top of page

මරියසෙල් ගුණතිලක

      මරියසෙල් ගුණතිලක බහ තෝරන කාලයේ සිටම ගීත ගායනය සහජයෙන්ම උරුම කරගත් තලෙන්තුවකි. ගීතයක් කියන්න පටන් ගත් විට නොනවත්වා ගීත ගයන එක ඇය ගේ සුරතල් වියේ සිට ඇය ගෙන ආ දායාදයකි. ශා:ජෝසප් කන්‍යාරාමයේ අධ්‍යාපනයට ගිය ඇයට, ඇයගේ ගායන හැකියාවන් හඳුනා ගත් අයර්ලන්ත කන්‍යා සොයුරියන් ගේ සහයෝගය ලැබිණි. 1967 වන විට ගිටාරය අතට හුරු කරගත් ඇය 1970 දෂකය වන විට රත්මලානේ එස්තර් ඩිනිස් යන ගුරුවරිය යටතේ ගායනය “Obsever Talent Contest” තරඟයට සහහාගි වූ ඇය ඉන් ජයග්‍රහණය කලාය. එදින ඇයට කාගේත් ප්‍රසංසාව හිම විය. ඉන් පසු Junior Rythmics සංගීත කණ්ඩායමට එකතු විමට අවස්ථාව උදාවිය. නීල්, සිරි සහ යුජින් පෙරේරා යන සොහොයුරන් සමඟ ක්ලැරන්ස් කුරේරා සහ ඩ්වයිට් යන අය එම කණ්ඩායම නියෝජනය කරමින් බටහිර ගීත ගායනය කළ ද ඉන්ද්‍රානි පෙරේරා, මිනෝන් රත්නම්ගේ සිංහල ගීතය ද ඇය වරින් වර ගායනය කළාය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1976 දී කිටෝ චන්ද්‍රසේන සහ ඇය එකතු වී අත්හදා බැලූ ගීතයක් වූ “කැන්ඩි ලමිස්සි’’ ගීතය එළි දැක්විමට ඇය අවස්ථාව උදා කර ගන්නා ලදී. විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ සහයෝගයෙන් ජෙම්ටෝන් ලේබලයෙන් එම ගීතය සමඟ “රණ මොනරයි” සහ “ලෝක වටේ” යන ගී තුන ඇය තැටියක් ලෙස එළි දැක් වූ අතර එහි සංගීතය රොක්සාමි මහතා විසින් නිර්මාණය කරන ලදී. ගී පද නිර්මාණය හඩ්සන් සමරසිංහ මහතා විසිනි. එවකට ඇය නියෝජනය කරමින් සිටි සංගීත කණ්ඩායම වන Midnight Mist කණ්ඩායම වාදනයෙන් සහය විය. එම තැටිය රටේ මහත් ආන්දෝලනයකට ලක් වූ ගී තැටියක් විය. 

එතෙක් වේග රිද්මයට ගී ගැයු ගායකයන්ගේ ගීත අතරට වේග රිද්මයට ගයන ගායිකාවකගේ ගීතයක් මුල් වරට එකතු විය. ඒ සමගම Talk of the Town සංගීත කණ්ඩායමට එකතු වූ මරියසෙල් ගුණතිලක සිංහල, ඉංග්‍රීසි ගීත දෙකම එක ලෙස ගයනා කරන ගායිකාවක වුවාය. එවකට ජනප්‍රියත්වයේ සිටි “ජිප්සිස් සහ සුපර් ගෝල්ඩන් චයිම්ස්” කණ්ඩායම්වල ගීත රසවිඳින රසිකාවියක වූ ඇයට ක්ලැරන්ස් විජේවර්ධන මුණ ගැසීමෙන් ඇයගේ ගායන ශෛලිය වෙනස් මගක් ගැනිණ. ඇලිසන් මෝයෙට්, ඔලිවියා නිව්ටන් ජෝන්ස්, ලුලු, වැනි බටහිර ගායිකාවන්ගේ හඬට සමීප හඬක් පිහිටි ඇයගේ හඬට ගැලැපෙන ගීත ඔහු විසින් නිර්මාණය කරන ලදී. පියානෝව හා ඕගනය වාදනයට දක්ෂකම් පෑ මරියසෙල් ගුණතිලක සංගත ගායනයට ද දැක්වුයේ ඉමහත් දක්ෂතාවයකි. “ලහිරු වැටෙන වෙලේ, නාමල් ඉහිරෙන, ඔබ මගේ කියා, හා හා රු දෙනෙතේ” යන ගීත බිහි වුනේ ඉන් පසුවය. ඒ අතරම වෙනත් ගායකයන් සමඟ ද ඇය ගී ගායනා කලාය. ඩේස්මන් ද සිල්වා, ක්රල්න්ස් විජේවර්ධන, සුනිල් පෙරේරා, සොහාන් වීරසිංහ, සහ වර්නන් පෙරේරා නිර්මාණය කළ ගීත රැසක් නිහාල් නෙල්සන් සමඟගයන කරන ලදී.

වේග රිද්ම සහ country ශෛලියේ ගීත දෙකම එක ලෙස ගායනා කළ ඇය 70, 80, දශකය වන විට “රහසයි සොදුරු ජීවේ, නුවන් බිඟුන්, මල්ලිකා, ඔබේ හද විල තුළ’’ ඇය ගායනා කළ නොමැකෙන ගී අතර වේ. 1982 වසරේ ක්ලැරන්ස් විජේවර්ධන නිර්මාණය කළ “යොවුන් සිහින ලෝකේ” ගීතය බටහිර සහ හින්දි ගීත ශෛලීය මිශ්‍ර වූ අපූරු ගීතයක් විය. Harmony ගායනයේ දක්ෂ ගායිකාවක වූ මරියසෙල් 1984 දී ඇයගේ ඥාති දියණියක වෙනුවෙන් ගායනා කළ “වත්සලා ’’ගීතය ද ඇයගේ අනන්‍යතාව පිලිඹිඹු කරන ගීතයක් විය. “මෑණියණී ඔබේ ළයේ” වැනී හැගුම් බර ගීත ඇයගෙන් එළි දැක්වුණු සුවිශේෂ ගීත අතර වේ. වසරෙන් වසර ගායනයෙන් පරිණත වෙද්දී ඇය තෝරා බේරාගෙන ගී ගායනයට පිවිසුනාය. 

1990 දශකයේ රොෂාන් ප්‍රනාන්දු නිර්මාණය කළ “සිහින නෙලුම් මල්” ගීතය එහි ප්‍රතිඵලයකි. මවකගේ හැඟීම් මනාව උද්දීපනය කෙරෙන මෙම ගීතය ඇයගේ පුතු වෙනුවෙන් නිර්මාණය වූ අපූරු මිහිරි ගීතයකි. බටහිර ගීත තනුවක් අනුව ඇය ගායනා කළ “මල් සර මල් කුමරා” ගීතය ඇයගේ ගායන ශෛලීයේ ඇති විශේෂත්වය දැකිය හැකි තවත් ගීතයක් විය. 2000 වසරේදී ඇය “මානෙල් මලක්” නමින් නව ගීතයක් එළි දක්වන ලදී. වාදනයට, ගායනයට දක්ෂතාවය දක්වන ඇය “රළ බින්දු, පොඩි නෝනා, නැළවෙන මව් උකුලේ, ආදරය හන්දා” වැනි වෙනත් ගායක ගායිකාවන්ගේ ගීත නව සංගීත සංයෝජනයෙන් ගායනා කළ අතර ඒවාට අසාධාරණයක් නොවිය.

 මේ යෞවනේ, ගැයූ ගී, රෝස මල් පියල්ලේ, පහන් නොවන රැයක, මා හැඬු හැඬුම්, ඔබ හද තුළ” වැනී ගීත 700 පමණ ගායනා කළ මරියසෙල් ගුණතිලක, මිල්ටන් මල්ලවආරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන, දීපිකා ප්‍රියදර්ශනී, සමිතා මුදුන්කොටුව, නිහාල් නෙල්සන්, වර්නන් පෙරේරා, ඩේස්මන් ද සිල්වා, අනිල් භාරති ඇතුලු බොහෝ ගායක ගායිකාවන් හා යුග ගී ගයා ඇති වාදනයට හා ගායනයට දක්ෂ වර්තමානයේ සිටින විශිෂ්ටතම කලා ශිල්පිනියකි.

 

“මරියසෙල් ගුණතිලක ගී රේඩියෝව” සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page