top of page

පෙම් සබඳතා බිඳී ගියත් ඔබේ සිත නම් බිඳගන්න එපා...

කරුණාසේන ජයලත් ශූරීන් ලියූ ඉතා ජනපි‍්‍රය නවකතාවක් වූ “ගොළු හදවත” ඔබද කියවා තිබෙන්නට ඇතැයි සිතමි. එහි සුගත් දම්මි ආදර කතාවේ දම්මිගේ ආදරය අහිමි වූ තැන සුගත් මත්පැනට යොමු වී සිය ජීවිතය අවරට ගෙන ගිය සැටි දුක උපදවයි. “ගොළු හදවතේ” පමණක් නොව ශ්‍රී ලංකාවේ තවත් නවකතා ගණනාවකම මෙන්ම ටෙලිනාට්‍ය හා චිත්‍රපට ගණනාවකම සිත බැඳී අයගෙන් ලැබෙන පා පහර හමුවේ සිය ජිවිතය විනාශ කරගත් ආකාරය කියවා නරඹා අපට හුරු පුරුදුය.

 

ලෝක සාහිත්‍යයේ ද දුක්ඛාන්ත හිමිවන නැතිනම් “ට්‍රැජඩි” ලෙස හඳුන්වන කතාන්දර හා සාහිත්‍ය නිර්මාණ තුළ මෙවැනි අවස්ථා දැකිය හැකිය. පි‍්‍රයයන්ගෙන් වෙන්වීමේ දුක ගැන බෞද්ධ ධර්මය තුළ ද ඉතා පැහැදිලිව විස්තර කර ඇත.

 

ආදරයේ පරාජය හමුවේ සිත කැඩී හද බිඳී ගියද එය ජීවිතය නැති නාස්ති කර ගැනීමක් දක්වා විහිදී යාමට ඉඩ නොදිය යුතු බව මනෝවිද්‍යාඥයන්ගේ මතයයි.

 

සියලු අනාගත බලාපොරොත්තු රඳවමින් සිහින මැවූ ඔහු හෝ ඇය හෝ හේතුවක් ඇතිව හෝ නැතිව හෝ ඔබව වීසි කර දැමුවහොත් ඔබ වැටෙන්නේ කොතැනටද? වැටුණු වලෙන් නැඟිට පිය නඟන්නේ කොහාටද?

 

බිඳුණු ආදරය හමුවේ සිය දිවි නසා ගැනීමට හෝ මත්පැනට වහල් වීමට හෝ වෙනත් අනවශ්‍ය විපතකට භාජනය වීමට පළමු, පහත දැක්වෙන උත්සාහයන් ගත හැකිදැයි සිතා බලන්න.

 

දුක කණගාටුව මුදා හරින්න

 

ලැජ්ජාව මත හෝ වෙනත් හේතුවක් මත හෝ සිදුවූ සිද්ධිය හැමගෙන්ම වසන් කර සිත යට සඟවා ගෙන යාමට නොයන්න. සිතට ඇති වූ අසහනය දුක වටහා ගන්න. එය පොතක පතක හෝ දිනපොතක ලියා වේගය මුදා හරින්න.

 

පවුලේ ඥාතියෙකු, කිට්ටුවන්ත මිත්‍රයකු ඇත්නම් සිදුවූ සංසිද්ධිය පවසා සිත නිදහස් කරගන්න. නමුත් තමන් එසේ පවසන පුද්ගලයා සිද්ධිය වඩාත් අවුල් කරන ඔබව කේන්ති ගස්වන හෝ අය සමඟ එක්වී ඕපාදූප කියවන, හෝ පාච්චල් කරන ආකාරයේ කතා ගොතන පුද්ගලයකු නොවන බවට වගබලා ගන්න.

 

වරද පැටවීමට හෝ පවරා ගැනීමට හෝ නොයන්න

 

ප්‍රේම සබඳතාවය බිඳී ගිය විට වරද මගේය නැතිනම් ඇගේය එසේත් නැතිනම් වෙනත් අයෙකුගේය යනුවෙන් වැරදිකරුවකු දෙසට ඇඟිලි දික් කිරීමට නොයන්න. මෙවැනි සිද්ධි ඇතිවන්නේ තනි අයෙකුගේ වරදක් මත නොව දෙදෙනාගේම හා තවත් අයගේ පටලැවිලි නිසාය. එසේ නැතිනම් සුළු වරදක් නිවැරදි ගැනීමට තරම් උත්සාහයක් නොගත් නිසාය. නමුත් දැන් සිදුවූ දේ සිදුව හමාරය. ඒ ගැන තවත් සිතා මතා කළ කිරීමට ලක්ව සිටීම අනවශ්‍ය බව සිතන්න.

 

අඩුවෙන් මාතෘකා කරගන්න

 

ඔබ දෙපළ අතර පැවති සුසංගත බව දත් බොහෝ අය ඔබෙන් ඒ ගැන විමසීමට පුළුවන. ඇයි? මොකක්ද වුණේ? හේතුව කුමක්ද? ඊට පස්සේ හමුවුණේ නැත්ද? කතා කළේ නැද්ද? මේ ආදී ප්‍රශ්නවලට වැල්වටාරම් උත්තර නොදී කෙටියෙන් පිළිතුරක් දී ඉවත් වෙන්න.

 

මෙවැනි අවස්ථාවකදී සාමාන්‍යයෙන් සිදුවන්නේ තම නිර්දෝෂිභාවය ප්‍රකාශ කරමින් අනෙක් පාර්ශවයට මඩ ගැසීමය. නැතිනම් පිළිගන්නා සුලු ප්‍රකාශ කිරීමය. ඒ දෙකම සුදුසු නොවේ. අසා සිටින අය ඔබ ගැන වරදවා වටහා ගැනීමට, වරද ඔබ පිට පැවරීමට උත්සාහ ගනීවි. ඒ නිසා “අපි දෙන්නා අතර නොගැලපීමක් තිබුණා වගේ පෙණුනා. ඉතින් අපි ඈත් වුණා” වැනි පිළිතුක් දීම හැමවිටම ප්‍රමාණවත්ය.

 

පළිගැනීම සඳහා තවත් ඇසුරක් නොපතන්න

 

“එයාට මාව එපා වුණාට මට කැමති අය තවත් ඉන්නවා” යයි පෙන්වීමට එකවරම තවත් ආදර ඇසුරකට ඇතුළු නොවන්න. ඒ සඳහා කාලයට ඉඩ දෙන්න. ඔබට නොදැනීම ගැලපෙන, කැමති කෙනෙක් ඔබගේ ජිවිතයට ළං

 

දුක්වීමට කාලයක් දෙන්න

 

ඔබට දුකක් ශෝකයක් ඇති බවට සැකයක් නැත. එය පිටව යාමට ඉඩ දෙන්න. දවසක්, දෙකක් නිවාඩු ගෙන දුක පිටකරගන්න. අවශ්‍ය නම් හඬන්න. කොට්ටයක් වහලේ එල්ලා එයට තඩිබාන්න. දවස් දෙක තුනකින්, සතියකින් ඒ සියල්ල නිමාකර නව ජීවිතයට හුරුවන්න

 

කය වෙහෙසවන්න

 

සෙල්ලම් කරන්න. පිහිනන්න. වෙරළට යන්න. දුවන්න. ඔබ කැමති දෙයක් යෙදෙන්න. බයිසිකල් පදින්න. ගෙදර තරහින් පුපුර පුපුරා සිටිනවාට වඩා ඒ වැදගත්ය. ප්‍රයෝජනවත්ය.

 

සුබවාදීව හිතන්න

 

මෙම දුෂ්කර අවස්ථාවේදී හෝ සිදුවූ අලකලංචියෙන් ඈත්වීම නිසා ඇතිවූ ප්‍රයෝජන හා වාසි ගැන සිතන්න. ඔබේ ජීවිතයේ අනාගතයට තවත් කළ යුතු දෑ බොහෝ ඇති බව සිහිපත් කරන්න.

 

සංචාරයක නිරතවන්න

 

නව අත්දැකීම්, හිමිකර ගැනීම, නව දර්ශන දැකීම, අලුත් පුද්ගලයන් ඇසුරු කිරීම තුළින් ඔබේ ජීවිතයට නව ගැම්මක් හිමිකර ගත හැකි වේවි. හිටපු පේ‍්‍රමවන්තිය /පේ‍්‍රමවන්තයා පිළිබඳ මතකය අතු ගා දමන්න. තවමත් ඔබේ මුදල් පසුම්බිය තුළ ඇයගේ/ඔහුගේ පිංතූරයක් තිබෙනවා නේද?

 

පොත් රාක්කයේ තෑගි ලද පොතක්, ෆයිල් කවර තුළ ඔහු/ ඇය ලියූ ලිපියක්, රෙදි අල්මාරිය තුළ ලේන්සුවක් තිබෙනවා නේද? මේ ඕනෑම දෙයක් දකින විට ඔබගේ සිත නැවතත් අතීතයට ඇදී යාම වැළැක්විය නොහැක. ඒ නිසා ඈත් වූ අය පිළිබඳ සියලු මතක අමතක කිරීමට පෙර සඳහන් කළ සියල්ල පුළුස්සා දමන්න.

 

තුසිත මලලසේකර

පේ‍්‍රමයෙන් පරාජිතවූ ඔබටයි

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page