top of page

ඉන්ද්‍රානි විජයබණ්ඩාර 

ඇසළ මස 15 දින උපත ලද ඉන්ද්‍රානි විජේබණ්ඩාර කොළඹ මියුසියස් විද්‍යාලයෙන් සහ දේවි බාලිකා පාසැල් මෑණියන් ගේ සෙවණේ අධ්‍යාපනයෙන් පෝෂණය ලබන අවදියේ ගුවන් විදුලියට වසර 25 පිරීම නිමිත්තෙන් එහි විශේෂ ගීයක් ගායනා කිරීමට ඇයව සුනිල් ශාන්තයන්ට හඳුන්වාදුන්නේ ගරු මර්සලින් ජයකොඩි පියතුමාය. ඒ 1956 වසරේදීය. වයස අවුරුදු 12 ක් වයසැති මේ ළමා ගායිකාව පාසල් ගායනාවන් වලදී  නිරන්තරයෙන් දස්කම් දැක්වූ නිසාවෙන් ඇයට මේ අවස්ථාව උදා විය. "ලෝ පුරා රැව් නඟා ආසිරි" යන ගීතය  සුනිල් ශාන්තයන් සමඟ ඇය ගායනා කළාය. ඇයගේ ගායනයට හා ඇයට දිරිය දෙමින් ඇයව මේ වැඩසටහනට පුහුණු කළේ ද ගරු මර්සලින් ජයකොඩි පියතුමාය. අත්දැකීම් නොලද මේ කුඩා දැරියට එතුමා ගුරු උපදෙස් දුන්නේය. එහි නිමාව දුටුවේ 1956 දී ඇය ගුවන් විදුලියේ ළමා පිටියට එකතුවීමත් සමඟය. ඇයගේ මිහිරි හඬ ගුවන් විදුලියේ ළමා වැඩසටහන් රැසකට මුසු කළාය. 

 

 

එකළ ලෙස්ටර් ජේමිස් පිරිස් මහතා අධ්‍යක්ෂණය කළ "රේඛාව"චිත්‍රපටියට අවැසි ළමා හඬක් සොයද්දී ඇයගේ හඬ එම ගීතවලට ගැලපෙන බව වටහාගත් මර්සලින් ජයකොඩි පියතුමා ඇයව නැවත සංගීත අධ්‍යක්ෂක B.S පෙරේරාට හඳුන්වා දුන්නේය. ලන්ඩනයේ Royal College Of Music  ආයතනයෙන් බටහිර සංගීත ඩිප්ලෝමා ලබා සිටි, B.S.පෙරේරා වැනි සංගීත අධ්‍යක්ෂකවරයෙකු යටතේ ගී ගැයීමට ලැබීම ඇයට උදා වූ මහඟු අවස්ථාවක් විය. සුනිල් ශාන්තයන් තනු නිර්මාණය කළ B.S පෙරේරා සංගීත අධ්‍යක්ෂණය කළ "වෙසක් කැකුළු, සුදු සඳ එළියේ" යන ගීත ගැයීමට ඇය භාග්‍යවන්ත වුවාය. බටහිර සංගීත ශෛලිය  සිංහල සංගීතය ශෛලිය සුසංයෝගය මැනවින් දියත් කරන B.S පෙරේරාවන්ගේ මිහිරි සංගීතයට ඇයගේ හඬ හොඳින් ගැලපුනාය. පසුව ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාවක ලෙස සමත් වූ ඇය ගුවන් විදුලි සරල ගී රැසකටම තම හඬ මුසු කළාය. 

1962 වසරේ ඇය සිසිර සේනාරත්න නම් ප්‍රතිභාපුර්ණ සංගීත කලාකරුවා සමඟ අතිනත ගැනීමෙන් පසු ඔවුන්ගේම යුග ගීත බොහොමයක් රසිකයන්ට තිළිණ කළාය. සිසිර සේනාරත්නයන්ගේ හඬට ළමා හා යොවුන් හඬ අතර සම්මිශ්‍රණය වූ ඇයගේ දුර්ලභ හඬත් අපුරු සුසංයෝගයක යෙදී තිබිණ. කරුණාසේන ජයලත් ශුරීන්ගේ නවකතාවක් වූ "ගොළු හදවත" හි චරිත අලලා "ආදරෙයි මං ආදරෙයි ධම්මි තවමත් ආදරෙයි" ගීතය පෙම්වතුන් අතර ඉතා ජනප්‍රිය වූ ගීතයකි. පාසල් ආදරය ගැන කියවෙන මේ ගීතයට ඇයගේ තරුණය හඬ අපුරුවට ගැලපුනාය.  

ඇය තාරුණ්‍ය පසු කරද්දීත් ඇයගේ හඬේ තිබු සුරතල් බවේ වෙනසක් නොවිමම ඇයගේ හඬේ විශේෂත්වය මැනවින් කියා පැවාය. "රතු පාට මල්, ගයා ගීතයන් ගමේ වෙල් එළියේ, නාමල් කෝමලී" අපේ මතකය අවදි කරන ගීත කීපයකි. ගුවන් විදුලි සරල ගී වලට අමතරව ද ඇය කොලොම්බියා තැටිවලට ද ගී ගැයුවාය. ඇයගේ ගායන කෞශල්‍ය අගයනු වස් 1959 දී ඈ දිපසිකා සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.  එවකට ශ්‍රී ලංකාව තුළ එම සම්මානය ලබා ගත් පළමු ගායිකාව ඇය වීම විශේෂ කරුණකි. 

 

1968 වසරේ M.S.ආනන්ද අධ්‍යක්ෂණය කළ ප්‍රවේසම් වන්න චිත්‍රපටියට "හොඳ හොඳ ළමයින් අපි වාගේ " ගීතය ඇය ගායනා කළේ ශ්‍යාමා ආනන්ද නම් වූ ළමා නිළිය වෙනුවෙන්ය. එවිට ඉන්ද්‍රානි විජය බණ්ඩාර විවාහ වී සිටිය ද  ඇය තුළ ඇති ළමා හඬ අවැසි තැන්වල මතු කර ගැනීමට ඇය දක්ෂ වුවාය. ඇයගේ විශේෂ වූ හඬ චිත්‍රපටි ගණනාවකට මුසු කිරීමටද අමතක නොකළේය. වන මල් පිපෙනා ( කව්ද හරි ), ආදා එදා (ශෝබා), අම්මේ බඩගිනි (සුවිනීත ලාලනී ), බාලොලි ලොලි (අදට වැඩිය හෙට හොඳයි ), හරුන් ලන්ත්‍රා සමඟ යුග ගී ගායනා කළ අතර  චන්ද්‍රයා පායා එනවා (හිතට හිත) මල්ලිකා කහවිට සමඟ ගායනා කළ දෙව් ලොව දෙව් (දස්කම) එන්න එන්න චුට්ටක් (මා ආලේ කළ ස්ත්‍රී) ඈත අහසේ නැගේ (හඳපාන) සිසිර සේනාරත්න සමඟ ගායනා කළ අතර වික්ටර් රත්නායක, සිඩ්නි ආටිගල, හරුන් ලන්ත්‍රා, වැනි ගායකයන් සමඟ යුග ගී සඳහා ඇයගේ හඬ මුසු කළාය. "දිපාංජලි, රන් එතනා, පුංචි බබා " ඇතුළු චිත්‍රපටි ගණනාවකට පසු බිම් ගායනයෙන් දායකවිය. 

1970 යුගයේ ඇය ගායනා කළ "ඔබේ ගතින් මා ලඟයි" ගීතය බටහිර ශෛලියට නිර්මාණය වූ ගීතයකි. එහි සංගත (Harmony) ගායනාවද ඇය විසින්ම ගයමින් බටහිර ශෛලියට අනුව හඬ හසුරුවාගෙන ගායනා කිරීමට හැකිවීම ද ඇගේ දක්ෂතාවයකි. සිසිර සේනාරත්නයගේ නිර්මාණයක් වූ එම ගීතයට යොවුන් ආදර වන්තියකගේ හැඟීම් මතුවන ලෙස ඇය එය ගායනා කර තිබිණ. කවදත් තම අනන්‍යතාවය එක ලෙස රැගෙන ගීත ගැයූ ඇය "නිවී නිවී දිළිසේ තරුවේ, මල් සුටික්කෝ, දඟකාරී මම මද්දුම දෝණි, මා සොයා ආ නිසා, ඔබ නැති මේ බිම, රතුපාට මල් " ඇතුළු චිත්‍රපටි ගී, සරල ගී, පෙරදිග, අපරදිග, ශෛලීන්ට අනුව ගැයූ ගීත 400 ට අධික ප්‍රමාණයකට හඬ මුසු කළාය ඇය සිංහල සංගීත ලොවට කළ සේවය මෙපමණකයි  නිම කළ නොහැකි තරම්ය. ඇයගේ නිර්මාණ තවමත් ඇයගේ හඬ මෙන් තාරුණ්‍යයේම පවතින බව අතිශයෝක්තියක් නොවේ. 

2014-05-27 ගී රේඩියෝව සමඟ කළ සාකච්ජාවක් ඇසුරිණි.

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page