top of page

කාන්තාවන්ට බහුලව වැළඳෙන දණහිස් කැක්කුම

 

පුද්ගලයකුගේ ශරීරයේ තිබෙන විශාල සන්ධියක් ලෙස දණහිස් සන්ධිය සැලකෙනවා. මේ සන්ධියට මිනිසාගේ ශරීරයේ බර මෙන් තුන්ගුණයක් යොමු වෙනවා. විශාල පීඩනයක් යොමු වන මෙහි වට ප්‍රමාණය ඉතා කුඩා එකක්. අධික ලෙස යොමුවන පීඩනය නිසා දණහිස් ආබාධ ඇතිවෙනවා.

 

දැකිය හැකි රෝග ලක්ෂණ

කාටිලේජ ගෙවීමේ ප්‍රධාන ලක්ෂණය වන්නේ දණහිසේ වේදනාවක් ඇතිවීමය. සිටගෙන සිටීමේ දී මෙන්ම පඩි නැඟීමේ දී එහි වේදනාවක් ඇතිවිය හැකියි. මුල් අවස්ථාවේ එසේ වුවත් පසුව තැනිතලා ප්‍රදේශවල ඇවිද යාමේ දී පවා වේදනාව ඇති වෙනවා.

මෙය නොසලකා හැර සිටීමෙන් පසුකාලීනව තත්ත්වය උග්‍ර වී දණහිසේ වතුර පිරෙන තත්ත්වයට ද පත් වෙනවා. භයානක ආතරයිටීස් තත්ත්වවලදී දණහිස ඉදිමීම මුලින්ම දැකගත හැකි අතර උදෑසන කාලයේ දී වේදනාව ඇති වේ. එවන් අවස්ථාවල ඉතා වේගයෙන් කාටිලේජ ද විනාශ වේ. එනිසා ඉතා ඉක්මණින් වෛද්‍යවරයා හමු වී ප්‍රතිකාර වෙත යොමු විය යුතුයි.

 

දණහිසේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය

අස්ථි දෙකක් හමුවන ස්ථානයක් ලෙස සැලකෙන එම සන්ධිය ශරීරයට චලනය වීමේ හැකියාවක් ලබා දී තිබෙනවා. ප්‍රධාන වශයෙන් කලවේ සහ කෙන්ඩේ අස්ථි හමුවන ස්ථානය femur and tibia joint ලෙස හඳුන්වනවා.

 

මෙම අස්ථි දෙක ඉදිරිපස දණහිස් පොල්කටුව ද තිබෙනවා. එකී අස්ථි 3ට එකිනෙක චලනය වීමේ හැකියාව ලැබෙන්නේ මේ අතර තිබෙන කාටිලේජ නිසයි. අස්ථි ඝනත්වයෙන් යුතු වුවත් කාටිලේජ නිසා චලනය වීමේ හැකියාව සුමට කර තිබෙනවා.

 

දණහිසේ අස්ථි අධික ලෙස චලනය වීම වැළැක්වීමට ප්‍රධාන වශයෙන් තන්තු වර්ග 4ක් පිහිටා තිබෙනවා. ඊට අමතරව දණහිස චලනය වීමට විශාල වශයෙන් මාංශපේශි තිබෙනවා. එය ඉදිරිපසෙන් හා පිටුපසින් වැඩිපුර දක්නට ඇත.

 

මෙම විශේෂිත ව්‍යුහය නිසා ශරීරයේ බර දරා ගැනීම හා චලනය වීමේ හැකියාව ලැබී තිබෙනවා. මේ සන්ධිය නිතරම චලනයවීම හා අධික ලෙස බර යොමුවීම නිසා ගැටලු ඇති විය හැකියි.

 

අස්ථිවල දක්නට ලැබෙන රෝග අවස්ථා

ප්‍රධාන වශයෙන් දකින්න ලැබෙන්නේ අස්ථි අතර තිබෙන කාටිලේජ ගෙවීමයි. එය ඔස්ටියෝ ආතරයිටීස් ලෙස සැලකෙනවා. වයසට යාම කාටිලේජය ගෙවීමට එක් හේතුවක් සේම ශරීරයේ බර වැඩි වීම, දණහිස වටා තිබෙන මාංශපේශිවල ශක්තිමත් බව අඩුවීම, භාවිතා කරන වැරැදි ඉරියව් යනාදිය මේ සඳහා බලපානවා.

 

එසේම ජානමය හේතු නිසා ද දණහිසේ ආබාධ ඇති වීමේ හැකියාව තිබෙනවා. තව ද සන්ධි ප්‍රදාහය වැනි රෝග ඇති අවස්ථාවල දණහිස් කාටිලේජ ශීඝ්‍ර ලෙස විනාශ විය හැකියි. එසේම කුඩා කාලයේ දණහිස අනතුරුවලට ලක්වී තිබීමත් රෝග තත්ත්වයට බලපානවා. සාමාන්‍යයෙන් පිරිමියකුට වඩා කාන්තාවන්ගේ කාටිලේජ ගෙවීමේ ප්‍රවණතාවය ඉහළයි. සන්ධි ප්‍රදාහ රෝග මෙන්ම මාංශපේශි දුර්වලවීම දකින්න ලැබෙන්නේ පිරිමින්ට වඩා කාන්තාවන්ගෙනුයි.

 

ප්‍රතිකාර ආරම්භ කිරීම

රෝගයේ ස්වභාවය අනුව ඖෂධ සහිත හා රහිතව ප්‍රතිකාර ආරම්භ කරනවා. ඖෂධ නොමැතිව කරන ප්‍රධාන ප්‍රතිකාරය වන්නේ ශරීරයේ බර අඩු කිරීම මෙන්ම මාංශපේශි ශක්තිමත් නොමැති නම් ව්‍යායාම් තුළින් මාංශපේශි ශක්තිමත් කිරීමය.

 

ලැබෙන උපදෙස් අනුව නිවසේ දී දවසට විනාඩි 20ක් පමණ ව්‍යායාම් කළ යුතුයි. පඩි නැඟීම බැසීම නොකළ යුතු අතර අධික ලෙස සිටගෙන සිටීම හා බර යෙදෙන ඉරියව් මෙන්ම පහළ පුටු, බංකුවල වාඩිවීම නැවැත්විය යුතුයි. දණහිස් වේදනාව තිබෙන අයෙක් ඇවිදීම වැනි දෑ නොකළ යුතුයි. එවැනි අයෙකුට බයිසිකල් පැදීම හෝ පිහිනීම කළ හැකියි.

 

ඖෂධ භාවිතා කිරීමේ දී ශරීරයට හානියක් නොවන ඖෂධ භාවිතයෙන් වේදනාව අඩු කරනවා. ඊට අමතරව නික්ෂේපණ ක්‍රම භාවිතා කරනවා. එය ඉතා සුදුසු දෙයක් මෙන්ම සහනයක් ද ලැබෙනවා. දණහිසේ වතුර තිබෙනවා නම් වතුර ඉවත් කර එය ලබාදිය යුතුයි. 

 

දණහිසේ වතුර රැදීම සුදුසු වන්නේ නැහැ. එසේ වුවොත් වැඩි පීඩනයක් දණහිසට ලැබෙනවා. නැවත නැවත වතුර හැදීමක් ඇති වන්නේ දණහිසේ ගැටලුවක් තිබුණොත් පමණයි. ව්‍යායාම් කිරීමත් බර අඩු කිරීමත් මඟින් වතුර හැදීම වැළැක්විය හැකියි. සන්ධි ප්‍රදාහයක් නම් ශරීරයේ සුදු සෛලවල ක්‍රියාකාරීත්වය අඩුවීමට ඖෂධ භාවිතා කරනවා.

 

එහෙත් කාටිලේජ වර්ධනය කිරීමට හැකි ඖෂධ නැහැ. එහි දී සිදු කරන්නේ කාටිලේජ ගෙවීම හා වේදනාව අඩු කිරීමයි. මේ ප්‍රතිකාරවලිනුත් සාර්ථක වූයේ නැති නම් රෝගියාගේ කැමැත්ත පරිදි දණහිසක් දැමීම කළ හැකියි.

 

සැළකිලිමත් වීම

කුඩා කාලයේ සිටම නිසි බරක් පවත්වා ගැනීම හා මාංශපේශි ශක්තිමත්ව තබා ගැනීමත් ඉතා වැදගත්. එසේම නිසි ඉරියව්වල යෙදීමත් දණහිස්වල වේදනාවක් ඇති වූ විට මුල් අවස්ථාවේ ම ප්‍රතිකාර වෙත යොමු වීමත් තුළින් අනාගතයේ දී මෙවන් ආබාධවලට ගොදුරු වීමේ ප්‍රවණතාවය අඩුකරගත හැකියි.

 

සිදුකරන පරීක්ෂණ

එක්සේ රේ කිරණ පරීක්ෂණ භාවිතා කිරීමෙන් දණහිසේ අස්ථි අතර තිබෙන කාටිලේජ ප්‍රමාණය හා ගෙවීමේ ප්‍රමාණය ද දැක ගත හැකියි. සන්ධි ප්‍රදාහයක් නම් ESR & CRP වැනි පරීක්ෂණ කළ හැකියි.

 

ඊටත් අමතරව Rheumatoid Factor Test  කළ හැකියි. ඉන් පසු වෛද්‍යවරයාට තවදුරටත් දණහිස පිළිබඳ දැන ගැනීමට අවශ්‍ය වුවොත් MRI පරීක්ෂණයක් වුව සිදු කරනවා. එහි දී සියලු දත්තයන් දැක ගත හැකියි.

 

දුමින්ද අලුත්ගෙදර

උපුටා ගැනීම: ආරෝග්‍යා

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page