනී. "ශාන්ත මේ යාමේ, මෝරනවා ප්‍රේමේ, ගලා කන්දෙනී, (වැරදුනු කුරුමාණම) කරුණා ජලේ, ඕලු මලේ සුදෝ (අරුණ ශාන්ති සමඟ) මනහර ගීත ගයලා (සැඟවුණු පිළිතුර) සුදට සුදේ (උමතු විශ්වාසය) මැවිලා පෙනේවි රූපේ, මගේය ප්‍රේම මාලනී, අන්න සුදෝ(කැලෑ හඳ) රාණි එන්න කෝ නැගී, තරු පායන ආකාසේ (අයිරාංගනී) පෙම්මල් මාලා (මත භේදය) මාගේ පෙම්වතා (පෙරකදෝරු බෑනා ) ආදර නදිය ගලා (පෙරකදෝරු බෑනා ) ආදරයයි කරුණාවයි (දෛවයෝගය) ලස්සන රත්තරං බබෝ (සැමියා බිරිඳගේ දෙවියාය) දොයි දොයි දොයිය බාබා, (අහසින් පොළවට), ඇතුළු චිත්‍රපටි රැසක් ගීත ගායනා කළ මුළු ගීත ප්‍රමාණය 1000ට අධික වේ.
සිංහල සිනමාවේ නිළි රැජිණ විරුධාවලිය ලැබූ ඇය රංගනය මෙන්ම ගායන ලොව ගීත කෝකිලාවිය වුයේ කාගේත් සිත්වලට රසවත් ගී දැහැනක් තිළිණ කරමිනි. දින දින රුවින් හඬින් විකසිත වූ පංච කල්‍යාණියක් ලෙස බොහෝ දෙනා නම් කරන ආදරණිය රුක්මණී දේවිය 1978 ඔක්තෝබර් 28 වන දින හදිසි අනතුරකින් සදහටම දෙනෙත් පියා ගත්තද ඇය ගැයූ ප්‍රේමනීය ගීත තවමත් අපගේ සිත් තුළ නොමැරී පවතින බව නොරහසකි. ඇයගේ ගීත නවක ගායක ගායිකාවන් නව සංගීත සංයෝජනය කරමින් ගායනා කළ ද ඇයගේ ඥාති දියණියක වූ නීතිඥ කාංචනා ප්‍රනාන්දු ද ඇයගේ ගීත ඉදිරියට ගෙන යෑමට කටයුතු සලසාඇති අතර රුක්මණී දේවි නමින් බිහි වූ පදනම් අතර ඇයගේ පවුලේ ඥාතින් ආරම්භ කළ නීතිමය පදනමේ සභාපතිනිය ද නීතිඥ කාංචනා ප්‍රනාන්දු මිය වේ. ඇය රුක්මණී දේවියගේ මවගේ සොයුරියගේ දියණිය වේ.

