top of page

  ක්ලැරන්ස් විජේවර්ධන

                     

   

සංගීත ලොවට pop සංගීතය හඳුන්වා දෙමින් pop සංගිතයේ පියා ලෙස විරුදාවලිය ලැබූ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සම්පුර්ණ නම උප්පැන්නයේ සඳහන් වනුයේ විටා කුරුප්පු ආරච්චිගේ ක්ලැරන්ස් ආතර් සෝමසිංහ විජේවර්ධන යනුවෙනි. මාතලේ යටවත්තේ පදිංචිකරුවන් වුවද වෛද්‍යවරයෙකු වූ එතුමාගේ පියා වන ආතර් ජෝර්ජ් පෙරේරා විජේවර්ධන හපුතලේ සේවය කරන කාලයේ ක්ලැරන්ස් විජේවර්ධන නම් ඔහු 1943 අගෝස්තු 03 වන දින හපුතලේ දී උපත ලැබිය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

   

 

                        තම පියා සහ මව වන සෝමා කුමාරි ඒකනායක කිතුනුවන් වූ අතර ඔවුන් බැප්ටිස් සභාවට අයත් වුවන් බැවින් ක්ලැරන්ස් විජේවර්ධනයන් බෞතිස්ම ලැබුවේ බැප්ටිස් සභාවෙනි. සංගීතය උපතින් දායාදයක් ලෙස ලැබූ ක්ලැරන්ස් විජේවර්ධනයන් ගිටාරය අතට හුරු කර ගත්තේ ගැටවර විදීමය. යටවත්ත මහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු හෙතෙම 1968 දී මුන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායම ආරම්භ කරන ලදී. එවකට ඔහු පදිංචිව සිටියේ රත්නපුර ප්‍රදේශයේය. බටහිර සංගීත ශෛලිය ප්‍රිය කළ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගීත ශෛලිය Country and Western, pop බටහිර සංගීත රටාවන්ට හුරුවුවක් විය. ශ්‍රී සඟබෝ කොරයා මහතා මුණගැසීමෙන් ලැබූ සහය මත කණ්ඩායමේ නව පියවරක් එළි දකිමින් ගුවන් විදුලියේ Saturday Stars වැඩසටහනට සහභාගී වී ලැබූ හොඳ ප්‍රතිචාර නිසා ඔවුන්ගේ පළමු ගී තැටිය මංගෝ කළු නැන්දේ, සිත උදේ, මැණිකේ සුදු මැණිකේ, රුවන් පුරය යන ගීත හතර ඇතුළත් කරමින් එළි දක්වන ලදී.

 

 

 1971 දී ඔහු තවත් කඩඉමක් පසු කරමින් ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායම ආරම්භ කරන ලදී. කිමදනාවේ, මගේ පැල්පතේ, සමනළයෝ, මලයි වැලයි යන ගීත එළි දැක්වූ පළවෙනි ගී තැටියයි.ඔහුගේ ගායන අනන්‍යතාවය ගොඩ නැගුනේ එතැනිණි.එම ගීත අතර  Bassanova වැනි රිද්මය අනුව මගේ පැල්පතේ ගීතය නිර්මාණය කිරීම විශේෂත්වයක් වෙන්නේ එම  රිද්මය අනුව ගීත නිර්මාණය වෙන්නේ අල්ප වශයෙන් බැවිනි. මිට පෙර නිර්මාණය කළ සිත උදේ, වන දෙව්ලිය තුරුලේ, ගීත ද එම රිද්මය අනුව නිර්මාණය වී තිබුණි. තවද  ඔහු අනිල් භාරති සහ ලංකිකා පෙරේරා වෙනුවෙන් නිර්මාණය කළ සඳයි තරුයි ගීතය ,ආදරයේ සතුට සහ වේදනාව ගැන කියවෙන ගීතයකි. එහි අදහස වඩාත් මතුවන ලෙස කෙම්ටෝ සහ දාදරා රිද්ම දෙකකින් නිර්මාණය කිරීම ඔහු සතු විශේෂ දක්ෂකමකි. ධිවර ජීවිතය අලලා නිර්මාණය වූ මුහුදු රැල්ල ගීතයේ පෙර වැයුම තුළ ඇති ගිටාර් නාදය සහ ගීයේ අවසාන කොටසට යොදා ඇති ගායනය ගීතයේ අදහස වඩා කැපී පෙනේ. 

 

 

නැවතත් 1973 දී සුපර් ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායම ආරම්භ කළ ඔහු ගමෙන් ලියුමක්, උඩරට නිළිය, වන බඹරෝ වැනි ගීත රැසක් එළි දැක් වූ අතර එම ගීතයන්හි ගීත රචකයා සහ තනු නිර්මාණය, සංගීත අධ්‍යක්ෂණය, ගායනය යන අංශ හතරම එකම පුද්ගලයෙකු සතු වීමේ දුර්ලභ හැකියාව ඔහු විදහා දක්වන ලදී. ගමක සිරියාව මතු කරන ගමෙන් ලියුමක්, ගොයම් කපනවා, සුදු මැණිකේ, වැනි ගීතවලට බටහිර සංගීතය සමඟ සිංහල සංගීතය  සම මිශ්‍රණය කොට සාර්ථක නිර්මාණයක් එළි දැක්වීම  ඔහු සතු විශේෂ හැකියාවක් විය. ඉන්ද්‍රානි පෙරේරා ගයන 

 

"එදා තරම් මගේ සිතේ රැඳුනේ නේ තව දවසක් 

දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දසදහසක්".  

 

 සැණකෙළියේ ගීතයේ එළිසමය "ක් " අකුරෙන් අවසන් වනලෙස නිර්මාණය කිරීම  ඔහුගේ නිර්මාණශීලි බවේ ලක්ෂණයකි. විවිධ පුදගලයන් වෙනුවෙන් ගීත නිර්මාණය කිරීමේ හැකියාව වරින් වර මතු කළ ඔහු විජය කොරයාගේ පුතු වෙනුවෙන් "කිරි මුහුද" ගීතයද ලංකිකාගේ පුතු වෙනුවෙන් "සිහින පැතුම් විමනේ" ගිතය ද නිර්මාණය කරන ලදී. 

 

තම  දයාබර බිරිඳ ශිලා විජේවර්ධන වෙනුවෙන් ගීත රැසකම එළි දැක්වූ අතර සුදු මැණිකේ ගීතය ඉන් එකකි. ඔහුගේ ප්‍රියතම ගීතය තම දියණිය වෙනුවෙන් ගැයූ අමිලා දුවේ ගීතය ද තම මෑණියන් වෙනුවෙන් ලියු මෑණියනි ගීතය ද අදටත් අප සවන පිනවන ගීත අතරට එකතුවේ. ගී ලොව කෝකිලාවිය වන රුක්මනි දේවි වෙනුවෙන්ද ඔහු විශේෂ ගීතයක් නිර්මාණය කරන ලදී. විවිධ සංගීත  ශෛලීන් උපයෝගී කරමින් ඔහු නිර්මාණය කළ ගීත රැසකි. යොවුන් සිහින ලෝකේ, දුව රෝෂි, ලපලු සෙවණේ, රෝහිණි, හද මල් ගොමුවේ, කඳුකරයේ සීතලේ, හිරු සඳු, ඔකඳ වෙලා,තණ නිල්ල දිගේ, යන ගිත ඔහු නිර්මාණය කළ ගීත දහසක් අතරින් කිහිපයකි.    

                         

 

තම නෙතට හසුවන ස්වාභාව ධර්මයාගේ නෙත්කළු දර්ශන, පුද්ගලයන්ගේ ඉරියව්, ගමක සිරියාව, ඔහුගේ තෙලි තුඩ පද්‍ය රචනාවන්ට පෙරළිය. සුමුදු සමන් මල්, සුමුදු මල් පිපුණු අතු කොනේ, මංගෝ කළු නැන්දේ යන ගීත මේ බව මානව පිළිඹිබු කරයි. ජීවත්ව සිටින පුද්ගලයන් වෙනුවෙන්ද ඔහු බොහෝ ගීත නිර්මාණය කරන ලදී.ශ්‍රී සඟබෝ කොරයා මහතාගේ දියණියන් වෙනුවෙන් රමණි සහ දිල්හානි දුවණි යන ගීත නිර්මාණය කරන ලදී. ඒ ඔවුන්ගේ සංගීත දිවිය එළි කළ ඔහුට කෘතගුණ සැලකීමක් වශයෙනි. 1969 දී  ඔහුගේ කෝකිල හඬ අවදි කරමින් කරුණාරත්න අබේසේකරයන්ගේ පුතු වෙනුවෙන් " දිලීප පොඩි පුතු " ගීතය ගායනා කරමින් සංගීත ලොවට මුල් වතාවට ඔහු ගායනයෙන් ද අවතීරණය විය. එම ගීතයට රසික ප්‍රතිචාරයන් 2014 වසරේ අද දක්වාම ලැබෙමින් පවති. 

පසුව ඔහුට සහ ඇනස්ලි මාලවනට ශානක පෙරේරා මුණ ගැසීමෙන් එවකට ඔවුන් වාදනය කරමින් සිටි බිකන්ස් කණ්ඩායමේ ඉලෙක්ට්‍රික් ගිටාර් නාදයට සිත ගිය අතර එයින් ඔහුට නිර්මාණයක් කළ හැකි බව වැටහුණු ක්ලැරන්ස් විජේවර්ධන ඔවුන්ගේ දෙවන ගී තැටියට ශානක සහ විජිත් පිරිස් යන දෙදෙනාව කණ්ඩායමට සම්බන්ධ කරගෙන සුරිය ලේබලය යටතේ "කළු මාමා ,රමණි, රෝසමලේ," ගී තැටිය එළි දක්වන ලදී.   මෙම ගීතවල පද මාලාවන් තුළ ඇත්තේ  සරල මිහිරි බවක් මුත් ඒ සරල කමට යටින් මතුවෙන ගැඹුරු අදහස් නැතුවාද නොවේ. ගී රස මතු කරනු වස් "සීත උදේ පිපි මල්"  ගීතයට සිතාරය ද රමණි ගීතයට මෙලෝඩිකාව  යොදා ගෙන තිබුණි.  බටහිර සංගීත ශෛලිය සිංහල සංගීත නාද රටාව සමඟ සම්මිශ්‍රණය වී ඔහුටම අවේණික වූ ගිටාර් වාදනය මිශ්‍ර කරමින් මෙම ගීත සංගීත ක්ෂේත්‍රය තුළ මහත් පෙරළියක් ඇති කිරීමට සමත් විය. මන්ද එහි පද වැල්,තනු, Harmony ගායනාවලින් සම්මිශ්‍රණය වූ නවතාවයක රැදී තිබුණු බැවිනි.

මෙම ගීතයේ  පෙර වැයුම එහි අර්ථය වඩා ඉස්මතු කර ඇත. Three Sisters කණ්ඩායමේ  ඉන්ද්‍රානි පෙරේරා ගයන "සිහින් සිනිඳු" ගීතය ඔහුගේ අතින්  නිර්මාණය වූ  උසස් ගීතයකි. ඉන්ද්‍රානි පෙරේරා ගයන අම්මා ගීතයද ඔහු අතින් නිම වූ හැඟුම්බර තවත් ගීතයකි. අදහස වඩාත් මතුවෙන තනු නිර්මාණයේ අති දක්ෂයෙකු වූ ඔහු නිර්මාණය කළ සඳ තනි වෙලා, අවසර නැත මට, මෑණියනි, පුංචි පුතා මගේ, රහසේ හඬනා ඊට උදාහරණ  ලෙස දැක්විය හැකිය. 

 

80 යුගය වන විට මධරා නම් සංගීත කණ්ඩායම ආරම්භ කළ ඔහු පසුව ස්වාධින ගායකයෙකු, සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද තම ගමන ජයග්‍රහණය කරන ලදී. ඔහුගේ ගීත ශෛලියේ වෙනස හඳුනාගත් බොහෝ ගායක ගායිකාවන් ඔහුගෙන් ගීත නිර්මාණය කර ගැනීමට කැමැත්තක් දැක්වුහ. ඇන්ජලි ගුණතිලක, මිල්ටන් මල්ලවආරච්චි, එච්.ආර් ජෝති පාල, සනත් නන්දසිරි, මරියසෙල් ගුණතිලක, ශාමි ෆොන්සේකා, නිලන්ති කරුණානායක ඉන් කීපදෙනෙකි. සවනට ඇසෙන ගීත අතර ක්ලැරන්ස් විජේවර්ධනයන් නිර්මාණය කළ ගීතය කුමක්දැයි හඳුනාගැනීමට හැකිවන තරමට ගිටාර් වාදනයේ විවිධ Rhythm Styles භාවිතා කරමින්, Mute Guitar, Chicken picking වැනි ගිටාර් ශෛලීන් ගීතවල විශේෂත්වයක් ඉස්මතු කළ අතර Jive,Slow Rhythm  වැනි Drum Beats උපයෝගී කර ගනිමින් නව නිර්මාණයන් කළ මගේ වියෝවෙන් නිසංසලේ අපි  හමුවෙලා රහසේ හඬනා, ඈත රන් විමන් තුළින් ඉන් නිදසුන් කීපයකි.තවද  6x8 (කෙම්ටෝ)තාලයට තමා විසින්ම නිර්මාණය කරගත් Rhythm Style එකක් වාදනය කරන අතර එම ශෛලියට වාදනය කරන තවත් කෙනෙකු සොයා ගැනීමට නොහැකි තරම්ය. එය ඔහුගේ ගීතවල විශේෂත්වය මොනවාට විදහපායි.

 

 චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය කලාවට ඔහුගේ දායකත්වය ඉහළ ස්ථානයක පවතින්නේ අදටත් අපේක්ෂා, කොළඹ සන්නිය, සිහසුන, සිකුරුලියා, නිදිකුම්බා මල්, සුසීමා වැනි නිර්මාණවල ගීත අපට මතකයෙන් බැහැර කිරීම අපහසු බැවිනි. ඈත එපිට හිමකන්දෙන්, සඳ තනිවෙලා, සැණකෙළියේ, දෑස පියා ගත් කළ සහ W.D අමරදේවයන් ගයන "සසර ගෙවා දිවි ගමනේ" ගීතය විශේෂ තැනක් ගනී. ඒ ඒ ගායකයාගේ හෝ ගායිකාවගේ හඬට තම ශෛලිය මුසු කිරීමට ඔහු දක්ෂයෙකි. මිල්ටන් පෙරේරා ගයන "සිකුරුලියා" ගීතයත් මිල්ටන් මල්ලවආරච්චි ගයන අවසර නැත මට, සනත් මල්කාන්ති යුවළ ගයන සිත රැ වසන්තේ, සුජාතා අත්තනායක සහ H.R ජෝතිපාල ගයන  සොඳුරු ලොවට මල් වැහැලා, සමන් ද සිල්වා ගයන තණනිල්ලේ යන ගීත මේ බව මොනවට කියා පාවී.

 

මෙවැනි  ගීත,වෙළද දැන්වීම් සහ ඔහු ගායනා කළ 2000ටත් අධික ගී ප්‍රමාණයක් නිර්මාණය කරමින් ජන සම්මානයෙන් පිදුම් ලැබූ ක්ලැරන්ස් විජේවර්ධන නම් වූ මේ සම්භාවනීය ශිල්පියා 1996 දෙසැම්බර් 13 වන දින අප අතරින් සමු ගත්තද ඔහුගේ හඬ සහ නිර්මාණවල  සුවඳ  ගී ලොව තුළ සදා අමරණිය වන අතර ඔහු ගෙන ආ ගීත ශෛලිය දිනෙන් දින නැවුම් බවක් පෙන්විම ඔහු ගැන කතා කරන්නට ඇති එක හේතුවත් එයම වේ. එම ශෛලිය වෙනස් නොකොට ඉදිරියට ගෙනයෑම ඔහුට දක්වන උපහාරයක් වන අතර එය තරුණ පරපුර අතරට ගෙනයෑමට කටයුතු කර ශිලා විජේවර්ධන මැතිනිය හා දියණිය වන අමිලා විජේවර්ධනත් පවුලේ ඇටෝනි බලකරු සිරි හෙට්ටිආරච්චි මැතිතුමා වගකීමෙන් කටයුතු කරන අතර මෙම සත්‍ය තොරතුරු සපයා දීම ගැනද ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුය. 

ක්ලැරන්ස් විජේවර්ධන පවුලේ ඇටෝනි බලකරු හෙට්ටිආරච්චි මහතා  සමඟ කළ සාකච්ජාවක් ඇසුරිනි.

 

ඔහු ගැයූ බොහෝ ගීත අද නව පරපුර නැවත විවිධ ශෛලීන්ට ගායනා කළ නමුදු  මුල් ගීතය තුළ ඇති නිර්මාණශීලි බව නිසා එම ගීත කොතෙක් වෙනස් වුවද රස විදින්ට අපහසු නොවේ. ක්ලැරන්ස් විජේවර්ධනයන් පෙර දිනක සමරු පොතක ලියා තිබුණු සටහනකින් දැනට මෙය අවසන් කරමි.

 

 

 Music Is The Flower Of Feelings

 

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page