top of page

චාන්දනී හෙට්ටිආරච්චි

     කුඩා කාලයේ සිටම ටීනා චාල්ස්, ඇබා යන සංගීත කණ්ඩායම් සහ ගායිකාවන්ගේ ගීත ශෛලියට ප්‍රිය කළ අතර ඇයගේ හඬද බටහිර ගායක කණ්ඩායමක් වූ Pussy cats, Laura Branigan යන ගායක ගායිකාවන්ගේ කටහඬට සමීප බවක් තිබූ අතර ඇය රූපවාහිණියේ “නන්දන වින්දන” වැඩසටහන තුළින් බටහිර කණ්ඩායමක් වන Ottawan සංගීත කණ්ඩායමේ ගීතයක් වූ  Hands up ගීතය ගායනා කිරීමෙන් පොදු රසිකයා අතරට චාන්දනී හෙට්ටිආරච්චි නම රඳවන්නට ඇයගේ ගායනය හා රංගනය සමත් විය.

2014.03.03 දින චාන්දනී හෙට්ටිආරච්චි ගී රේඩියෝව සමඟින් කළ සාකච්ඡාවක් ඇසුරිණි.

 

     1980 යුගයේ pop ගායිකාවක ලෙස සංගීත ක්ෂේත්‍රයට පිවිසි චාන්දනී හෙට්ටිආරච්චි සංගීතයට අවතීර්ණ වූයේ ඇයට වයස 12 සම්පූර්ණ වූ විටය. කුඩා කල සිටම ගායනයට සහජ දක්ෂතාවයක් තිබූ ඇයට "මවුන්ට් චයිමිස්" ගායක කණ්ඩායම සමඟ ගායනයට දොරගුළු විවර විය. 1980 යුගයේ "සියැක් සංගීත" කණ්ඩායමට එකතු වූ ඇය බොහෝවිට ගායනා කළේ ඉන්ද්‍රානි පෙරේරා, සුජාතා අත්තනායක, වැනි අප දේශීය ගායිකාවන්ගේ ගීතයන්ය. හින්දි ගීත ගායනයට දක්ෂතාවය දැක්වූ ඇය, තෝරාගත් හින්දි ගීත ද ගායනා කළාය. 1983 වසරේ චාන්දනී, "සඳ නැගෙනා" නමින් ඇයගේ කුළුදුල් ගීතය සමඟ හින්දි බටහිර ගීත ඇතුළත් කැසට් පටයක් එළි දැක්වූවාය. "සඳ නැගෙනා" ගීතය නිර්මාණය කළේ ක්ලැරන්ස් විජේවර්ධනයන් විසිනි. "සියැක්" කණ්ඩායමේ සිටියදීම 1985 වසරේ ඩේබි ආර්නෝල්ඩා යන බටහිර ගායිකාවගේ සංගීත කණ්ඩායම් සමඟ ඇය බටහිර ගායනයට පිවිසියාය.

   2012 වසරේ ඇය “සඳු ඇවිල්ලා” යනුවෙන් නවතම CD තැටියක් එළි දැක්විය. Yodeling ගායනයත් ඇය සමහර බටහිර ගීත ගායනා කරන විට ඉස්මතු කරයි. එය ගායනයේ විශේෂ දක්ෂතාවයකි. "මාල ගිරවුනේ", "සල් මල් වැල්", "විලාසිතා" ඇතුළු චාන්දනී හෙට්ටිආරච්චි මව්ගුණ ගීත, කිතුණු ගීත, ආදර ගීත, වේග රිද්ම යන සෑම වර්ගයේම ගීත 50කට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර ඇය තවමත් රසිකයන් පිනවීම සතුටට කරුණකි.

     1996 හේලි අත්තනායක, අශෝක්, ප්‍රසන්න රෝසා සමඟ Star Light සංගීත කණ්ඩායමට ද පසුව Dream Team ගායක කණ්ඩායමට එකතු විය. පසුව චමින්ද හේමරත්න සමඟ C & C (Chandani & Chaminda) නමින් තමන්ගේම  කණ්ඩායමක්  නිර්මාණය කරන ලදී. මල් පිබිදෙන යාමයේ, මාල ගිරා මුතු මාල බැඳන් සහ සහශ්‍ර වසර වෙනුවෙන් ඇය, චමින්ද හේමරත්න සමඟ "මල් හිනැහී සාමයේ" නමින් විශේෂ සාමයේ ගීතයක් එළි දැක්විය. දක්ෂ ගායිකාවක වූ ඇයගේ දියණිය ජැකලින් Harmony ගායනයෙන් දායක විය.

     ඉන් පසුව පීටර් රොසයිරෝ සමඟ ඇය ගායනා කළ "රඟන තාල මවා" යන ගීතය එළි දක්වන ලදී. පද කණපිට හරවා නිර්මාණය වී තිබූ එම ගීතය තුළ තිබූ වෙනස නිසාම රසිකයන්ට සමීප වූ සරල ගීතයක් විය. 1990 මුල් කාලයේ ක්ලැරන්ස් විජේවර්ධන නිර්මාණය කළ විලාසිතා සහ කිතුණු ගීතයක් වූ සෙනෙහස යන ගීත ඇය පටිගත කළාය. එම ගීත සමඟ 1995 වසරේ විලාසිතා නමින් ගීත 14ක් ඇතුළත් සංයුක්ත තැටියක් ඇය එළි දැක්විය.

     ලකී දේවා විසින් පද රචනා කරමින් තනු නිර්මාණය කළ මෙම “මල් හිනැහී” ගීතය ද, චන්ද්‍රසේන ප්‍රනාන්දු පද රචනා කළ, චමින්ද හේමරත්න තනු නිර්මාණය කළ “ඇයි මිනිසුනේ” ගීතයත් ඇතුළත් කරමින් "යස අඟනා" නමින් සංයුක්ත තැටියක් එළි දැක්විය. බටහිර, හින්දි, සිංහල, භාෂා තුනෙන්ම ගී ගයන ඇය තමන්ටම අවේණික වූ Tremolo ගායන ශෛලියකින් ගයන අතර සිංහල ගීත පහළ ස්වරයෙන්ද බටහිර ගීත ඉහළ ස්වරයෙන් ද ගායනා කිරීමට දක්ෂතාවයක් ඇත.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page