
නිශ්ශංක විමලසූරිය
සංගීතවේදී නිශ්ශංක විමලසූරිය උපත ලැබුවේ 1937 වසරේ සැප්තැම්බර් 23 වන දිනයේය. ඔහු නමින් බැද්දලියන දොන් නිශ්ශංක දයාසීල විමලසූරියවේ. සංගීත ශිල්පියෙකු මෙන්ම ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරුවෙකු වූ ඔහු සංගීත ලොවට පය එසවූයේ 1943 වසරේදීය. වයස අවුරුදු 06 සම්පුර්ණ වන විට ඔහු අපූරුවට වයලීනය වාදනය කළේය. ඔහු හැදුණු වැඩුණු නිවස තුළ සංගීතමය පරිසරයක් ගොඩ නැගී තිබුණි. ටෙනිසන් රොද්‍රිගෝ ගුරු පියාණන් යටතේ වයලීනය හැදෑරූ හෙතෙම වයස අවුරුදු නවයේදී ගුවන් විදුලි වැඩසටහනකට වයලීනය වාදනය කළේ තම ගුරුපියාණෝ ද සතුටු කරවමිනි.


වසර 1952 වන විට නිශ්සංක විමලසුරිය Spanish ගිටාරය, Blues Harp Harmonica, Mouth Organ, ඉලෙක්ට්‍රික් ඔර්ගනය යන වාද්‍ය භාණ්ඩ වාදනය ප්‍රගුණ කරමින් දස්කම් දැක්විය. රත්නපුර කිංස්ලි පෙරේරා සංගීත ශිල්පියා හවායින් ගිටාරය වාදනය කරනු දුටු ඔහු කිංස්ලි පෙරේරා මහතාගෙන් සහාය ලබාගෙන හවායින් ගිටාර් වාදනය ප්‍රගුණ කළේය. මොරටුව මහා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ පන්තියේ සිටින කාලයේ පටන් පාසලේ සංගීත කණ්ඩායම මෙහෙයවමින් එහි පියානෝ එකෝඩියනය වාදනය කළේය.
උසස් පෙළ හැදෑරීමට පානදුර ශ්‍රී සුමංගල විදුහලට ඇතුළත් වී එහි දී ද සංගීතයෙන් සේවය කළේය. පානදුර මෙතෝදිස්ත දෙව් මැඳුරේ ගී කණ්ඩායමට සහාය දීමක් වශයෙන් ඔර්ගනය වාදනය කරමින් ඔවුන්ට සහාය වූ අතර Los Flamingos, Amigos Romanticas ඇතුළු ගායක කණ්ඩායම් කිහිපයකම වාදනයෙන් දායක වූ නිශ්ශංක විමලසුරිය 1957 යුගයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම String Dance Band (ආලිංගන රැගුම් වෙනුවෙන් සංගීතය සපයන මෙම කණ්ඩායම්වල වාදනය වන ගීතයන් වෙනත් කණ්ඩායම් වල ගීත වලට වඩා වෙනස් මඟක් ගැනින.) සංගීත කණ්ඩායම "Wheels Combo" නමින් ආරම්භ කළේය. එවකට ශ්‍රී ලංකාව තුළ මෙවැනි සංගීත කණ්ඩායම් පිත්තල සංගීත භාණ්ඩ (Brass instruments) භාවිතා කළ අතර, ඔහු නව හඳුන්වාදීමක් කරමින් ඉලෙක්ට්‍රික් ගිටාරය, හවායින් ගිටාරය බේස් ගිටාරය සහ ඩ්‍රම්ස් උපයෝගී කර ගනිමින් කණ්ඩායම මෙහෙය විය.
1958 වසර වනවිට Wheels Combo නමින් ආරම්භ කළ මෙම කණ්ඩායමේ ඔහු සමඟ ඔසී පෙරේරා, එල්ස්වත් අල්විස්, තිලක් විජේදාස ගොඩ්ෆ්‍රී ද මැල් සහ වර්නන් පෙරේරා සාමාජිකත්වය හෙබවීය. වාද්‍ය භාණ්ඩ ගණනාවක් ප්‍රගුණ කළ ඔහු ශ්‍රී ලංකාවේ අඩු වාදකයින් සංඛ්‍යාවක් භාවිතා කරන හවායින් ගිටාර් ගණයට අයත් Dobro ගිටාරය වාදනයේ දක්ෂයෙකු විය.
1958 වසරේම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත අංශයට එකතු වුණු නිශ්ශංක විමලසූරිය සංගීතවේදියා ඔහු විසින්ම මෙහෙයවන ලද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බයිලා වැඩසටහනට එතෙක් භාවිතා කළ වාද්‍ය භාණ්ඩ වල වෙනසක් කරමින් සැක්සෆෝන් සහ ගිටාරය යොදා ගත්තේය. වසර දෙකක් පුරා සාර්ථකව සංගීතය අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු ගුවන් විදුලියේ කටයුතු කළේය.
1965 වසරේ ෆෙල්සි ද මෙල් සමඟ විවාහ වූ ඔහු නාලක, අරවින්ද, නිල්මිණි, හාෂිනි, නිලුකා, සහ ශාමිලා යන සංගීතයේ දස්කම් පිරුණු තම දූ දරුවන්ට දයාබර පියෙකි. 1975 වසරෙන් පසු කණ්ඩායම් සංගීතයෙන් ඉවත් වී ස්වාධින ශිල්පියෙකු ලෙස කටයුතු කළ ඔහු සංගීත පටිගත කිරීම් සංගීත අධ්‍යක්ෂණය සහ Orange Blossom Special යන Country and Western සංගීත කණ්ඩායමේ විශේෂ වැඩසටහන් සඳහා Padel Steel ගිටාරයෙන් දායකත්වය දෙන ලදී. වාද්‍ය භාණ්ඩ ගණනාවක වාදනයේ දක්ෂතාවය ඇති ඔහු සංගීතමය අත්දැකීම් වලින් පරිපූර්ණ ශිල්පියෙකි.






සංගීත අධ්‍යක්ෂණයට හා සංගීත නිර්මාණ කරණයට පිවිසි හෙතෙම 1960 යුගයේ නිර්මාණය වූ ගුවන් විදුලි ගීත බොහෝමයකට සංගීත නිර්මාණයෙන් දායක විය. කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි, අහසට පිඹිනා, රුවන් අඹර, කජු කෙල්ලෝ ඉන් සමහරකි. ඔහු අතින් නිර්මාණය වන ගීතවල සංගීතය මුසු වී ඇත්තේ බටහිර ගී ශෛලියටය. ඔහු විසින් තනු නිර්මාණය කළ පෝල් ප්‍රනාන්දු ගයන, සුපුන් සඳ පායලා නෑ, පාන් මාමා, වැනි ගීත ඊට නිදසුන්ය. ගුවන් විදුලියේ ප්‍රචාරය වූ සරල ගීත, ආදර ගීත, කිතුණු ගීත, කණ්ඩායම් ගීත ඇතුළු සැම ශෛලියකම ගීත සඳහා සංගීත අධ්‍යක්ෂණයට දස්කම් දක්වා ඇති ඔහු වෛද්‍ය කාර්මික ඉංජිනේරුවෙකි.

Dobro ගිටාරය