top of page

සිතට වදදෙන ගැටලුවක්‌ තිබේ නම් එම ගැටලුව පහසුවෙන් අමතක කළ හැකි දෙයක්‌ ද නොවේ නම් ඒ පිළිබඳ කොපමණ කල්පනා කළත් විසඳුමක්‌ සොයා ගැනීමට ද අපහසු නම් කළ යුත්තේ කුමක්‌ද? දිගින් දිගටම එම ගැටලුව පිළිබඳ ව සිතමින් අසහනයෙන් දුකින් කල් ගෙවනවාද සිතට වද දෙමින් පසුතැවිලි වෙනවාද එසේ කාලය ගත කිරීම ඔබේ සෞඛ්‍යය තත්ත්වයට අහිතකරය. අසහනකාරී මානසික තත්ත්වයකින් පසුවන විට විවිධ රෝගාබාධ වලට ගොදුරු වීමට සිදුවන බව ඔබ දැන් හොඳින් දනී. 

 

එසේ නම් කළ යුත්තේ තමන්ගේ නීරෝගී සුවය ගැන සිතා තම ගැටලුව වෙනත් අයෙකු සමග සාකච්ඡා කිරීමයි. නමුත් අද පවුල් සංස්‌ථාව තුළ ද බොහෝ කාන්තාවෝ නිවසේ දී තමා කිසියම් හිංසනයකට ලක්‌ වුවද එය වෙනත් කෙනෙකු සමග පැවසීමට බිය වෙති. බොහෝ අය සිතන්නේ අන් අය සමග තමන්ගේ ප්‍රශ්න පැවසීම නුසුදුසු ක්‍රියාවක්‌ ලෙසය. එය ලඡ්ජාවට කාරණයක්‌ ලෙසය. නමුත් එම අනවශ්‍ය බිය නිසා එසේ හුදකලාව ගැටලු සිත තුළ සිර කරගෙන සිතින් වද විඳින විට සිදුවන්නේ තමා රෝගියෙකු වීමය. 

 

කෙනෙකුගේ සිත තුළ තිබෙන ප්‍රශ්නයක්‌ තව කෙනෙකු සමග පැවසීමෙන් සිතේ බර සැහැල්ලු වන බව බොහෝ අය පවසන දෙයකි. එය සත්‍යයකි. නමුත් තම ගැටලුව එසේ පැවසිය යුත්තේ ගෞරවනීය ලෙස එයට විසඳුමක්‌ සහනයක්‌ ලබාගත හැකි සුදුසු අයෙකු සමගය. එබැවින් ඒ සඳහා සුදුස්‌සෙකු තෝරා ගත යුතුය. පුරාණයේ මෙය කළේ වැඩිහිටියෙකි.

 

බුදු දහමේත් අභිවාදන සීලිස්‌ස යන ගාථාවෙන් දේශනා කොට ඇත්තේ වැඩිහිටියන්ට ගරු කර ඔවුන් ගේ අවවාද උපදෙස්‌ පිළිපැදීමේ ඇති වැදගත්කමයි. එබැවින් ඈත අතීතයේ සිටම සමාජයේ ජීවත් වීමෙන් විවිධ අත්දැකීම් ලද වැඩිහිටියන් බාල පරපුරට දෙන අවවාද අනුශාසනා මාර්ගෝපදේශන ලෙස පිළිගත්හ. වර්තමාන යුගයේ ලෝකයේ දියුණුවීමත් සමගම මානසික ගැටලු නිරාකරණය කිරීම පිණිස විවිධ උපදේශන ලබාදෙන ස්‌ථාන සහ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම බිහි වී තිබේ. 

 

එලෙස මානසික ගැටලු වලට කිසියම් සහනයක්‌ ලබාදීම සඳහා කටයුතු කරන උපදේශන සේවාවේ තිබෙන නීතිරීති ආචාර ධර්ම පිළිබඳ ඔබ තුළ මනා අවබෝධයක්‌ තිබේ නම් කිසිවෙකු කිසිම විටෙක තමාට ඇති වී තිබෙන්නා වූ මානසික අසහනකාරී ගැටලුවක්‌ සිතේ සිරකරගෙන දුකින් කල් ගෙවන්නේ නැත. එබැවින් ඒ පිළිබඳ දැනුවත් වීම සෑම කෙනෙකුට ම ඉතා වැදගත් වනු ඇත. 

 

එබැවින් අන් අයගේ ගැටලු වලට උපදේශන ලබාදෙන එවැනි ස්‌ථාන පිළිබඳ කරුණු කීපයක්‌ සඳහන් කරන්නේ නම් මෙම ස්‌ථානවල මනෝ උපදේශන ලබා දෙන්නේ පුහුණුව ලත් උපදේශකවරුන් ය. ඒ අය හමුවට පැමිණෙන සේවාලාභියාට ඉතා හිතවත්ව කාරුණිකව හොඳ පිළිගැනීමකින් යුතුව ගැටලුව පැවසීමට ආරාධනා කරයි. ගැටලුව පවසන විට එයට හොඳින් සවන් දෙයි.

 

එසේ ම එම සේවාලාභියා ගේ පුද්ගලික තොරතුරු පිටතට නොයන පරිදි කටයුතු කිරීමට ඔවුහු බැඳී සිටිති. උපදේශන ලබාගැනීම සඳහා පැමිණෙන කිසිවෙකු ගේ පෞද්ගලික තොරතුරු අන් අයට දැන ගැනීමට ඉඩක්‌ නැත. ඔහුගේ හෝ ඇයගේ ගෞරවය රැකෙන පරිදි රහස්‍යභාවය සුරකියි. 

 

මෙම උපදේශන සේවාව තුළ වැඩි දුරටත් කොන්දේසි පනවා ඇත. ගැටලුවක්‌ විසඳා ගැනීමට පැමිණෙන අය සමග සමීප බවක්‌ අනවශ්‍ය ලෙස මිත්‍රශීලී බවක්‌ පෞද්ගලික ගනුදෙනු ශාරීරික ගැටීම් ඇතිකර ගැනීම සම්පූර්ණයෙන් තහනම් වේ. ඔහුට හෝ ඇයට අවශ්‍ය මාර්ගෝපදේශන පමණක්‌ ලබා දීමට ඔවුහු බැඳී සිටිති. ඔහුට හෝ ඇයට මානසික ප්‍රතිකාර ලබා දිය යුතු නම් ඒ සඳහා ද කටයුතු කරති. උපදෙස්‌ ලබන්නන් සමග පුද්ගලික සබඳතා පවත්වා නොගෙන ඔවුන් ගෙන් තෑගි බෝග පුද සත්කාර පිළිනොගෙන තම උපදේශන සේවය ලබාදිය යුතුය. උපදේශනයේ පූර්ණ අරමුණ පුද්ගලයාට මානසික ගැටලු නිසා ඇති වී තිබෙන්නා වූ පීඩනයෙන් මුදවා ඔවුන් තුළ හොඳ චිත්ත සංවර්ධනයක්‌ ගොඩ නැගීමය. සේවාලාභියා ගැටලුවෙන් මිදුනාට පසුව වහාම ඔවුන් සමග සාකච්ඡා කරමින් පැවැත් වූ සබඳතා අවසන් වේ. උපදේශන ලබා ගැනීම සඳහා පැමිණි අය පුරුද්දට මෙන් උපදේශකවරයා හෝ උපදේශකවරිය හමුවීමට පැමිණීම වහාම නතර කිරීමට පියවර ගත යුතුය. නැවත ගැටලුවක්‌ ඇති වුවහොත් පමණක්‌ යළි පැමිනෙණ ලෙස ඔවුන්ට දැනුම් දීමක්‌ කරනු ලැබේ. 

 

උපදේශනය හා උපදේශකවරු දැඩි සංයමයකින් හා ස්‌ථිර ආචාර ධර්ම සමූහයකට යටත් ව මහජනයා ගේ පුද්ගලික පීඩාකාරී ගැටලු විසඳීමට ඉදිරිපත් වන බව ඔබට මින් පැහැදිලි වනු ඇත. 

 

ගැටලුවක්‌ නිසා මානසිකව සහ කායිකව රෝගියෙකු වන්නේ කුමටද ගැටලුවක්‌ ඇති වූ විට ඒ පිළිබඳව සිත සිතා සිටීමෙන් වැලකී තම ගරුත්වය ද රැකගෙන තම ගැටලුව විසඳා ගෙන සිතට සහනය ලබාගෙන සතුටින් ජීවිතයට මුහුණ දීමට ඔබට ද හැකියාව ඇත. 

 

විශේෂයෙන් ම සැලකිලිමත් විය යුතු දෙයක්‌ ඇත. එනම් කිසියම් ගැටලුවක්‌ සඳහා උපදේශනයකට යොමු විය යුත්තේ ඒ සඳහා පුහුණුව ලත් උපදේශකයෙකු හෝ උපදේශිකාවක්‌ වෙතය.

 

කෙසේ වුවද කාලයක්‌ තිස්‌සේ යටි සිතේ තැන්පත් වී තිබුණ ගැටලු හේතුකොට ගෙන මානසික රෝගී තත්ත්වයක හෝ අසහනකාරී තත්ත්වය සිටින්නේ නම් එවැනි අයට මෝහනය තුළින් ප්‍රතිකාර ලබා ගත හැක. 

 

 

මනෝ චිකිත්සක 

උපදේශිකා 

හෝමියෝපති වෛද්‍ය 

ජීවනී හසන්තා වික්‍රමතුංග

ගැටලු තිබේ නම් සිතේ සිරකරගෙන ඉන්න එපා

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page