
මෙන්න පිළිතුර. තමාගේ සිතට ඇතිවන ආවේගයන් ඔබට එකවර පිට කිරීමට අපහසු විය හැකියි. ඒ අවස්ථාවේදී 1 -10 දක්වා ගණන් කරමින් සෙමින් හුස්ම ගන්න. ආවේගයක් ක්ෂණිකව සිතට පැමිණීම නිසා වේගවත් වූ හෘද ස්පන්දනය එවිට යම් පාලනයකට ලක් කර ගත හැකියි. තවද හදිසි ආවේගයක් ඇති වීම නිසා අභ්‍යන්තරිකව සිදු වූ සියලු රසායනික ප්‍රතික්‍රියා තරමක් දුරට තුලනය වීමක් සිදුවේ. පසුව නැවත වරක් එම අදාළ සිදුවීම පිළිබඳව විශ්ලේෂණාත්මකව කල්පනා කර බැලිය යුතුයි. එහිදී ඇතිවන අහිතකර ප්‍රතිවිපාක අවම වන ආකාරයට ඊට මුහුණ දෙන්නේ කෙසේදැයි ඔබ නැවතත් සිතා බැලිය යුතුයි. එමඟින් ද ඔබට යහපත් විකල්පයක් සොයා ගැනීමට නොහැකි නම් අදාළ සිදුවීමට මුල්වූ පරිසරයෙන් හා පුද්ගලයන්ගෙන් තාවකාලිකව ඉවත් විය හැකියි. එසේත් නැතිනම් ඔබගේ අවදානය වෙනත් දෙයක් කෙරෙහි යොමු කරවීමට ද හැකියි. ඇතැම් අය මෙවැනි ක්‍රියාකාරකම් හැරුණු විට වේගයෙන් ඇවිදීම මඟින් ද සිතට ඇති වූ බලපෑම තරමක් දුරට හෝ සමනය කර ගන්නට උත්සාහ කළ හැකිය. එසේත් නැත්නම් එය තමාගේ විශ්වාසවන්තම අයෙකුට පැවසීම මඟින් ද පිටකර ගැනීමට හැකියි. නමුත් එය ඔබට මුණ ගැසෙන සෑම අයෙකුටම ප්‍රකාශ කර නොකිරීමට ද වගබලා ගත යුතුයි. තවත් සමහර අය තමාගේ සිතට ඇති වූ ආවේගය දිනපොතක සටහන් කිරීම ද කරනු ලැබේ. එමඟින් නැවත තවත් දිනයක එම සටහන් කියවා බලා එමඟින් තමාගේ දුර්වලතා මෙන්ම ඉදිරියේදී මෙවැනි ගැටලු සඳහා මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකියි.
සිතන්න ඔබ කිසිදු ශබ්දයක් නොමැති ශාලාවක සිටිනවා කියා. නමුත් එහි සෙනඟගෙන් නම් කිසිදු අඩු පාඩුවක් ඇත්තේ නැහැ. හදිසියේ ඔබට දරාගත නොහැකි දුකක්, කේන්තියක් සිතට පැමිණිය හොත් ඔබ මොකද කරන්නේ. ඇතැම්විට ඔබ කුඩා දරුවෙක් නම් කෑ ගසා අඬන්නට පුළුවන්. නමුත් ඔබ තරමක් වයසින් මුහුකුරා ගිය අයෙක් නම් ඒ දේ ඔබට සිදුකළ හැකිද? එවිට ඔබ සුදුසු නුසුදුසු අවස්ථා බලා ඔබගේ ආවේගය පිටකර දැමීමට උත්සාහ කළ හැකියි. නමුත් අප අතරේත් වයසින් පරිණත වුවත් බොහෝදෙනාගේ නෙතඟ කඳුළු රැඳෙන අධි සංවේදී අවස්ථාවල පවා දැඩි ලෙසින් ආවේග යටපත් කරන අයත් නැත්තේම නැහැ.
ආවේගයක් කියන්නේ කුමක්ද?
අපේ සිතේ ඇතිවන බලවත් හැඟීමක් ප්‍රකාශ කිරීම ආවේගයක් ලෙසින් හැඳින්වේ. නමුත් ඇතැම් අවස්ථාවලදී අපගේ සිතට ආවේග ඇති වූ පමණින් ඒවා ඒ ආකාරයෙන්ම පිටකර ගැනීමේ හැකියාවක් ඇත්තේ නැහැ. මෙම ආවේග කේන්තිය, වෛරය, දුක මේ ආදී කුමන ආකාරයකින් හෝ සිතට ඇතිවිය හැකි වේ. පෙර පැහැදිලි කළ ආකාරයට අප විසින් අපගේ සිතට ආවේගයක් ඇති වූ පමණින් ඒවා පිට කිරීමට නොයන්නේ එමඟින් තමාගේ ප්‍රතිරූපයට හෝ වෙනත් බාහිර අයෙකුට හානියක් විය හැකි නිසයි. මෙසේ සිතට ඇතිවන ආවේග ඒ ආකාරයෙන්ම පිට නොකර ඒවා මුදාහැරීමේ ශිල්ප ක්‍රමයක් වයසත් සමඟ අපට ලබා ගැනීමට හැකියාව ලැබේ.
කුඩා දරුවෙක් නම් ආවේග ක්ෂණිකව පිට කරනවාද?
සාමාන්‍යයෙන් කුඩා දරුවන් නම් තමන්ට ලැබෙන ආවේග ක්ෂණිකව පිටකර දමයි. ඔවුන් තමන්ට ඇතිවන හැඟීම් යම් පාලනයකට ද නතුකර නොගනියි. හැඬීම කුඩා දරුවන් තම ආවේග පිට කිරීමට යොදා ගන්නා ප්‍රධාන ක්‍රමවේදයක්. නමුත් ක්‍රමයෙන් ඔවුන් වයසින් මුහුකුරා යනවිට එසේ ආවේග ක්ෂණිකව පිට කිරිම නුසුදුසු වන නිසා එම හැඟීම් පාලනයට ලක්කර, ආවේග මුදා හැරීම යම් පාලනයට ලක්කරනු ලැබේ. මෙම යටපත් කිරීම් ඇතැම්විට සාර්ථක මෙන්ම අසාර්ථක ද විය හැකියි.
ආවේග යටපත් කිරීම හොඳද?
මෙසේ ඔබ යම් ආවේගයක් විශේෂයෙන් දුක, වේදනාව යටපත් කිරීම මත කලක් ගතවන විට වෙනත් ආකාරයකින් ඔබට එය බලපෑම් ඇතිකර විය හැකියි. විශේෂයෙන් ඒවා කායික රෝග වශයෙන් ඔබට යම් බලපෑම් ඇති කරන මට්ටමට පවා පත්විය හැකි වේ. උදාහරණ ලෙස එසේ ඇතිවන රෝග අවස්ථාවන් වන්නේ නොනවතින වේදනාවන්, හිසේ කැක්කුම්, අතපය පණ නැති වීමක් වැනි තත්ත්වයි. නමුත් මෙම අවස්ථා ඇති විමට ප්‍රධාන හේතුව කායිකව ඇතිවන යම් දුබලතාවක් නොවේ. එනම් ඒවා ඉහත පැහැදිලි කළ ආකාරයට දුක වේදනාව වැනි ආවේග පාලනය කිරීම මත ඇති වූ ආබාධිත තත්ත්වයන් වේ.
ආවේගයක් පැමිණි විට කුමක් කළ යුතුද?
වඩාත් සුදුසුවන්නේ ආවේග යටපත් කිරීම නොවේ. ඒවා සුදුසු අවස්ථාවක, සුදුසු ආකාරයකට පිටකර දැමීමයි. උදාහරණයක් ලෙස අවමංගල්‍යවලදී ඒ නිසා ඇති වූ දුක ඇඬීම් වැලපීම් වැනි කටයුතු මඟින් ඇතැම් දෙනා සමතයකට පත්කර ගත්ත ද ඇතැම් අය ඒවා යටපත් කර ගැනීම මත විවිධාකාරයේ කායික දුර්වලතා ලෙඩ රෝග ඇතිවිය හැකියි.
ආවේග, කලා නිර්මාණ ලෙස ද පිට කරන්නට හැකිද?
ඇතැම් අය මෙම ආවේග පිට කිරීම ඇතැම් විට නිර්මාණාත්මක ලෙසින් සිදු කරනු ලැබේ. ඒ අනුව එවැනි නිර්මාණාත්මක හැකියාවක් ඇති අය සංගීතය, චිත්‍ර වැනි දේ මඟින් තමන්ගේ සිතට ඇතිවන ආවේග පිටකර දමයි. ඒ වගේම නාට්‍ය, කවි, කථා ආදී මේ කුමන ක්‍රමයක් වුවද ඔවුන් මේ සඳහා යොදාගත හැකියි. මෙම ක්‍රමය සිතට ඇතිවන ආවේග පිට කිරීමේ සාර්ථක ක්‍රමවේදයක් ලෙසින් හඳුන්වා දිය හැකි වේ.
ඊට හේතුව මෙම ක්‍රමවේද මඟින් සමාජයේ වෙනත් කිසිවෙකුට හෝ අවම වශයෙන් තමාටවත් සුළු හෝ හානියක් සිදු නොවන නිසායි. මෙසේ ඔවුන් තමාගේ ආවේග නිර්මාණශීලීත්වය හරහා නිදහස් කරගනු ලැබේ.
පුද්ගලයාගේ අත්දැකීම් හා දැනුවත් භාවය මත ආවේග පාලනය කර ගැනීමේ හැකියාව තීරණය වේ. නමුත් ඇතැම් වේලාවන්වලදී තමාගේ දැනුම හා අත්දැකීම් අභිබවා මෙසේ ඇතිවන ආවේග ඔබටත් නොදැනීම ඔබගේ පාලනයෙන් තොරවිය හැකියි.
නුවන්ති කුලරත්න
උපුටා ගැනීම: දිනමිණ