
“අද නම් බොස්ගේ මූඩ් අප්සෙට් වගේ”, “දැන් නම් හම්බවෙන්න එපා මචං” මේ අද කාලේ බොහෝ රැකියා ආයතනවල ඇතිවන සුලබ කතා බහක්. නමුත් රැකියාවක නියුතු වූවත් අපි තවත් අයෙක් වෙනුවෙන් දුකට, කරදරයට, අපහසුතාවට පත්විය යුතුද? මෙය රැකියා ආයතනවලට පමණක් නොවේ. පාසැල්, විශ්ව විද්‍යාල, නිවස ආදී තැන් ආශි‍්‍රතව ද සුලබව දැකිය හැකි තත්ත්වයකි. ඔවුන්ගේ හිස් තුළ පුරාවා ගත් පුහු ආටෝපය, තනිකම, ඊර්ෂ්‍යාව වැනි දුර්වල පෞරුෂ ලක්ෂණ නිසා ඔවුන් තුළ පවතින පීඩාව හේතුවෙන් අන් අයව ද පිඩාවට ලක් කළ හැකියි. මේ ඒ පිළිබඳව අප කළ විමසීමක්.
ඔබ සතුටින් නම් ඔබ අවට අයත් සතුටින්
සාමාන්‍යයෙන් සතුටින් සිටින පුද්ගලයන් අන් අයට ද සතුටින් සිටීමට ඉඩ තබයි. ඒ වගේම අනෙක් අතට දුකින් පිඩනයෙන් සිටින අය අනෙක් අය එසේ සිටිනවාට කැමති නොවේ. ඒ අය ඔවුන්ගේ සතුටට ද විවිධ ආකාරයේ බලපෑම් කරනු ලැබේ.
මෙය උදාහරණයක් ආශ්‍රයෙන් පැහැදිලි කරනවා නම් එක්තරා වෛද්‍යවරයෙක් හා සම්බන්ධ කථාවක් පිළිබඳ සඳහන් කළ හැකියි. ඔහු එම අදාළ අංශයේ වෛද්‍ය ප්‍රධානියා ලෙසින් කටයුතු කරන ලදී. සීයට සීයක්ම නීත්‍යානුකූල ලෙසින් කටයුතු කරන අයෙක්. අනෙක් අය පැමිණෙන වේලාව නැවත යන වේලාව පිළිබඳ නිතරම විමසා බලමින් ඉතා සුළු වේලාවක් හෝ ප්‍රමාද වූවොත් ඉතා තදින් තමා යටතේ සිටින අයට චෝදනා කරනු ලැබේ. ඔහු අන් අය සමඟ සතුටින් ගත කරනවාටවත් අකමැති අයෙකි. පසුව ඔහුගේ පසුබිම පිළිබඳ විමසා බලන විට දැනගන්නට ලැබුණේ කිසිම අයෙක් සමඟ සබඳතාවක් නොමැති ගෙදර අය සමඟ පවා ජිවත් වීමට නොහැකි දැඩි පීඩනයක් යටතේ ජිවත් වන අයෙක් බවයි.
මෙවැනි චරිත සමාජයේ ඕනෑ තරම් අපට මුණගැසේ. ඕනෑම වෘත්තියක, ඕනෑම සමාජ පද්ධතියක මෙවැනි තැනැත්තන් අපට දැක ගැනීමට ලැබේ.
වැඩිහිටියන් ගුරුවරුන් ද මේ මාතෘකාවේදී කතාබහට ලක්වේද?
වැඩිහිටියන්, ගුරුවරුන් පවා මේ යටතේදී කතාබහට ලක් කළ හැකියි. දරුවන් සුළු හෝ වරදක් කළත් ඔවුන් දැඩිලෙස පීඩනයට පත් කරමින් කටයුතු කරන මෙවැනි අය සමාජයේ ඕනෑ තරම් දැකගත හැකියි. දරුවන් යනු ස්වභාවයෙන්ම තරමක් කියන දේ නොඅසන අයයි. ඔවුන්ට යම් වරදක් තිබේ නම් ආදරයෙන් ඒ බව තේරුම් කරදිය යුතුයි. එසේ නොමැතිව ඔවුන්ව අපහාසයට පත් කර, බැන වැදීම මඟින් ඔවුන්ට හරි වැරදි තේරුම් කර නොදිය යුතුයි.
අපගේ ඇතැම් වැඩිහිටින් සිතන ආකාරයට දරුවන්ව හොඳින් හදා ගැනීමට එසේ කරනවා යැයි සිතුවත් අවසානායේදී අදාළ වැඩිහිටියා විසින් සිදු කරණු ලබන්නේ තමා තුළ තිබෙන තරහා, කේන්තිය පිට කිරීමයි. ඊට අමතරව ඇතැම් ආයතනවල පවා අලුත් සේවකයන්ට වැඩ විශාල වශයෙන් පවරණු ලැබේ.
ආයතනයේ ප්‍රධානියා නිසා සිත කරදරයෙන්ද?
විශේෂයෙන් ආයතනයේ ප්‍රධානියා තරමක් වයසින් වැඩි අයෙක් නම් ආයතනයේ සේවයට අලුතින් පැමිණි අයගෙන් හැකි තරම් වැඩ ගැනීමට උත්සාහ කළ හැකියි. තමාගේ තරුණ අවධිය ගතකර අවසන් නිසා “අපිත් ඔය දවස්වල ඕනෑතරම් වැඩ කළා”, “මහන්සි වුණා”, “අපේ කාලේ අපිට ඕවා හම්බවුණේ නෑ”, “අපි හොඳට කටු කාලා තමයි මෙතෙන්ට ආවේ” කියමින් තමා යටතේ සේවය කරන අය පීඩාවට ලක් කරයි. මෙම තත්ත්වය මනෝ විද්‍යාවේදී “පරපීඩන මානසිකත්වය” ලෙසින් හැඳින්වේ.
මෙම මානසිකත්වය ඉතා දුර්වල මානසිකත්වයක් බව විශේෂයෙන් පැවසිය යුතුයි. මෙවැනි තත්ත්ව විකෘති මානසික තත්ත්ව ලෙසින් හඳුන්වා දිය හැකියි.
දෙමාපියන්ගේ ආදරය නොමැති වීමත් එක් හේතුවක්
දෙමාපියන්ගේ ආදරයක් නොමැතිව හැදෙන දරුවන් කුඩා කලදී සැරවැරකම් මැද ඇති දැඩි වූවොත් ඔවුන් යම් දිනෙක වැඩිහිටියන් බවට පත් වූ විට සමාජයට ආදරයක් නොදැක්විය හැකියි. ඔවුන් කුඩා කලදී අසාධාරණකම් වලට මුහුණ පෑවා නම් වැඩිහිටියන් බවට පත් වූ කළ සමාජයට වෛර කරනු ලැබේ. මීට අමතරව ජානමය වශයෙන් ඇතිවන බලපෑම හා විිවිධ මානසික රෝග ද මේවාට බලපෑම් ඇති කරනු ලැබේ.
ඇතැම් අයගේ අවබෝධයේ දුර්වලකම නිසා ඔවුන් අන් අයව තලාපෙළා දුකට වේදනාවට පත් කිරීම මඟින් තමා ශක්තිමත් පුද්ගලයෙක් ලෙස අන් අය සිතනවා යැයි දුර්වල පෞරුෂයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරයි.
මොවුන්ට ප්‍රතිකාර කිරීම, ඉතාම අපහසු කටයුත්තක්. ඔවුන් තමාට යම් මානසික පසුබෑමක් වරදක් තිබෙන බව පවා පිළිගැනීමට සූදානමක් ඇත්තේ නැහැ. ඒ නිසා ප්‍රතිකාරවලට යොමු නොවේ. මානසික රෝගයක් මොවුන්ට තිබෙනවා නම් ඖෂධමය ප්‍රතිකාර ලබා දියහැකි අතර අදාළ පුද්ගලයාගේ එම හැසිරීම ඔහුගේ පුරුදු හැසිරීම් රටාව නම් එහිදී ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම ඉතාම අපහසු කටයුත්තක්.
යම් ලෙසකින් ඔවුන් තමා තුළ වරදක් ඇති බවට පිළිගන්නවා නම් ඔවුන්ට මනෝ චිකිත්සක ක්‍රමවලට යොමුවීම හරහා ඊට ප්‍රතිකාර ලබාගැනිමේ හැකියාවක් තිබේ. එසේ නොවුණහොත් එය සමස්ත සමාජයටම විශාල කරදරයක් බවට පත් විය හැකියි.
පීඩනයට ලක්වන තැනැත්තා ඊට මුහුණ දෙන්නේ කොහොමද?
මේ ආකාරයට පීඩනයට ලක්වෙන තැනැත්තාට කල්තබාම තමාව පීඩාවට ලක් කරන පුද්ගලයා පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ. තමා ඒ පිළිබඳව අවබෝධ කරගත් විට අදාළ පුද්ගලයාට ප්‍රතිකාර සඳහා යොමු කර වීමට උත්සාහ ගැනීම හෝ ඔහුගේ ස්වභාවය තේරුම් ගෙන කටයුතු කිරීමට උත්සාහ ගත යුතුයි.
නවක වදයත් මීට අදාළ මාතෘකාවක් ද?
විශ්ව විද්‍යාල, පාසැල්වල, ඇතැම් රැකියාවල අලුතින් පැමිණෙන අයට නවක වදයට ලක් කිරීම පසුගිය දිනවල අසන්නට ලැබුණා. එසේ පුද්ගලයන්ව පීඩනය කිරීමෙන් සතුටක් ලබන්නේ මනසින් ඉතාමත් දුර්වල පුද්ගලයන්ය. හොඳ වැදගත් පවුලක, හැඟීම් දැනීම්වලට සංවේදීව හැදුණු පුද්ගලයන් කිසිම දිනෙක අන් අයව පීඩනයට ලක් නොකරයි. මෙසේ නවක වදයට ලක් කිරීම නීතිවිරෝධි මෙන්ම සදාචාරායට ද පටහැනි වේ.
- නුවන්ති කුලරත්න
උපුටනය: ආරෝග්‍යා