top of page

කොරීන් අල්මේදා

70 යුගයේ බිහි වූ කණ්ඩායම් සංගීත ශෛලියට ගායන කරන 80 යුගයේ එකතු වූ ගායිකාවන් අතර කොරින් අල්මේදා ට ඇත්තේ ප්‍රධාන තැනකි. ජුලියන් අල්මේදා සහ නොයිලින් ලෝඩ් යන ඇයගේ දෙමාපියන්ද සංගීතයට හිතකාමී පුද්ගලයන් වීමෙන් නිවස පුරා සංගීතමය පරිසරයක් ඇයට තිබුණි. කුඩා කළ සිටම ගායන හැකියාව තුරුළු කරගෙන උපන් ඇය මුලික අධ්‍යාපනය හැදෑරුවේ බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ විදුහලෙනි. නැවත කඳාන ශාන්ත සෙබස්තියන් බාලිකා විදුහලට ඉහළ අධ්‍යාපනයට ඇතුළු වූ ඇය පාසල් සමයේ ගායනයට නමක් දිනා ගෙන සිටියාය. පාසලේදී ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගත්ත ද ඇයගේ රුචිකත්වය බටහිර සංගීත ශෛලියට වුයෙන් ඈ බටහිර ශෛලියේ ගීත ගායනයට යොමු විය.කතෝලිකයෙකු වූ ඇයට දෙව් මැඳුරේ ගීතිකා ගායනා අභාෂය බෙහෙවින් උපකාරී විය. 70 යුගයේ ඇය පාසල් ගායනා තරඟ මෙන්ම එකල පැවැත්වූ ගායනා තරඟ කිහිපයකින්ම ජය අත් කරගෙන ගායනයට පන්නරය සහ වපසරිය සලසා ගත්තාය.

1980 යුගයේ ඇය ඇයගේ සොහොයුරා කෙවින් සහ ඥාති සොයුරන් සමඟ "Singing Cousings" යන කණ්ඩායම අරම්භ කරන ලදී. පසුව ඇය christal set යන සංගීත කණ්ඩායමට එකතුවී ගායනය තුළ අත්දැකීම් ලබා ගත්තාය. ගායනයට අමතරව රැකියා ක්ෂේත්‍රයට පැමිණි ඇය ෆෙන්ටන්ස් ආයතනයේ සහ කොළඹ හිල්ටන් හෝටල් සංකීර්ණයේ රැකියාවේ යෙදුනාය. 1983 යුගයේ ඇය "Summer Set" යන බටහිර සංගීත කණ්ඩායමට බටහිර ගී ගායිකාවක් ලෙස සම්බන්ධ විය. කොළඹ තරු පහේ හෝටල් සංකීර්ණය තුළ ඇයගේ මියුරු හඬ  ඇය අවදී කළාය. බටහිර ගීත මෙන්ම සිංහල ගීත ගායනයට ඇය දක්ෂ විය. Carpenters, Olivia Newton Johns, Anne marie වැනි  බටහිර ගායිකාවන්ගේ මෙන්ම, ඉන්ද්‍රානි පෙරේරා, රුක්මණී දේවි යන ගායිකාවන්ගේ ගීත ඇය බොහෝවිට ගායනා කළාය.

1986 ඇය country & western සංගීත කණ්ඩායමක් වූ "Cosmic Rays" කණඩායමට එකතු විය. Country ශෛලියේ ගීත සඳහා ඇයගේ හඬ පෞර්ෂය සකසා ගත්තාය. 1991 යුගයේ සුනිල් පෙරේරා ප්‍රමුක ජිප්සීස් කණ්ඩායම සම්බන්ධ විය. විවිධ ගායිකාවන්ගේ ගීත ගායනා කළමුත් ඇය කිසිම ගායිකාවකගේ හඬක් අනුකරණය කිරීම  ප්‍රතික්ෂේප කළ අතර නිතරම ඇයගේ හඬ ඉස්මතු වෙන ලෙස  ගායනය සකසා ගන්නා ලදී. 90 යුගයේ වරින්වර ඈ ජිප්සියස් කණ්ඩායම සමඟ ගීත කිහිපයකටම සම්බන්ධවිය. පෙර නිර්මාණය වූ ගී, නව ගායනය සඳහා ඇය හඬ අවදී කළා ය. "ගීයකින් කෙසේ, (මුල් ගායනය ෂාමි ෆොන්සේකා) කැදැල්ලේ ඇති වූ කිරිල්ලි, (මුල් ගායනය මිනොන් රත්නම්) වැනි ගීත සඳහා ඇයගේ  ගායනා ශෛලිය සාධාරණය ඉටු කර තිබුණි.

ශෝබී පෙරේරා නිර්මාණය කළ "පාවී පාවී තටු සලළා, තරු කැට කිව්වා, රජිව් සෙබස්තියන් සමඟ "ලෝකේ ජීවත්වන්නට" (මුල් ගායනයක්ලැරන්ස් විජේවර්ධන සහ ලතා වල්පොල) යන යුග ගීතයට ඇය ගායනයෙන් දායක විය. ලකී දේවා නිර්මාණය කළ රෑන ගිරව් ඉගිල්ලුනා, රනින් මුදු පළදා, පාට පාට රන්වන් සමනලයින්, දිනේෂ් තරංග සමග මගේ කෙල්ලේ, M.S.ප්‍රනාන්දු  සමඟ නෙලුම් මලේ පෙති කඩලා (මුල් ගායනය ඇන්ජලීන් ගුණතිලක), පෝල් ප්‍රනාන්දු ගේ සමග "අවේ වන බඹරෙක්"(මුල් ගායනය අනුලා ප්‍රනාන්දු) වැනි ගීත නැවත ඇයගේ හඬින් රසවත් විය. 2003 වසරේ ඇය ඇයගේ ස්වනිර්මාණ සංයුක්ත තැටිය " අලුත් දෙයක්" නමින් එළි දක්වන ලදී. විවිධ ශෛලියේ ගීත 12ක් එහි අඩංගු වූ අතර බයිලා රිද්මයට ඇය ගායනා කළ "රෙද්ද හැට්ටේ" ගීතය රසිකයන් අතර බොහෝ ජනප්‍රිය විය.

2005 වසරේ නැවත යොවුන් සංයුක්ත තැටියක් එළි දක්වන ලදී. 2005 වසරේ රොනී ලීච් සමඟ ඇය ඉදිරිපත් කළ සංගීත ප්‍රසංගය දින එළි දක්වන ලදී. ගීත 16ක් අඩංගු මෙම CD තැටියේ රුක්මණී දේවි ගායනා කළ ගලා කන්දෙහි, ආදරය නිසා, මගේ පෙම්වතා යන ගීත ඇය නව සංගීතය යොදා ඇයට උපහාරයක් ලෙස ගායනා කරන ලදී. ගායනයේදී තරුණ ජවය මතුවන ප්‍රාණවත් හඬකට හිමිකම් කියන ඇය වේදිකාව ජය  ගත්තේ ද ඇයගේ හඬේ ඇති පෞර්ෂත්වය නිසාවෙනි.

ප්‍රසංගාත්මක බව අපුරුවට විදහාපාන කොරින් අල්මේදා ප්‍රහසනාත්මක ගායනයට ද දක්වන්නේ විශේෂ දක්ෂතාවයකි. මන්ද ඇයට රංගනයටද දක්ෂ ගායිකාවකි වේග රිද්මයේ ගායිකාවක් ලෙස රසිකයන් අතර ප්‍රසිද්ධ වූ ඇය 2013 වසරේ "තව ඒක සැරයක්" නමින් සරල ගීතයක් එළි දක්වන ලදී. එම ගීතය සමඟම "මන්ත්‍රී නෝනා" නමින් ගිතයක් ද  එළි දක්වන ලදී. බර්ගර් ජාතික ගායිකාවක වුවද ඇය සිංහල ගීත ගායනයේදී හැකිතාක් සාධාරණයක් කිරීමට පසු බට නොවිය. අනවශ්‍ය බටහිර උච්චාරණයට ඇය කැමැත්තක් නොදක්වන්නිය. ශ්‍රී ලාංකික ගායිකාවක ලෙස ඇයගේ ප්‍රියතම ගායිකාව වුයේ ඉන්ද්‍රානි පෙරේරාය. නමුත් ඇය රුක්මණී දේවි, උමාරියා සහ නන්දා මාලනී ගේ ගීත අගය කරන අතර කිසිම ගායිකාවක් අනුකරණය නොකරන තම අනන්‍යතාවය ගොඩනඟා ගත් ගායිකාවකි.ඇයගේ සොහොයුරු කෙවින් අල්මේදා සමඟ තමන්ගේම සංගීත කණ්ඩායමක් ගොඩනගා ගෙන ඇති ඇය සංගීත ලොවට තිළිණ කළ ගීත ප්‍රමාණය 50ක් පමණ වේ.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page