
භින්නෝන්මාදය (Schizophrenia)
භින්නෝන්මාදය යනු යමකුගේ සිතුවිලි, සංවේදන හා හැසිරීම් රටාවන්ගේ ප්‍රබල වෙනස්කම් ඇති කරන රෝගයකි.
එය මොළයේ ඇතිවන ව්‍යුහාත්මක වෙනස්කම් හා රසායනික ද්‍රව්‍යයන්ගේ අසමතුලිතතාවයක් නිසා හටගන්නක් වන අතර ඒ සඳහා නවීන ප්‍රතිකාර වෛද්‍ය විද්‍යාව සතුව ඇත. තවද සාම පුද්ගලයින් 1000කින් 5 දෙනෙකුට පමණ මෙම රෝගය වැළඳිය හැක. මෙය තරුණ වියේ (අවු.15-25) හට ගන්නා රෝගයක් වන අතර පිරිමින් හා කාන්තාවන් දෙපාර්ශවයටම සමානව වැළඳේ. භින්නෝන්මාදය ඇති වීමට හේතු-මෙම රෝගය ඇති වීමට විවිධ සාධක වල එකතුවක් බලපාන බව සොයා ගෙන ඇත. එම සාධක අතර ආවේනික ජාන සංයුතිය ප්‍රධාන තැනක් ගනී. එවන් ජාන සංයුතියක් සමඟ බිහිවන අයකුගේ මොළයට ගර්භනී කාලය තුළ හා උපතේදී සිදුවන යම් හානි හේතුවෙන්ද, ගංජා ආදී මත ද්‍රව්‍ය භාවිතය තුලින්ද මෙම රෝගය හටගන්නා බව සොයා ගෙන ඇත. එවැනි අවදානමක් ඇති පුද්ගලයිට මානසික පීඩාකාරී අවස්ථාවලදී (විභාග වලින් අසමත් වීම, පුද්ගල සම්බන්ධතා බිඳ වැටීම, ළඟම ඥාතියකුගේ අභාවය වැනි අවස්ථා) මෙම රෝගය ඉස්මතු වීමට ඉඩකඩ ඇත. එවන් කෙනෙකුගේ මොළයේ පවතින රසායනික ද්‍රව්‍යයන්ගේ අසමතුලිතතාවය නිසා මොළයේ රසායනික පණිවිඩ හුවමාරුවට බාධා ඇතිවීමෙන් පුද්ගලයාගේ සිතුවිලි, සංවේදන හා හැසිරීම් රටාවේ විවිධ වෙනස්කම් ඇතිවේ.
භින්නොන්මාදයේ ලක්‍ෂණ-
* හැසිරීම් රටාවේ හා හැඟීම් වල වෙනස්කම් ක්‍රම ක්‍රමයෙන් මෙන්ම සමහර විට එකවරමද මතු වීමටද ඉඩ ඇත.
* අසත්‍ය හා අභූත විශ්වාස මත තදින් බැඳීම හා ඒවා මත ක්‍රියා කිරීම, රෝගියාගේ සමාජ වටපිටාවට කිසිසේත් නොගැළපෙන සැක හා භිය සහිත මෙකී විශ්වාස (Delusions) තර්කානුකූලව නිවැරදි කළ නොහැක. (උදාහරණ ලෙස- විද්‍යුත් කිරණ, රේඩියෝ තරංග, පරිඝණක, දුරස්ථ පාලක මගින් තමාව පාලනය කිරීම, විවිධ බලවේග තමාව හෝ පවුලේ ය විනාශ කිරීමට තැත් කිරීම ආදිය.)
* පරිසරයේ උත්තේජකයන් නොමැතිව පංචේන්ද්‍රිය වලට සංවේදන දැනෙන්නට පටන් ගැනීම. මෙය භ්‍රාන්තිය (Hallucinations) ලෙස හඳුන්වයි. මෙවිට විවිධ අය තමා විවේචනය කරන අයුරු/බැන වදින අයුරු/මරණ තර්ජන එල්ල කරනඅයුරු ඇසෙන බව පවසයි.
* අසාමාන්‍ය සංවේදන හා විශ්වාස නිසා ඇතිවන භය හා සැක නිසා රෝගියා කලබලකාරී හා ප්‍රචණ්ඩකාරී වීමට ඉඩ ඇත.
* ඉගෙනීම රැකියාව හා ගෙදර දොර කටයුතු වල පිරිහීමක් දක්නට ලැබේ. සමහර විට නිවසේ පිළිවෙල හා තමාගේ පිරිසිදුකම පවා අඩුවේ.
* සමහරෙක් හුදකලා වීමක්, සමාජයෙන් ඈත් වීමක් හෝ උදාසීනව සිටින බවක් පෙන්නුම් කරයි.
***************************************************************************************************************************************
ඔබ හෝ ඔබ දන්නා කෙනෙකුට මෙම රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇතිනම් හැකි ඉක්මනින් විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමුවන්න.
***************************************************************************************************************************************
කළ යුත්තේ කුමක්ද?
* මෙම ලක්ෂණ සැලකිල්ලට ගෙන, හැකි ඉක්මනින් රෝගියා ළඟම ඇති රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය සායනයට යොමු කිරීම. වෛද්‍යවරයා රෝගියා පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර පටන් ගැනීමට හෝ රෝහලට ඇතුළු කිරීමට උපදෙස් දෙනු ලැබේ.
* වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ නිසි මාත්‍රාව දිනපතා පිළිවෙලට නොකඩවා ගැනීම.
* වෙනත් කායික අසනීප සඳහා ප්‍රතිකාර භාවිතා කලත් ඒවා සමඟ දිගටම මෙම ඖෂධ නිවැරදිව ගැනීම.
* ඖෂධ මගින් ඇතිවිය හැකි අතුරු ආබාධ වෛද්‍යවරයා සමඟ සාකච්චා කර ඒ සඳහා ප්‍රතිකාර හා උපදෙස් ලබා ගැනීම. * එදිනෙදා වැඩ කටයුතු වල හා රැකියාවේ හැකි පමණ යෙදීමට උත්සාහ කිරීම.
* භින්නෝන්මාදය රෝග ලක්ෂණ රෝගියාට ඉතා සත්‍ය විශ්වාස ලෙස දැනෙන නේසා එදිනෙදා ජීවිතයේ ගැටළු මතු වීමට ඉඩ ඇත. එවිට කාරුණිකව පහදා උදව් කිරීම.
***************************************************************************************************************************************
රෝගියාගේ ජීවිතය නිවැරදිව හසුරුවා ගැනීමට අන් අයගේ උදව් උපකාර ඉතා අවශ්‍ය වේ.
***************************************************************************************************************************************
සැලකිලිමත් විය යුතු කරුණු-
මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ඉක්මන් සුවයක් ලැබෙන අතර වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර නිසි පරිදි ගැනීමෙන් නැවත රෝග තත්වය මතුවීම හා රෝහල් ගත වීමට සිදුවන අවස්ථා අවම කර ගැනීමට හැකිවේ. එබැවින් දිගුකාලීනව ඇති වන ආබාධිත තත්වය මඟ හරවා ගත හැක. කිසිවිටක මෙම ප්‍රතිකාර වලට ඇබ්බැහි වීමක් සිදු නොවේ.
* භින්නෝන්මාදය රෝගියාගේ වරදකින් හට ගන්නා රෝගයක් නොවන බැවින් ඔහුව විවේචනය කිරීමෙන් හා කොන් කිරීමෙන් වළකින්න.
* රෝගියාගේ අසත්‍ය හා අභූත විශ්වාස රෝග ලක්ෂණ වන බැවින් ඔහු සමඟ වාද විවාද ඇති නොකරන්න.
* රෝගය සුව වීමෙන් පසුවත් රෝගියකු ලෙස දිගටම සැලකීමෙන් වළකින්න.
* ඔබගේ සිතැඟි පරිදි රෝගියාගේ හැසිරීම හා එදිනෙදා කටයුතු සීමා නොකරන්න.
* ප්‍රතිකාර ගැනීම පමා කිරීම හෝ අතරමඟ ප්‍රතිකාර නැවැත්වීම නොකරන්න. (එවිට රෝගය පාලනය කළ නොහැකි තත්වයට හෝ දිගුකාලීනව ආබාධිත තත්වයට පත්විය හැක.)
***************************************************************************************************************************************
ප්‍රතිකාර නිසි පරිදි ගැනීමෙන් භින්නෝන්මාදය පාලනය කරගෙන සාමාන්‍ය දිවියක් ගත කිරීමට ඉඩකඩ සැලසේ.
***************************************************************************************************************************************
සැකසුම:
ශ්‍රී ලංකා මනෝවෛද්‍ය සංගමය
"විජේරාම හවුස්"
නො.06, විජේරාම මාවත,
කොළඹ 07.
අනුග්‍රහය:
ලෝක සෞඛ්‍ය සංවිධානය,
ශ්‍රී ලංකා කාර්යාලය,
නො.226, බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.