
රෝහණ වීරසිංහ
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ තනු නිර්මාණයේ නොසිඳෙන උල්පතක් ලෙස හැඳින්විය හැකි ආචාර්ය රෝහණ විරසිංහයන් ගේ සම්පුර්ණ නම දික්මාදුගොඩගේ රෝහණ චිත්‍රකුමාර වීරසිංහ වුවද සංගීත ලොවේ ඔහු හඳුන්වනුයේ රෝහණ වීරසිංහ යනුවෙනි. මාතර ඇල්ගිරියේ හෙන්රි විරසිංහ සහ සේපාලින් වීරසිංහ දෙපලගේ ආදර පුත් වූ රෝහණ වීරසිංහ 1949 පෙබරවාරි 18 වන දින උපත ලබන්නේ නුවර එළියේය.
1954 නුවර එළිය ශුද්ධ වූ එඬේරාගේ කන්‍යාරාමයේ බාල අංශයේ අධ්‍යාපනය ආරම්භ කළ ඔහු පසුව රුවන් එළිය විදුහල,විද්‍යා චක්‍ර විදුහල, වැලිමඩ මධ්‍ය මහා විදුහල, පන්නිපිටිය ධර්මපාල විදුහල සහ නැවත නුවර එළියේ ගාමිණී විදුහල් මාතාවන් සෙවණේ අධ්‍යාපනය නිම කළ ද සංගීත අධ්‍යනය ඉන් නතර නොවිය. පාසැල් අවධියේ කේ.වී.එස් පෙරේරා සහ කිත්සිරි අලුත්ගේ යන සංගීත ගුරුවරුන් යටතේ සංගීතය හදාරා පසුව රාජ්‍ය සංගීත පීඨයෙන් ගායනය සහ වාදනය ප්‍රගුණ කරමින් ඉහළ විභාග සඳහා ඉන්දියාවේ ලක්නව් හි භාත් කාණ්ඩ සංගීත විදුහලෙන් ඉහළ තත් ස්පර්ශ කළ හෙතෙම සිතාර් වාදනයේ දක්ෂයෙකු විය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරළ ගී ගායකයෙකු ලෙසින්ද විශේෂ සංගීත වැඩසටහන් සදහා සිතාර් වාදනයෙන් සහය ලබාදෙන ලදී. ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත වෘන්දයේද වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගයෙත් නන්දා මාලනියගේ "ස්වර්ණ ආරාධනා" සංගීත නිපුණ සනත් නන්දසිරිගේ "ස්වරණ කුණ්ඩල" හි සිතාර් වාදකයා වූ හෙතෙම සංගීත ගුරුවරයෙකු ලෙස කොළඹ ද ඩි.එස්. සේනානායක විදුහලේ සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ තමා උගත් දැනුම බාල පරපුරට තිලිණ කරන ලද්දේ ගුරුවරයෙකුටත් වඩා සමීප වෙමිනි.


70 යුගයේ ඔහු ගුවන් විදුලියේ සරල ගී තනු නිර්මාණකරණයට පිවිසියේය. රෝහණ සිරිවර්ධන ගායනා කරන "ඔබේ අත ගෙන පෙර සැදෑවක" ගීතය ඔහු තනු නිර්මාණය කළ මුල් ගීතයයි. එම ගීතය ගුවන්විදුලි ගී අතර ඉතා ජනප්‍රිය ගීතයක් විය. නිරංජලා සරෝජනී, නිර්මලා රණතුංග මල්කාන්ති නන්දසිරි ඇතුළු ගුවන් විදුලි ගායක ගායිකාවන් රැසකට තනු නිර්මාණය කළ ඔහු 70 යුගයේම ඔහුගේ මුල් ගීතය එළි දැක්විය. "රන්තරු මිනිමුතු අභරණ ඇඳන්" ගීතය ඔහුගේ කුළුදුල් ගීතය වේ. 1973 ඔහු ගැයූ මුතු කුඩා ඉගිලෙන ගීතය රසිකයන්ට සමීප වූ ගීත අතරින් විශේෂ වූ ගීතයක් විය. 1977 නැටුම් ආචාරිණියක වූ බ්යට්‍රිස් ලීලා මෙනවිය සමඟ විවාහ වූ හෙතම කලිදු සහ චිරාත් පුතුන්ට දයාබර පියෙකු විය. 1979 සිං ලංකා ශබ්දාගාරයේ ශබ්ද පරිපාලක සහයක ලෙස ඔහු නව පියවරක් තබන්නේ සංගීත දැනුම සපිරුණු මනසක් සහ සවනක් මෙහෙයවමිනි. මෙම යුගයේදී ඔහු විසින් ටි.එම ජයරත්න සහ නීලා වික්‍රමසිංහට නිර්මාණය කළ "එක සිත දෙතැනක නතර වෙලා" "හිරුට හොරෙන්", " පුංචි සිතේ පුංචි සිනා" වැනි ගීත රසිකයන්ගේ සිත් සොරාගත්තේ හීයක වේගයෙනි.
ඒ රෝහණ වීරසිංහගේ තනු නිර්මාණයේ කුසුම විකසිත වූ අවදියයි. වාදනය, ගායනය මෙන්ම ඔහු තනු නිර්මාණයටද මුල් තැනක් දුන්නේය. බටහිර ගීත දමිළ ගීත හින්දි ගීත ඇතුළු විවිධ දේශයන්හි විවිධශෛලියේ ගීත රස විදිමින් එම ගීතවල රසය වටහාගත් අතර එම ගීත ස්වඅධ්‍යනය කළේය.ඔහු විසින් නිර්මාණය කරන ගී තනු තුළ ඇත්තේද හදවත් වැළද ගැනීමේ ප්‍රාණයයි. නන්දාමාලනි, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, දීපිකා ප්‍රියදර්ශනී, වික්ටර් රත්නායක ඇතුළු හරවත් පදමලාවන් සොයා ගී ගයන ගායක ගායිකාවෝ හරවත් නිර්මාණයක් එළි දැක්වීමට ඔහු සොයා ආවේ ඔහුගේ නිර්මාණ වල රසය හදුනාගත් බැවිනි. ඒ ඒ කටහඩේ ගායන පරාසය සහ ගායන හැඩතල හඳුනාගෙන තනු නිර්මාණය කිරීමට සහ ඒ ගීත සංගීත අධ්‍යක්ෂණය කරන විට යොදා ගන්න සංගීත භාණ්ඩ ඇතුළු අත්වැල් ගායනා සහ (harmony)සංගත ගායනා ගැන ඔහු තුළ ඇත්තේ සංගීත අධ්‍යාපනය අභිබවා ගිය සංගීතමය පරිණත බවකි. නන්දා මාලනිය ගයන "සුළං කපොල්ලේ" ගීතයෙන් මතු කරන භාව්‍යයමය බවත් නීලා වික්‍රමසිංහ සහ ටි.එම ජයරත්න ගයන "පොල් කිචි නයිදේ" ගීතයත් දීපිකා ප්‍රියදර්ශනී ගයන 'කවිය ඔබ,ප්‍රදීපා ධර්මදාස ගයන "නෙක උයන් "යන ගීත මේ බව මානව පිළිබිඹු කරයි. දේශීය ශෛලිය හා බටහිර ශෛලිය වෙන් වෙන්ව මිශ්‍ර වූ විවිධ තනු ඒ ඒ ගායකයාගේ කට හඬට මුසු කිරීමේ හැකියාව ඔහු ප්‍රගුණ කළ සංගීතමය ඥානයේ උත්තරීතර ප්‍රතිපලයකි.
තනිවෙන්නට මගේ ලොවේ (වික්ටර්) අහස සේ (නන්දාමාලනි) වියෝ වූ පසුවයි ( සුනිල් එදිරිසිංහ) ආරාධනා (අමරදේව) නෙක උයන් (ප්‍රදීපා) සුවඳ දැනී (රූකාන්ත ) යන ගීත මෙන්ම දයාන් විතාරණ, උරේෂා රවිහාරි, නිරෝෂා විරාජිනී, ඇතුළු මෙකි නොකී ගායක ගායිකාවන්ට සඳු -තරු ලෙස බබලන්ට එළිය දුන් දිනිදු ඔහු විය. එක් එක් සංගීත රටාවන්, සංගීත ශෛලීන්වල මෘදු තැන් ඔහු ගීත නිර්මාණයන්ට ස්පර්ශ කළේ නිවැරදි ස්වරයට නිවැරදි තත් හඬවමිනි. සුවඳ දැනී, රත්තරන් දුවේ, යන ගීත තුළින් ගලා ආ බටහිර ශෛලිය අප ගී ශෛලිය හා මුසු වුණේ එලෙසිනි. තම පුතුන් දෙදෙනා වන කලිඳු සහ චිරාත් සමඟ ඔහු ඉදිරිපත් කළ "පිය පුතු ගී මුතු" සංයුක්ත තැටිය ඔහුගේ අනන්‍යතාව විහිදුවන නිර්මාණ එකතුවක් වන අතර ඔහුගෙන් නිර්මාණය වූ ගීත 5000කට අධික ප්‍රමාණයක් ඇත. සංක්‍රාන්ති සමය, දුන්හිඳ අද්දර, තලමල පිපිලා, මාගාත ගජමන් නෝනා ඇතුළු ටෙලි නාට්‍ය 250 ට අධික ප්‍රමාණයක සංගීත අධ්‍යක්ෂක කළ රෝහණ වීරසිංහයන් 1972 දුන්හිඳ අද්දර සඳහා සිග්නිස් සම්මානයද
1994 සුමති සම්මානය - (සංක්‍රාන්ති සමය)
1998 සුමති සම්මානය- (වීලමබිත)
2002 සිග්නිස් සම්මානය-( ගජමන්නෝනා)
2008 රයිගම් සම්මානය - (රළ බිඳෙන තැන)
1990 රාසා සම්මානය -( තලමල පිපිලා )
1991 රාසා සම්මානය (හොඳම ගීතය )- සඳ පහනක් සේ
1997 රාසා සම්මානය (ජනප්‍රිය ගීතය )- රන්මලක් ලෙස
ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවකට සම්මාන හිමි කරගත් ඔහුගේ සංගීත නිර්මාණයෙන් ප්‍රබුද්ධ වූ චිත්‍රපටි අප මතකයෙන් බැහැර කළ නොහැකිය 1982 සිට 2014 දක්වා සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපටි 200කට අධිකය.



29-07-2014 දින රෝහණ වීරසිංහ ගී රේඩියෝව සමඟ කළ සාකච්ජාවක් ඇසුරිණි
1982-සරසවි සම්මානය-ආරාධනා චිත්‍රපටියටද
1982 සරසවි සම්මානය -ආදර හසුන
1991 සහරාවේ සිහිය චිත්‍රපටියට සරසවි ,ඕ.සි අයි සි, ස්වරණ සංඛ යන සම්මාන තුනම හිමිකර ගැනිම විශේෂ අවස්ථාවකි.
1994 ජනධිපති සම්මානය-සප්ත කන්‍යා
1994 සරසවි සම්මානය- මධාරා පරසතු
1998 සරසවි සම්මානය -සෙයිලම
1999 සරසවි සම්මානය-විසිදැල
2003 ජනාධිපති සම්මානය-මේ මගේ සඳයි
2007 ජනාධිපති සම්මානය අංජලිකා චිත්‍රපටයට ඇතුළු 2013 වන තෙක්ම ලැබූ සම්මාන තුලින් කියවුණේ ඔහුගේ සංගීතයේ පරිණත බවය. ශ්‍රී ලංකා අතිගරු ජනාධිපති උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන රෝහණ වීරසිංහයන්ට 2012 වසරේ ඔහුට ආචාර්ය පදවියක් පිරිනමන ලද්දේ අප සංගීත ක්ෂේත්‍රයට රෝහණ වීරසිංහයන්ගෙන් සිදු වූ නිම කළ නොහැකි නිර්මාණ ශීලි දායකත්වය වෙනුවෙනි.

