
මම, ඔබ, අපි කවුරුත් විවිධාකාර මත දරණ, විවිධාකාර ඇවතුම් පැවතුම් ඇති වෙනස් වූ පුද්ගලයන්ය. කිසිවිටෙක ඔබ මගේ අදහස් සමඟ සීයයට සියයක් එකඟ විය නොහැක. මේ හේතුව නිසාම ජීවිතයේදී විවිධාකාර ගැටුම්කාරී අවස්ථාවන්ට අපට මුහුණ දීමට සිදුවිය හැකියි. නමුත් අනෙකාගේ අදහස්වලට ගරු කිරීමට ඒවා අවබෝධ කර ගැනීමට උත්සාහ ගත හොත් ජීවිතය එතරම් ගැටලුකාරී නොවේවි.
ඔබත් අන් අයගේ අදහස් වලට ගරු කරන අයෙක්ද?
මානසික සෞඛ්‍ය හොඳින් පවත්වා ගන්නා අය සතුව විශේෂිත ලක්ෂණ රාශියක් දැකගත හැකි වේ. එම ලක්ෂණ අතර ප්‍රධාන තැනක් හිමි කරගන්නේ අන් අය පිළිබඳ ඒ තැනැත්තන්ට ඇති මනා අවබෝධය, අන් අයගේ සිතුවිලි අදහස් පිළිබඳ තේරුම් ගැනීම හා ඒ අදහස්වලට ගරු කිරීම ආදියයි.
නමුත් බොහෝදෙනෙක් ඉහත කරුණු තමාගේ ජීවිතවලට අදාළ කර නොගන්නා නිසා විවිධාකාර ශාරීරික මානසික රෝග තත්ත්ව පමණක් නොව සමාජීය වශයෙන් ද ගැටලුකාරී අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වේ.
අන් අය පිළිබඳ අවබෝධ කර ගැනීමට නොහැකි වීමෙන් පුද්ගලයෙකුට සමාජය තුළ, පවුල තුළ මෙන්ම විශේෂයෙන්ම රැකියා කරන ස්ථානවල පවා සතුටින් ජීවිතය ගත කිරීමට නොහැකි වේ. මෙම තත්ත්වය පවුල් අරගල පවුල් ප්‍රශ්නවලදී මූලික වේ. එහිදී ස්වාමි පුරුෂයා විසින් තම බිරිඳගේ සිතුම් පැතුම්, අදහස්, මතිමතාන්තර, කැමති අකමැති දේ පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතුයි.
භාර්යාවද තම ස්වාමියා පිළිබඳවද ඒ අන්දමින් ක්‍රියාකළ යුතුයි. මෙවැනි හැසිරීම් තුළින් පවුලක් තුළ ඉතාමත් වැදගත් හැඩගැස්වීම් එසේත් නැත්නම් අනුවර්තනයන් පවත්වා ගත යුතු වේ. මෙම අනුවර්තනයන් සිදුවිය යුතු ආකාර කිහිපයක් ඇත. මෙම අනුවර්තනයන් පවුලට හෝ පුද්ගලයෙකුට කිසිම ආකාරයක හානියක් නොවිය යුතුයි.
කෙසේ වෙතත් අවසානයේ මෙම අනුවර්තනයන් නිසා දෙදෙනාටම විශාල සතුටක් සැහැල්ලුවක් ලබා ගත හැකි වේ. ඒ වගේම මෙය දිගින් දිගටම පවත්වා ගෙන යාමට නම් කරුණු කිහිපයක්ම තම මානසික ක්‍රියාකාරීත්වය හා චර්යාව ආශි‍්‍රතව සිදුවිය යුතුයි. අනුවර්තනය වීම තමාගේ දුබලතාවක් යටවීමක් ලෙසින් නොසිතිය යුතුයි.
මේ නිසා තමන්ට දැනෙන මානසික සුවය, සතුට, සැහැල්ලුව පිළිබඳ නිතරම සිතන්න. ඒ වගේම මේ තුළින් ඔබට ලැබෙන පහසුකම් හා ලාභය පිළිබඳවත් ඔබගේ පවුලට ඇතිවිය හැකි යහපත් ප්‍රතිඵල පිළිබඳවත් මෙනෙහි කරන්න.
අන් අයටත් මෙම අනුවර්තනය වීම දැනීමට සලස්වන්න. ඒ තුළින් ඔබගේ චර්යාව වෙනස් කරගන්න. අවම වශයෙන් ඔබගේ කථාව, අදහස් හුවමාරුව පවා වෙනස් කරගන්න.
අනෙකුත් පවුල්වල (භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ) අනුවර්තනයන් දැන ගැනීමට හැකි වූවොත් ඒවා අගය කරන්න. සතුටින් හා ගෞරවයෙන් ඒ පිළිබඳ විශ්වාස කරන්න.
ඔබ සිදු කරන අනුවර්තනයන් ඉතා අවංකව සිදු කරන්න.
ඇතැම් අවස්ථාවන්වල මෙම අනුවර්තනයන්ගේ වෙනස්කම් හෝ ප්‍රතිඵල එකවරම දැකගත නොහැකි විය හැකියි. එවිට කලබල නොවී විශ්වාසය තහවුරු කරගෙන කටයුතු කරන්න. නමුත් ඒ වනවිටත් ඔබට මෙමඟින් සුළු හෝ ප්‍රතිඵලයක් තිබෙනවා නම් ඒ පිළිබඳ සතුටුවෙන්න. අනුවර්තනය අසාර්ථක වූ විටෙක ඊට හේතු වූ කරුණු අධ්‍යයනය කරමින් ඒ පිළිබඳව දිගින් දිගටම විශ්වාසයෙන් කටයුතු කරන්න.
අන් අයගේ අනුවර්තන පිළිගනිමින් ඔබද ඊට අනුකූලව අනුවර්තනය වීමට උත්සාහ ගන්න.
අනුවර්තනය වීමේ ප්‍රතිලාභ
මෙලෙස අනුවර්තනයන් නිසා පවුලක සමඟිය මෙන්ම අසහනය නැති වී ගොස් සාර්ථකත්වයක් උදා කරගත හැකියි. එපමණක් නොව අන්අයගේ අදහස්වලට ගරු කිරීමට පෙළඹේ. එකම කරුණක් පිළිබඳ විවිධ අය විවිධ අදහස් දැරිය හැකි අතර එම විවිධත්වය සඳහා වයස, ස්ත්‍රී, පුරුෂ බව, අධ්‍යාපන මට්ටම, අත්දැකීම්, අවබෝධය හා අධ්‍යාපන මට්ටම, සමාජ මට්ටම, පෞරුෂත්වය ආදිය හේතු වනු ඇත. ඒ නිසා සැමවිටම අපි යම් කරුණක් පිළිබඳව සිතන අයුරින් අන් අයද සිතනවා යැයි අපේක්ෂා නොකළ යුතුයි.
ඒ වගේම යම් කරුණක් පිළිබඳව යම් පුද්ගලයෙකු දරණ මතයට අප එකඟ නොවේ නම් ඊට හේතුව කුමක්ද යන්න පිළිබඳව ඉතාම පැහැදිලිව නිදහස්ව ප්‍රකාශ කිරීමට පුරුදු විය යුතුයි.
විශේෂයෙන් විවාහ දිවියක මෙය අනිවාර්යයෙන්ම පැවතිය යුතු ගුණාංගයකි. මෙය පවුලක මානසික සෞඛ්‍ය රැක ගැනීමට මනා උපකාරයක් වනු ඇත. මෙහිදී එක් අයෙකු පවසන දේට අනෙකා හොඳින් සවන්දිය යුතුයි. හැසිරීම මෙන්ම භාවිතා කරන වචන, කථා කරන ශබ්දය, වචන උච්ඡාරණය ඉතාම ක්‍රමවත්ව හා සංසුන්ව කළ යුතු වේ. මෙය පවුලක් තුළ පැවතිය යුතු ප්‍රධානතම ලක්ෂණයකි.
යහපත් වාතාවරණයක් ඇති පවුලක් සමාජයේ අන් අයට ආදර්ශයක්. විශේෂයෙන් දරුවන්ට එය දැඩි ආදර්ශයක්. එය දරුවන් යහපත් ලෙස හැඩගස්වා ගැනීමට උපකාරයක්. මේ හේතුව නිසාම මානසික ආතතිය අඩුකර ගත හැකි වේ.
මේවා මඟින් විවිධ කායික රෝගවලට මුල් විය හැකි බාධක ජය ගැනීමට උපකාරී විය හැකියි. උදාහරණ ලෙස හෘද රෝග, පිළිකා, දියවැඩියාව ආදිය කායික සෞඛ්‍යයට මෙන්ම මනෝ කායික රෝග ද මෙමඟින් නැතිකර ගත හැකියි. ඒ වගේම නිවස ආශි‍්‍රත පරිසර නැවුම් එකක් බවට පත් කරගත හැකි වේ.
රැකියාව සම්බන්ධයෙන් ද අනුවර්තනය වීම අත්‍යවශ්‍යද?
සිතුවිලි හඳුනා ගැනීම හා අදහස්වලට ගරු කිරීම රැකියාවක් සම්බන්ධව ද එක සේ අදාළ වේ. බොහෝ රැකියා ආයතනවල මේවා නොමැතිකමින් බොහෝදෙනෙකු මානසික විශාදමය තත්ත්වයට පත්ව ඇත. ඵලදායිතාවය අඩු වීමට එය ප්‍රබල හේතුවක් බවට පත්ව ඇත.
මේ වනවිට සමාජය තුළ පවත්නා සමාජීය අධ්‍යාපනික දියුණුව වැනි වෙනස්කම් නිසා පුද්ගලයාගේ පෞරුෂත්වය අදහස් උදහස්, මති මතාන්තර දශක කිහිපයකට පෙර තිබූ තත්ත්වයට වඩා බෙහෙවින් වෙනස්ව ඇත. ඒ නිසා පුද්ගලයන් කළමනාකරණයේදී යල් පැන ගිය ක්‍රමවලින් තොරව කටයුතු කළ යුතු වේ.
“අනුවර්තනය” මෙම වෙනස්කම් ඇති කිරීමේදි වැදගත් වනු ඇත. ඒ අනුව පුද්ගලයන්ගේ අදහස්වලට ගරු කිරිම, විවේචනය නොකිරීම, ප්‍රසිද්ධියේ නින්දා නොකිරීම, ප්‍රසිද්ධියේ වැරදි අඩු පාඩු විවේචනය නොකිරීම හා පුද්ගලයන්ට ගරු කිරීම ආදිය මෙහිදී කළ යුතු වේ.
ඒ වගේම වැරදි පෙන්වා දීමේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි නොවන අයුරින් ඒ දේ කළ යුතු වේ. ඒ වගේම මෙම අනුවර්තන අතර ඉතාම වැදගත් වන්නේ හොඳින් සවන් දීමයි. එසේ සවන් දී අවබෝධයක් ලබාගෙන ඉතාමත් ක්‍රමවත් අන්දමින් පුද්ගලයන් කළමනාකරණය කළ යුතුයි.
මෙමඟින් මානසික ආතතිය දුරු කර ගත හැකි වනවා පමණක් නොව ඵලදායිතාවය ද වැඩිකර ගත හැකි වේ. එපමණක් නොව එමඟින් හෘද රෝග, දියවැඩියාව හා විවිධ ශාරීරික වේදනා වැනි කායික සෞඛ්‍යමය ගැටලු ද නැතිකර ගැනීමේ හැකියාවක් ලැබේ.
කෙසේ වෙතත් මෙම අනුවර්තන සිදුවීම තුළින් පුද්ගලයෙකුට තම සමාජ ජිවිතය ඉතා හොඳින් ගත කිරීමට හැකියාව ලැබේ.
- නුවන්ති කුලරත්න
උපුටා ගැනීම: දිනමිණ