top of page

“නිමාලි කුඩා කාලේ ඉඳලම ඉගෙන ගන්න දක්ෂ ළමයා. කොයි වෙලාවේ බැලුවත් පොතක් අතේමයි. කුඩා කාලෙදී එයාව දකින සමහර අය එයා ගැන මෙහෙම කියනවා. “කව්ද දන්නේ දැං ඔය පොත අතේ තියං හිටියට ඉස්සරහ තියෙන විභාග පාස් කර ගන්න පුළුවන් වෙයිද කියලා”

ටික කාලයක් යනකොට ශිෂ්‍යත්වයෙන් පාස් වුණු නිමාලිට රජයේ හොඳ උසස් පාසැලකට යන්න පුළුවන් වුණා. ඒ වෙලාවේ තවත් සමහරු මෙහෙම කිව්වා.

“ශිෂ්‍යත්වෙ නම් ඕන කෙනෙකුට පාස් වෙන්න බැරියෑ. ඔය කිව්වට මම නම් හිතන්නේ නෑ O/L පාස් කර ගනියි කියලා”

 

පාසැලේ විෂය බාහිර වැඩ කටයුතුවලටත් ඉගෙනීමට දක්ෂ නිමාලිට ගායනා නර්තන තරඟවලින් සමස්ත ලංකා මට්ටමේ දිනුම් ලබා ගන්නත් පුළුවන් වුණා. ඒ ජයග්‍රහණ දැකපු තවත් කට්ටියක් මෙහෙමත් කිව්වා.

 

"අනේ මන්දන්නේ නැහැ. ඔහොම නැටුම් නට නට ඉන්න ගියොත් විභාගෙත් ඇන ගන්නවා හැබැයි".

 

O/L විභාගය දිවයිනේ සැලකිය යුතු තැනකට ආව නිමාලි උසස් පෙළට ජීව විද්‍යාවෙන් විෂයන් තෝරා ගත්තා. විභාග, ප්‍රතිඵල දැනගත් ඇතැම් අය බොහෝ සතුටු වුණත් තවත් පිරිසක් මෙහෙම කිව්වා.

 

"නැතුවයෑ. ඔය ළමයා ගිය පන්ති කන්දරාවේ හැටියට ඔය මට්ටමින් විභාගේ පාස්... නොවුණා නම් තමයි පුදුම. අනික ඔය... බයෝ නොකර පුළුවං වෙනත් විෂයක් කළා නම් එකපාර ගොඩ යන්න තිබුණා."

 

උසස් පෙළත් ඉහළින් සමත් වුණු නිමාලි වෛද්‍ය විද්‍යාලයට තේරුණා. එයා කැම්පස් යන්නේ කෝච්චියෙන්. ඒ වගේම එයා පොඩිකාලේ ඉඳලම එතරම් සද්ද බද්ධ නැතුව ඉන්න කෙනෙක්. අඳුනන අය හැරුණු විට අන් අය ගැන එතරම් සැලකිල්ලක් නැති නිමාලි ගැන සමහරු මෙහෙම කිව්වා.

"ෂූහ්... බලන්න එපැයෑ.... දොස්තර මෝනාගේ ගණකම කැම්පස් යන්න අරන් තව මාසයක් වුණේ නැහැ. තියෙන ආඩම්බරකම.... දොස්තර වුණාම අඩි කීයක් උඩින් යයිද මන්ද? අන් අයගේ සතුට ඉවසන්න බැරද?"

 

පුද්ගලයෙකුගේ මනසේ නිරෝගී භාවයට තමන්ගේ ආකල්ප, පෞරුෂත්වය, චරිත ලක්ෂණ දැඩි ලෙසට බලපෑමක් ඇති කරනු ලැබේ. තමන් නොලද යම්දෙයක් අන් අයට ලැබෙන අවස්ථාවලදි පුද්ගලයන් විවිධාකාර වූ මානසික ක්‍රියාකාරීත්ව තුළ හැසිරේ. ඇතැම්දෙනා යමෙකුගේ සතුට හමුවේ සිතට අවංකව සතුටු වී ඔවුන්ට ආශිර්වාද කළ ද තවත් සමහර අය එවැනි විටෙක සිතට දැඩි කෝපයක් ඇති කර ගනියි.

 

“මට ලැබුණේ නැහැ. එයාට විතරක් ලැබුණා" වැනි දේ කියමින්, සිතමින් සිත රිදවා ගනු ලැබේ. ඔවුන්ගේ මනස තුළ ඇතිවන මෙම දැඩි පීඩනය මානසික සන්සුන් නැතිකර මානසික සෞඛ්‍ය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරනු ලැබේ. යම් අයෙකුට යහපත් දෙක් සිදු වේ. නම් ඒවාට කෝපගෙන මානසිකත්වය පහත දමා ගනු ලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස චර්යාමය වෙනස්කම් ද ඇතිවිය හැකි වේ. ඒ නිසා ඔවුන්ට පමණක් නොව ඔවුන්ගේ ද්වේශයට හේතුවන ජයග්‍රහණ ලබන පුද්ගලයාගේ මානසික යහපැවැත්මට ද හානිදායක වේ. මේ තත්ත්වය බහුල වශයෙන් ගැටලු ඇති කරන්නේ කණ්ඩායම් වශයෙන් ක්‍රියාකරන අවස්ථාවලදීය.

 

ඒ වගේම කණ්ඩායමක් ලෙස ක්‍රියාකිරීමෙන් ලබන අවසන් ප්‍රතිඵලයට මෙන්ම කණ්ඩායම් අතර සමඟියට ද හේතු වේ.මෙය තවදුරටත් පැහැදිලි කරනවා නම් කණ්ඩායම තුළ යම් අයෙක් ලබන ප්‍රතිලාභ අනවශ්‍ය ලෙස විවේචනය කිරීම, අපහාස කිරීම, අකුල් හෙලීම වැනි අවස්ථා ද්වේශ සහගත අය විසින් සිදු කරනු ලැබේ. මෙසේ හැසිරෙන්නේ ඇයි? මෙය පුද්ගලයාගේ පෞරුෂත්වය හා බැඳුණු ගැටලුවකි. එමෙන්ම මෙය පෞරුෂත්වය සම්බන්ධ රෝග තත්ත්වයක් ලෙසින් ද හැඳින්විය හැකිය. අන් අයගේ සතුට ඉවසීමට නොහැකි වීමට හේතුව ඔවුන් නිරන්තරයෙන් දැඩි මානසික ආතතියකින් සිටීමයි. මෙය ඔවුන්ගේ සෑම කටයුත්තකටම දැඩි බලපෑම් ඇති කරනු ලැබේ.

 

අන් අය පදනමක් නොමැතිවත් පීඩාවට ලක් කරනවාද? පදනමක් නොමැතිවත් ඇතැම් අය අන් අයව විවේචනය, රිදවීම්, අපහාස කිරීම ආදිය සිදු කරයි. ඒ නිසා අපහාස විඳින තැනැත්තා පීඩනයට ලක්වන විට ඉන් සතුටු වීම ඔවුන් විසින් සිදු කරනු ලැබේ. මෙය දැඩි පෞරුෂ දුර්වලතාවකි. අනුන්ගේ දුක සතුටක් කර ගැනීම ඔවුන්ගේ චර්යාවකි. මෙවැනි අය බොහෝ සමාජ විරෝධී ක්‍රියාවලට පෙළඹෙන අතර ඔවුන් ඇසුරු කිරීමේදී ද වඩාත් කල්පනාකාරී විය යුතු වේ.

 

අන් අයගේ ජයග්‍රහණ නොසලකා හැරීම මානසික දුර්වලතාවක්ද?ඇතැම් අය අන් අයගේ සතුට, ජයග්‍රහණ එතරම් තැකීමක් නොකර, නොසලකා හැර සිටීම මඟින් ඔවුන්ගේ දුර්වල වූ පෞරුෂය මැනවින් විදහා පෙන්වයි. යහපත් මානසික සෞඛ්‍යක් ඇති අයෙකු අන් අයගේ ජයග්‍රහණ අගය කරනු ලැබේ. එමඟින් ජයග්‍රහණය ලද තැනැත්තාගේ මානසිකත්වය ශක්තිමත් වේ. තමාට ජීවිතයේ විවිධ කාලවලදී ලබන ජයග්‍රහණ පුද්ගලයාගේ වෙස් පෙරළනවාද? තවත් සමහර පිරිසක් තමා ලබන ඉහළ තනතුරු අධ්‍යාපනය, උසස් සමාජ තත්ත්ව, ඉහළ පහසුකම් ලද අවස්ථාවලදී හැසිරෙන ආකාරය ඔවුන්ගේ දරා ගැනීමේ ශක්තිය හා පෞරුෂත්වය මනාව පහදා දෙයි. සමාජයේ බොහෝ දෙනෙක් තම අතීතය අමතක කර විවිධාකාර වූ ආරූඩ කරගත් තත්ත්වයකින් හැසිරේ.

 

ඔවුන් තමා පිළිබඳ අනවශ්‍ය ආඩම්බරයක් ඇතිකර ගෙන තම ගුරුවරු, දෙමාපියන්, නෑදෑයන්, උපකාර කළ අය, මිත්‍රයන් අමතක කර විශේෂිත හැසිරීමක් ප්‍රදර්ශනය කරයි. මෙය ආරූඪ කරගත් පෞරුෂයකි. මෙවැනි අය තමාගේ ආරූඪ කරගත් පෞරුෂය දිගින් දිගටම පවත්වා ගෙන යාමට දැඩි මහන්සියක් ගන්නා නමුත් එමඟින් දැඩි මානසික ආතතියක් ඇති වේ.

 

ඇතැම් අය පොදු ප්‍රවාහන සේවාවන් තුළදී තමාගේ උඩඟුකම, දුර්වල වූ පෞරුෂය මූලික කරගත් ආටෝපය පෙන්වීමට සිතා නොහොඹිනා අන්දමින් හැසිරේ. නමුත් එය එතරම් නුවණැති අදහසක් නම් නොවේ. එය පෞරුෂත්වය හා බැඳුණු දුර්වලකමකි. ඒ නිසා ඔබගේ හැසිරීම ඔබට පමණක් නොව අන් අයගේ මානසිකත්වයට ගැටලුවක් නොවන අන්දමින් පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කළ හැක්කේ ඔබටම පමණි.

 

- නුවන්ති කුලරත්න

උපුටනය: ආරෝග්‍යා

ඔබ  අන් අයගේ ජයග්‍රහණයට ඊර්ෂ්‍යා කරන කෙනෙක් ද?

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page