
ලාදුරු (Leprosy) සුව කළ හැකියි
"මයික්‍රෝබැක්ටීරියම් ලෙප්රේ" නම් බැක්ටීරියාවක් ආසාදනය රෝගයට හේතුවයි. සමේ සහ ස්නායු ආශ්‍රිතව මෙම රෝග කාරක ආසාදනය වෙයි. ස්නායු වලට හානි සිදුවීම නිසා ශරීරයේ විකෘතිතා හට ගනී. රෝගය ඉක්මනින් හඳුනා ගැනීම ප්‍රතිකාර පහසු කරවයි. රෝගය කෙනෙකුගෙන් කෙනෙකුට බෝවන්නේ බිඳිති වලින් ස්වසන මාර්ගය හරහාය. අධික ජනගහනයක් කුඩා ප්‍රදේශයක දිවි ගෙවීම, ඌන පෝෂණ තත්වය රෝගය බෝ කිරීම ඉක්මන් කළ හැකිය.
බොහෝ විට සම මත හටගන්නා අළුහම් ගැන බහුතරයක් වැඩි තැකීමක් කරන්නේ නැත. අළුහම් සඳහා විවිධ අත්බෙහෙත් වර්ග අත්හදා බලමින් හෝ ෆාමසි වලින් ලබා ගන්නා ක්‍රීම් වර්ග භාවිතා කරමින් සුවය පැතීම බොහෝ දෙනාගේ සිරිතකි. නමුත් කල් පවතින අළුහම් වැනි ලපයක් හෝ ලප කිහිපයක් තිබේ නම් ඒ ගැන විමසිලිමත් වන්න. ඒවායේ රෝම නොමැතිවීම හෝ අඩුවීම දැකිය හැකිය. එසේම එම ලපය සහිත ප්‍රදේශයේ සංවේදනය අඩුවීම හෝ නැතිවීම දැකිය හැකි ලක්‍ෂණයකි. අළුහම් ලප ඉක්මනින් පැතිරී වර්ධනය වීමක් දැකිය හැකිය. නමුත් ලාදුරු ලප ඒ ආකාරයට ඉක්මනින් පැතිරෙන්නේ නැත. ඉතා දිගු කාලයක් එකම ආකාරකයට පැවතිය හැකිය.එසේම ශරීර පැහැයට වඩා ලා පාට ලප, ශරීර පැහැයට වඩා තද පාට ලප, තඹ පාට ලප ලෙසද, ලාදුරු ලප පැවතිය හැකිය. එසේම ශරීරයේ ඕනෑම තැනක සමේ ඝනවීමක්, සමේ ගැටිත්තක්, ගැටිති රාශියක්, දිගුකල් පවතින හිරිගතියක්, ඇඟිලිවල මුහුණේ වෙනස් වීමක් වැනි බොහෝ ලක්ෂණ මේ හා සමඟ හටගත හැකිය.
ඔබට කිසියම් සැකයක් පවතී නම් රජයේ රෝහලක බාහිර රෝගී අංශයේදී නොමිලේ ප්‍රතිකාර ලබා ගත හැක. නොඑසේනම් ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් උපදෙස් පැතිය හැක. සාමාන්‍ය වෛද්‍යවරයෙකුට මේ ලප පරික්ෂාකර බැලීමෙන් රෝගය හඳුනා ගත හැක. ශරීරයේ පවතින ලප ප්‍රමාණය අනුව ප්‍රතිකාර තීරණය වේ. සමහර විට මාස 6ක හෝ මාස 12ක ප්‍රතිකාර පද්ධතියක් ලාදුරු නිට්ටාවටම සුව කළ හැක.
ඔබට කිසියම් ලපයක් ගැන සැකයක් තිබේ නම්, සමහර ලප සහිත කෙනෙකු ගැන දන්නේ නම් මේ ගැන පරික්ෂා කරවා ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම සඳහා ඒ අය පෙළඹවීමෙන් ලාදුරු මර්ධනයට ඔබට ද දායක විය හැක.