top of page

කොතරම් ධනය, බලය, කිර්තිය, තනතුර තිබුණ ද සිතේ සතුටක් නැත්නම් ඇති පලය කුමක්ද?

 

ඉලක්කය හඹා යාම උචිතද?

ඉලක්ක හඹායන පුද්ගලයන්ට ඒවා සපිරුණු පසු කෙමෙන් කෙමෙන් ලැබුණු සතුට තෘප්තිය ගලා යයි. එහි ප්‍රතිපලය තවත් ඉලක්ක පසු පස හඹායාමයි. අන්අය සමඟ ඇති කරගන්නා තරඟකාරීත්වය වගේම තමන් තමන් කෙරෙහි ඇති කර ගන්නා තරඟකාරීත්වය හේතුවන්නේ නොසතුටයි. තරඟකාරී මානසිකත්වය අසහනයට මඟපාදන බව මනෝ විද්‍යාඥයෝ පවසති. තමන්ට වාහනයක් නැති විට අසල්වැසියාට වාහනයක් ඇති නිසා වාහනයක් ගැනීම ඉලක්ක කර ගෙන කටයුතු කිරීම මීට හොඳ උදාහරණයකි. ඉලක්ක ළඟා කිරීමෙන් පමණක් සතුට ළඟා කර ගැනීමට පුරුදු වීම සුදුසු නැත. එය නැති ආතතියක්, අසහනයක් සිතට ලඟාකර ගැනීමකි. ඉලක්ක ළඟා කරගන්නා තුරු සිතට සුවයක්ද නැත. අතීතය ගැන පසුතැවිලි වීමත් අනාගතය ගැන කරදරවිමත් නුසුදුසුය. වර්තමානයේ ජීවත්වීමෙන් කෙනෙකුට සතුටේ උරුමක්කාරයෙකු විය හැකිය. නව ක්‍රියකාරකම්, අභියෝගාත්මක නිර්මාණාත්මක ක්‍රියාකාරකමක යෙදීම සතුට ගෙනෙන අපූරු උපක්‍රමයකි. අලුත් දෙයක් ඉගෙනීම කෙතරම් සතුටක් සිතට ළං කරනවාද? සම්පුර්ණ අවධානය යොමු කර නිර්මාණාත්මක යමක් කිරීමෙන් අතීතය හෝ අනාගතය සිහියට නැගෙන්නේ නැත. සමාජ සේවයට කාලය යෙදවීම කෙනෙකුට සතුට ගෙනෙන ක්‍රමයකි. මැදුම් පිළිවෙත ජීවිතයට සතුට රැගෙන එයි. විනෝදය ගෙනෙන ක්‍රියාවක යෙදීම සතුට ගෙනෙන ක්‍රියාවක් කියා සිතුව ද පමණට වඩා විනෝද වීම ඒ සතුට අහිමිකරන සාධකයකි.

උදා: විනෝද ගමනක් යාමෙන් සතුටු වෙනවා නම් නිතරම විනෝද ගමන් යාමෙන් ඒ සතුට ළඟා නොවයි. එය සාමාන්‍ය අත්දැකීමක් බවට පත්වෙයි. සතුට සොයා යාමට වඩා වැදගත් වන්නේ සෑහීමකට පත්වීමයි.

 

ධනය, සතුට ගෙනෙන්නේ නැහැ -

පසුගිය පනස් වසරේදී බටහිර ලෝකය ආර්ථික වශයෙන් තෙගුණයකින් දියුණු වුවත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සතුටින් ජීවත්වෙන අය නොවෙයි. ඒ වගේම ඔවුන් අනෙකුත් රටවල් සමඟ සහයෝගීතාවෙන් කටයුතු නොකිරීම ද ඔවුන්ගේ සතුට අහිමි වීමට වගේම නිරෝගීභාවය අහිමි වීමටත් හේතු වී තිබේ.

 

පරපුරේ උරුමය වෙනස් කරන්න -

පරිනාමීය සාධක වලින් අනාවරණය වී ඇති ආකාරයට මිනිසා උපතින්ම හැඩ ගැසී තිබෙන්නේ අසුබවාදී දේ ග්‍රහණයකර ගැනීමටයි. පරිසරයේ ඇතිවන අනතුරුදායක අවස්ථාවන්ට වැඩිපුර මුහුණ දීමට සිදුවීම නිසා මෙවැනි තත්වයක් ඇති වී තිබේ. පරිසරයේ පීඩාකාරී තත්ත්වයන්ට වර්තමානයේදී ද මිනිසාට මුහුණ පෑමට සිදුවී ඇත.

 

ගැඹුරු සබඳතා නොපැවැත්වීම -

අද පුද්ගල සබඳතාවලට වඩා වැඩි තාක්ෂණ සබඳතාවයන්ය. මෙයත් සතුට අහිමි කරන සාධකයකි. විවාහය, මිතුරන් ඇසුර, දරු පවුල හදපත්ලෙන් ගැඹුරු, අර්ථාන්විත සබඳතාවක් ගොඩනංවන ජීවිතය තරමටම වැදගත් සාධකයකි. එහෙත් දුරකථනයෙන්, එස්.එම්.එස් මඟින් ස්කයිප් හරහා ආදරයේ, ලෙන්ගතුබවේ උණුසුම එකිනෙකා වෙත ළං වෙනවාද? හැඟීම් එවැනි තාක්ෂණික මෙවලමක් හරහා හුවමාරු කරගත හැකිද? මිනිසුන් වන අප මිනිසුන් සමඟ සම්බන්ධ වීම අත්‍යවශ්‍යය. අපේ ජීවිතවලට සතුටක් පමණක් නොව වටිනාකමක් ද ලැබෙන්නේ එවිටයි. ගැඹුරින් සමාජ සබඳතා ඇති අය රෝගී වීමට ඇති ඉඩ අඩුය. ඒ වගේම අකාලයේ මරුමුවට පත්වන්නේද නැත. පිළිකාවක් මර්දනය වීමට පවා ඖෂධවලටත් වඩා මිනිස් බැඳීම් උපකාරවන බව සොයාගෙන තිබේ. විවාහය වැනි ගැඹුරු සබඳතාවක් හොඳින් පවත්වාගෙන යනවා නම් විශාදයට ගොදුරු වීමට, සියදිවි නසා ගැනීම, නරක ජීවන රටාවකට යොමු වීමට ඇති ඉඩකඩ අඩුවෙයි. විවාහ නොවූ අය අකාලයේ මරුමුවට පත්වීමේ අවදානම වැඩිය.

 

අතෘප්තිමත් බව -

උපතින්ම ලබා ඇති අතෘප්තිමත්භාවය ද තවත් හේතුවකි. මොනතරම් දේ ලැබුනත් ඉන් සතුටු නොවී අලුත් ඉලක්ක, අරමුණු කරා යමින් ඒවා ඉටුකර ගැනීමට උත්සාහ කිරීම දුකට හේතුවේ.

 

පුද්ගල ස්වභාවය -

පුද්ගලයාගෙන් පුද්ගලයාට සතුට ලැබෙන ආකාරය වෙනස්ය. සමහරු සුළු දෙයකින් සතුටු වෙති. තවත් අයට කොපමණ ලැබුන ද, සතුට ළඟා නොවන සිහිනයකි. පෞරුෂත්වය හා සතුට අතර ඇත්තේ දැඩි බැඳීමකි. ප්‍රීතිමත් පෞරුෂත්වයකින් යුතු අය නිසර්ගයෙන්ම සමාජශීලිය. හදවතට එකඟව වැඩ කරති. අවංකය, සුහදශිලිය, තමන්ගේ ජීවිතය තමන්ට ඕනෑ අයුරින් පාලනය කළ හැකි බවට ඔවුන් විශ්වාස කරනු ලැබේ. අන් අය මත යැපෙන්නේ නැති තනිව තීරණ ගන්නා මොවුන්ගේ මානසිකත්වයේ නිරතුරු වෙනස්වන ස්වභාවයක් නැත. කාංසාව වැනි තත්වයන්ට මොවුන් මුහුණ දෙන්නේ නැති තරම්ය.

 

පමණට වඩා වැඩ නොකරන්න -

පමණට වඩා වැඩ කිරීම සිතේ සතුට අහිමිකර ගන්නා ප්‍රධාන කාරණයකි. ජපානය වැනි රටවල පමණට වඩා වැඩ කිරීමෙන් සිදුවන මරණ හදුන්වන්නට නමක් ද (කරෝෂි) තිබේ. ආතතිය පමණක් නොව හෘද රෝග ද මේ අය අතර සුලබය.

 

තනිවම අහාර නොගන්න -

වෙරළු ගෙඩිය වුවත් බෙදාගෙන කෑම මොනතරම් සතුටක් ගෙන එනවාද? ආහාරවේල තනිවම නොගෙන සාමුහිකව ගැනීම සතුටට වගේම නිරෝගිකමට ද මඟපාදයි. මෙවිට පමණට වඩා ආහාර ගැනෙන්නේද නැත. සතුට ජීවිතයට කොතරම් අවශ්‍ය ද කිවහොත් ශරීර ස්කන්ධ ධාරිතාව මෙන්ම සතුටම නිසා ධාරිතාවක් ද ඇත. බලවත් වුවත්, ධනවත් වුවත්, උගත් වුවත් ළඟා කරගත නොහැකි සතුට කොතරම් පහසුවෙන් ජීවිතයේ ප්‍රධාන කොටස්කාරයා කරගත හැකි දැයි බලන්න. සතුට කියන්නේ නිරෝගිකමේ ධන උල්පතයි.

 

සැසඳීම -

තමන්ට වඩා ඉසුරුමත්, වාසනාවන්ත අය හා තම ජීවිතය සසඳන්නට යාම නොකළ යුත්තක් බව මනෝ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ වෙනුවට තමන්ට වඩා දුක්ඛිත, අවාසනාවන්ත, පුද්ගලයන් හා තම ජීවිතය සංසන්දනය කර තමන් කොතරම් වාසනාවන්ත දැයි සිතීම ප්‍රීතිය, තෘප්තිය ළඟා වූ නිරෝගිමත් මානසිකත්වයක් ළඟාකර ගත හැකි ක්‍රමයකි.

 

ජානමය බලපෑම් -

ඇසුරුකරන පුද්ගලයන් හා පරිසරයට වඩා සතුටට, ජාන බලපායි. පුද්ගලයන්ගේ සතුටට ජාන සියයට අසුවක්ම වගකිව යුතුය.

 

ආගමික නැඹුරුව -

තමන් අදහන ආගමට අනුව ආගමික කටයුතුවල යෙදීම, ආගමික පිළිවෙත් අනුගමනය කිරීම මගින් සතුට සුවය දෙකම ළඟා වෙයි. ප්‍රබල ආගමික විශ්වාසයක් ඇති විට ආතතිය, කාංසාව පෑල දොරින් පලා යයි. එකතැනට වී නොසිටින්න. ඔබ වටා ඇති ලෝකය ගවේෂනය කරන්න. එය මනසට ඔසුවකි. ඉතින් විඳින්න ජීවිතයේ සතුට.

විඳින්න - ජීවිතයේ සතුට

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page