top of page

රත්නපුර මහ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ සුසිල් කුලතිලක මහතා.

 

අමතක වීම රෝගයක්ද?

 

මතකය යනු අපගේ මොළයේ ප්‍රධාන කාර්යයක්. විශාල ධාරිතාවක් මොළයේ තිබුණත් එහි යම් යම් දේවල් අපි අමතක කිරීම ඉතා වැදගත්. ඒ අනුව අමතක වීම අත්‍යවශ්‍ය දෙයක්. නමුත් මෙම පොදු සංකල්පයට අමතරව තවත් අංශයකින් මෙම අමතක වීම රෝගයක් ලෙසින් ද හැඳින්විය හැකි වේ. කෙසේ වෙතත් මෙහිදී අමතක වීම යනු රෝගයක් ද නැද්ද යන්න පිළිබඳව හඳුනාගැනීම ඉතාම වැදගත් වේ.

 

අමතක වීම රෝගයක් වශයෙන් හඳුනා ගන්නේ කිනම් අවස්ථාවකදීද?

 

ලොව පුරා විද්‍යාඥයන් විසින් සිදු කරන ලද පරීක්ෂණ මඟින් පැහැදිලි වී ඇත්තේ මොළයේ නිශ්චිත ස්ථානයක් පමණක් මතකයට අදාළ නොවන බවයි. මෙය ඉතාම සංකීර්ණ ඒ වගේම මොළයේ ඉතාම සංකීර්ණ ස්ථාන කිහිපයක් ආශ්‍රයෙන් සිදුවන බවත්ය. අපගේ ශරීරයේ විවිධ ඉන්ද්‍රියයන් මඟින් දැනගන්නා සංවේදන, මූලික වශයෙන් මොළයේ තැන්පත් කර ගැනීමට සුදුසු ලෙස සකස් කරගනු ලැබේ.

 

ඉන් පසුව ඒවා මොළයේ තැන්පත් කරගනු ලැබේ. මතක සෛල ද මේ සඳහා උපයෝගී කරගනු ලැබේ. එම තැන්පත් වීම මත අපට අවශ්‍ය වේලාවන්වලදී නැවත සිහි ගැන්වීම මේ නමින් හැඳින්වේ. මෙම ක්‍රියාවලි තුන සැකසීම, තැන්පත් කිරීම හා මතකයට ගැනීම නිතර නිතර සිදුවේ. එය කාලයක් ගතවන විට ක්‍රමයෙන් ක්ෂය වීමට ලක් වේ. මෙය මිනිසාගේ මතකයේ සාමාන්‍ය ස්වභාවයයි.

 

මෙම මතකය සඳහා මූලිකවම අවශ්‍ය දේ සංවේදන ලබා ගැනීමයි. සංවේදන ලබා ගැනීමට අවශ්‍ය දේ යම් දෙයක් පිළිබඳව අවධානයෙන් සිටීමයි. බොහෝදුරට සාමාන්‍ය ජීවිතයේදී අපිට විවිධ දේ අමතක වන්නේ ඒ දේවල් පිළිබඳ නිසි අවධානයෙන් නොසිටීමයි. මෙසේ අවධානය අඩුවීම නිසා මතකය අඩුවන අතර එය රෝගයක් ලෙසින් හඳුනාගත නොහැක. ඒ වගේම යම් දෙයකට අපි අවධානය යොමු කළත් අවධාරණය නොකර ගතහොත් එය මතකයේ තැන්පත් නොවේ. විශේෂයෙන් දරුවන් පාඩම් කරන අවස්ථාවල එය නැවත නැවත මතක් කර ගැනීමෙන් නැවත නැවතත් මතකය, මතකයේ හොඳින් තැන්පත් වේ.

 

මතකය සඳහා වැදගත් ස්ථාන කිහිපයකි. විශේෂයෙන් “හිපොකැම්පස්” නැමැති ස්ථානය, ලලාට කණ්ඨිකාව, ඇම්ග්ඩලාව ආදි කොටස් ඉතා වැදගත් වේ.

 

ඇතැම් අයට අතීත දේ මතක තිබුණත් වර්තමානය අමතක වේ. ඒ පිළිබඳ පැවසුවොත්?

 

දිගුකාලීන මතකය යනු අපේ පවුලේ ඥාතීන්, ඔවුන්ගේ මුහුණ නම් ඔබේ නම ආදී අපේ ජීවිතයට සම්බන්ධ දේවල්, අපේ මතකයේ ඉතා තදින්ම මතකයේ තැන්පත් වී ඇත. අපි එදිනෙදා කරන දේ මේ මොහොතේ සිද්ධ වන දේ එතරම් තදින් මොළයේ තැන්පත් නොවේ. කෙසේ වෙතත් මෙම අමතක වීම රෝගයක් ලෙසින් සලකා බලන විට මූලිකව බලපෑම් ඇති කරනු ලබන්නේ කෙටිකාලීන මතකයටයි. මෙය දිගුකාලීන මතකයටත් බලපෑම් ඇති කළත් එය කාලයක් ගත වනවිට රෝගය උත්සන්න වනවිට සිදුවන දෙයකි. මෙය ඩිමෙන්ෂියා නම් වන අතර අදාළ රෝගී තැනැත්තාට තමාගේ දරුවන්ගේ නම් පවා අමතක වී යයි. මෙය රෝගය උත්සන්න වූ විට ඇතිවන තත්ත්වයකි.

 

මතකය නැතිවෙන රෝග මොනවාද?

 

මතකය නැති කරන රෝග සමඟ කථාබහට ලක්වන වයසත් සමඟ ඇතිවන රෝග අවස්ථාවක් ලෙස මානසික වික්ෂිප්තය හෙවත් ඩිමෙන්ෂියාව පිළිබඳ හඳුනාගත හැකි වේ. මීට අමතරව මත්පැන් භාවිතය නිසා ප්‍රධාන හානිය ඇතිවන එක් ඉන්ද්‍රියයක් ලෙස මොළය පිළිබඳ කථාබහ කළ හැකිය. මත්පැන් විශාල ප්‍රමාණයක් දීර්ඝ කාලයක් ලබා ගතහොත් මතකය හා අනෙකුත් මතකය ආශි‍්‍රත ක්‍රියාකාරකම්වලට විශාල බලපෑමක් ඇති කරවිය හැකියි.

 

මීට අමතරව මානසික කලකිරීම කථාව අඩු වී සියලු දේ එපා වී සිටීම මෙය බොහෝ දෙනෙකුට අමතක වීම සුලබව තත්ත්වයකි. මෙහිදී ස්නායු සම්පේ‍්‍රශකවලට ඇතිවන බලපෑමෙන් සිදු වේ. නමුත් ප්‍රතිකාරයත් සමඟ එවැනි තත්ත්ව මුළුමනින්ම නවතා ගත හැකියි.

 

ජනතාවට තවමත් මේ පිළිබඳව ඇත්තේ අඩු අවබෝධයක් නේද?

 

සාමාන්‍යයෙන් වයස අවුරුදු 65න් පසුව ඩිමෙන්ෂියා තත්ත්වය බහුලව දක්නට ලැබේ. නමුත් ඇතැම් පුද්ගලයන් වයසත් සමඟ අමතක වීම රෝගයක් ලෙසින් නොසලකයි. එය මුළුමනින්ම වැරදි අදහසකි. වයසක පුද්ගලයන්ට සාමාන්‍යයෙන් සුළු වශයෙන් අමතක වීම් ඇති වීමට හේතුව මතකයට නඟා ගැනීමට තරමක් පමාවීම හැර අමතක වීමක් එහිදී සිදු නොවේ. වයස් ගත පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් අමතක වීම රෝගයක් ලෙසින් නොසැලකීම නිසා රෝගය උත්සන්න වූ පසුව මොළය ඉතා දුර්වල විට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණීම ඉතාමත් කණගාටු දායක තත්ත්වයක්.

 

 අමතක වන්නට පටන් ගෙන බව හඳුනා ගන්නේ කෙසේද?

 

වයස්ගත අයෙක් විවිධ දේ පිළිබඳ අමතක වීම, වැසිකිළිය හා කුස්සිය අමතක වීම, නම් අමතක වීම, බොත්තම් මාරු කර දැමීම හා තමන්ගේ බඩු නැති වී ඇති බව සිතා අන් අයට චෝදනා කරනු ලැබේ. නින්දක් නොමැති වීම නිසා ගේ තුළ එහෙ මෙහේ ඇවිදීම දවල්ට නිදා ගැනීම හා ඉබාගාතේ ඇවිදීම, තමන් යන තැන් නොදැන ඇවිදිනු ලැබේ. අදාළ පුද්ගලයාටවත් තමා පදිංචි තැන ආදී තොරතුරු පිළිබඳ අමතක වීම ආදිය සිදු වේ. මේවා ඩිමෙන්ෂියාවේ රෝග ලක්ෂණයි.

 

ඇත්තෙන්ම ඩිමෙන්ෂියා යනු රෝග ගණනාවක එකතුවකි. “ඇලොයිස් ඇල්ෂයිමර්” නැමැති විද්‍යාඥයා පෙන්වා දුන් ආකාරයට “ඇලොයිස් ඇල්ෂයිමර්” බහුලවම දැකගත හැකි රෝගී තත්ත්වයකි. අධි රුධිර පීඩනය, අධි කොලෙස්ටරෝල් තිබෙන අයට බහුලව ඇතිවන රුධිරවාහිනී ආශි‍්‍රත ඩිමෙන්ෂියාවක් තිබේ. මේ අතුරින් බහුලවම දැකගත හැක්කේ ඇල්ෂයිමර් ඩිමෙන්ෂියාවයි. මෙහි ප්‍රධාන ලක්ෂණය මතකය දුර්වල වීමයි. මීට අමතරව ඇතැම් ඩිමෙන්ෂියා තත්ත්ව වලදී පුද්ගලයන් අසාමාන්‍ය ලෙස හැසිරෙනු ලැබේ. මෙවැනි අසාමන්‍ය හැසිරීම්වලදී ප්‍රතිකාර ලබා ගැනීම නොපමාව සිදු කළ යුතු වේ. මීට අමතරව පෞරුෂත්වය වෙනස් විීම සිදුවිය හැකියි. මෙහිදී ලබා දිය යුතු වැදගත්ම පණිවිඩය වයසත් සමඟ අමතක වීම සාමාන්‍ය තත්ත්වයක් ලෙසින් නොසැලකිය යුතුයි. එහිදී වයස්ගත පුද්ගලයෙකුට සැලකිය යුතු අමතක වීම් තිබේ නම් මතක පරීක්ෂණයක් සඳහා වෛද්‍යවරයෙක් වෙත යොමුවිය හැකියි. එමඟින් අදාළ වෛද්‍යවරයා එය සාමාන්‍ය තත්ත්වයක් ද රෝගයක් ද කියා නිශ්චිතව තීරණය කරනු ලැබේ.

 

රෝගයක් නිසා අමතක වීම් ඇති වීමේදී මොළය තුළ සිදුවන්නේ කුමක්ද?

 

මෙහිදී මොළය කුඩා වීමක් සිදු වේ.

 

මෙවැනි රෝගියෙකු රැකබලා ගැනීම හා ප්‍රතිකාර පිළිබඳ කථාබහ කළොත්?

 

මෙවැනි පුද්ගලයෙක් රැකබලා ගැනීම ඉතා වැදගත් දෙයකි. මේ සඳහා ඉතා සාර්ථක ඖෂධ ප්‍රතිකාර තිබේ. අදාළ රෝගියා රැකබලා ගැනීමේදී අවට පරිසරය සරල කිරීම, ගෘහ භාණ්ඩ අවම ප්‍රමාණයක් තිබෙන පරිසරයක් තැබීම, අදාළ රෝගියාට ව්‍යායාම (ශාරිරික /මානසික) සඳහා යොමු කිරීම, මොළය යම් පමණකට වෙහෙසන ක්‍රියාමාර්ග අදාළ පුද්ගලයා සමග පරණ මතකයන් පිළිබඳ කථාබහ කිරීම තුළින් රෝගියාට යම් සහනයක් ඇති වේ. මතක සෛල විනාශ වීම වළක්වන ඖෂධ මේ සඳහා නිපදවා තිබෙන අතර ඒවා දිගුකාලීනව ලබාදීම අවශ්‍ය වේ. මෙම ඖෂධ ඉතාමත් ප්‍රතිඵලදායක වේ. තවද ඇල්ෂයිමර් රෝගියෙක් නිවසක සිටින විට ඔහුව රැකබලා ගන්නා අයගේ මානසිකත්වය යම් කඩා වැටීමකට ලක් වේ. ඔවුන්ට විශාද තත්ත්ව ඇතිවීම, නින්ද නොයාම වැනි තත්ත්ව ඇති වේ. ඒ නිසා මෙම රෝගයේ මූලික අවස්ථාවන් වලදී ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා වැදගත් වේ.

 

විවිධ වර්ගයේ අමතකවීම්වලදී යොදන ප්‍රතිකාර විවිධාකාරද?

 

මේවායේදී විවිධ වර්ගයේ ප්‍රතිකාර ක්‍රම භාවිතා කළ හැකි වේ. නමුත් මත්පැන් භාවිතය නිසා වන තත්ත්ව පිළියම් යෙදීම තරමක් අපහසු වේ. රුධිරවාහිනි ආශ්‍රිත ඩිමෙන්ෂියාවේදී අධිරුධිර පීඩනය, අධිකොලෙස්ටරෝල් තත්ත්ව පාලනය කර ගැනීම ඉතා වැදගත් වේ. මීට අමතරව ද දියවැඩියාව ද මේ සඳහා අයත් වේ. නමුත් ඩිමෙන්ෂියාව සඳහා ලබාදෙන ඖෂධ මූලික වශයෙන් යම් සමානකමක් දක්වයි. නමුත් මෙම ප්‍රතිකාර දීර්ඝකාලීන වේ.

 

විටමින් B12 බහුලව ප්‍රතිකාර සඳහා භාවිතා වෙනවාද?

 

විටමින් B12 ඌනතාවෙන් ඇතිවන මතකය නැතිවීම ඇතිවෙලා නම් එය එන්නතක් ලබාදීම මඟින් සුවකළ හැකිය.

 

පාසැල් දරුවන්ටත් මෙවැනි රෝග තත්ත්ව ඇතිවිය හැකිද?

 

මෙවැනි තත්ත්වයක් පාසැල් දරුවන්ටත් ඇතිවීම ඉතාම කලාතුරකින් ඇතිවන තත්ත්වයකි. සාමාන්‍යයෙන් මොවුන්ට ඇතිවන්නේ යම් යම් දේ පිළිබඳ අවධානය අඩු වීමෙන් මතකයේ ඇතිවන රෝග නොවන ගැටලුවකි. ඒ නිසා සිහිය නිවැරදිව පවත්වා ගැනීමත් ඉතා වැදගත් වේ.

 

 මතකය වැඩිකර ගන්නේ කෙසේද?

 

මෙහිදි සංකල්ප දෙකක් පිළිබඳ කථාබහ කළ හැකියි. පළමු දේ බුද්ධිය හා දෙවැනි දේ මතකයයි. කෙනෙකුගේ බුද්ධිය හෙවත් IQ උපතින්ම ලැබෙන දෙයක් නිසා එය නියතයකි. නමුත් එම පුද්ගලයා බුද්ධිය යොදා ගන්නා ආකාරය වෙනස්විය හැකියි. නමුත් මතකය ඕනෑම වේලාවක අඩු හෝ වැඩි කරගත හැකි වේ. 

 

මතකය වැඩි කරගැනීමට මනෝ විද්‍යාඥයන් යොදාගත් ක්‍රම කිහිපයකි. ප්‍රධානම දේ වන්නේ මොළයට අපි සංවේදන ලබාදිය යුත්තේ මොළයට වඩාත් සුදුසු ලෙසිනි. උදා ලෙස අපි පාඩම් කරන දේ විවිධ මාධ්‍ය ඔස්සේ ශ්‍රවණය, රූප මඟින් මතකයට ලබා ගැනීම එක් උපක්‍රමයක්. මීට අමතරව මතකයට ගන්න දේ තේරුම් ගැනීම ඉතා වැදගත්. එමඟින් මතක සෛල හොඳින් උද්දීපනය වේ. රාත්‍රියේදී පාඩම් කරන අයෙකුට නින්දේදී මතක සෛල අලුත් වේ. මෙසේ නින්දේදී මතකය සකස් වන අතර පාසලට යනතෙක් අතර මඟදී නැවත මතක් කරගැනීම මෙහිදී ඉතා වැදගත්.

 

අනෙක් කරුණ වන්නේ සිහිය නිවැරදිව පිහිටුවා ගැනීම හා අපගේ සම්පූර්ණ අවධානය ලබාදීම ඉතා වැදගත් වේ. ඒ නිසා අවධානය වැඩි කරගන්නා විවිධ ක්‍රම උදාහරණ ලෙස භාවනාව, යෝග ව්‍යායාම හෝ ඔබටම ආවේණික ක්‍රමයක් මේ සඳහා යොදාගත හැකියි ඒ වගේම මතක තබා ගැනීම වගේම කටපාඩම් කරගත යුතු දේ ද තිබේ. ඒ සඳහා අපට ආවේණික ක්‍රමයක් සකස් කරගෙන මතක තබාගත හැකියි.

 

මත්පැන් පානය නිසා ඇතිවන ගැටලුකාරී බව පිළිබඳ වැඩිදුර පැහැදිලි කළොත්

 

මත්පැන් එපා කිරීමට මේ සඳහා ඖෂධ නිපදවා තිබේ. මේ සඳහා විවිධ උපක්‍රම බිහි වී තිබුණත් ඖෂධ භාවිතය නිසා මත්පැන් එපා වීමක් සිදුවේ. මත්පැන්වලට දීර්ඝකාලීනව ඇබ්බැහි වී ඇති අයව ඉන් මුදවා ගැනීමට විවිධ උපක්‍රම තිබුණත් මේ මඟින් සාර්ථක පිළියම් තිබේ.

 

අතීතය මතකයි ඒත් වර්තමානය අමතකයි

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page