top of page

වැටීමකින් හිස ගෙඩි ගැහුණොත් මොකද වෙන්නේ?

 

පුංචි දුමිඳුව එයාගේ අම්මා සායනයට අරගෙන ආවේ කලබලයකින්. අනේ... ඩොක්ටර් දරුවා දුවගෙන යනකොට බිම වැටුණා. ඔලුව වැදිලා එතැන ලොකුවට ගෙඩි ගැහිලා. මේ ඇයගේ වචනයි. ඇත්තටම මේ අත්දැකීම අපි සැවොම අපගේ කුඩා දරුවන්ටත් සමහරවිට අපිටත් අත් දැක ඇති දෙයක්. මොකක්ද මේ එකපාරටම ඇතිවෙන 'ගෙඩිය' අද අපි ඒ ගැන කතා කරමු.

මේ 'ගෙඩි ගැසීම' ගැන කතා කරන්න ඉස්සර වෙලා අපි සාකච්ඡා කළ යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි, මේ හිසට සිදුවන අනතුර හා එහිදී ඇතිවන 'ගෙඩි ගැසීම' හා හිස්කබල තුළ පිහිටා ඇති 'මොළය' අතර සිදුවන බලපෑම ගැන ඇති කුතුහලයයි. රෝගීන් විසින් නඟනා පොදු ප්‍රශ්නයක් වන “අනේ ඩොක්ටර්... දරුවාගේ මොළයට මුකුත් බලපෑමක් නැතුව ඇති නේද? යන කාරණය මේ පිළිබඳව ඇති කුතුහලය මෙමඟින් පැහැදිලි කරනු ලබනවා.

ඒ නිසාම අපි මේ හිස, හිසකෙස්, හිස් කබල හා මොළයේ පිහිටීම ගැන මඳක් දැන ගනිමු. අපට මතුපිටින් පෙනෙන්නේ හිසකෙස් සහිත සමයි. (Scalp skin) මේ සමට යටින් ඉහි ලිහිල් ආකාරයට ඇති සම්බන්ධක පටක පිහිටා තිබෙනවා.

හිස් කබලේ සමහර ස්ථානවලදී මෙම කොටසේ 'මාංශ පේශි' පිහිටා තිබෙනවා. අපගේ හිසකෙස් සහිත 'සම' තරමක් විතර චලනයකට ලක් කරනු ලැබිය හැක්කේ මේ මාංශ පේශි නිසයි. ඉතිං මේ සමට යටින් ඇති මාංශ පේශිය නොමැති ස්ථානවල තිබෙන මාංශ පේශී එකිනෙකට සම්බන්ධ වන තරමක් තද පටකයක් (aponeurosis tissue) දක්නට ලැබෙනවා.

මෙම පටකයට යටින් හිස්කබල පිහිටා තිබෙනවා. මෙම පටකය හා හිස්කබල අතර ඉතාමත් ඉඩකඩ සහිත, බුරුල් සම්බන්ධක පටක සහිත අවකාශයක් දකින්නට ලැබෙනවා. අපගේ හිස්කබල මත ඇති සම, පහසුවෙන් එහා මෙහා චලනය කළ හැක්කේ මේ බුරුල්ව (Loose) පිහිටි පටක නිසයි. හිස්කබල මතුපිට එහි ආරක්ෂාවට තද තුනී පටලයක් පිහිටා තිබෙනවා.

ඒ වාගේම මේ හිස්කබලට ඇතුලතින් තවත් ආවරණ පටක තුනකින් ආවරණය වී මොළය පිහිටා තිබෙනවා. පාඨක ඔබට දැන් හිස කෙස් හා මොළය අතර ඇති ප්‍රදේශයේ ඇත්තේ මොනවාද කියා පැහැදිලි ඇති.

බිම වැටීමක් හෝ තදබල යමක් හිසට වැදීම නිසා හිස කෙස් සහිත සමට යටින් ඇති සියුම් රුධිර නාලවලට අනතුරු වී, සුළු රුධිර වහනයක් සිදු වෙනවා. සමට යටින් ඇති සම්බන්ධක පටකවල ඇති බුරුල් බව නිසා පහසුවෙන් හා වේගයෙන් රුධිරය එම ස්ථානයේ එකතු වෙනවා.

ඒ වාගේම සම්බන්ධක පටක, යටින් ඇති ප්‍රදේශයට සම්බන්ධ වී ඇති ආකාරය අනුව රුධිරය එකතු වීම එක් ප්‍රදේශයකට සීමා වෙනවා. ප්‍රතිඵලය වන්නේ අනතුරේ ප්‍රමාණය අනුව 'ගෙඩියක්' දකින්නට ලැබීමයි. ඒ කියන්නේ මේ 'ගෙඩිය' සෑදී ඇත්තේ එකතු වූ රුධිරය මඟිනුයි. 'ගෙඩිය' සෑදෙන්නේ ලේ ගැලීම මඟින් නිසා ඒ අවස්ථාවේදී අයිස් කැට තැබීමේ වරදක් නැහැ.

නමුත් විවිධ ආලේපන හා ක්‍රීම් වර්ග මතුපිට තුවාලයක් සිදු වී නැතිනම්, අවශ්‍ය වන්නේ නැහැ. මතුපිට තුවාලයක් ඇතිවිට පමණක් වෛද්‍ය උපදෙස් පරිදි ප්‍රතිජීවක ආලේපනයක් ගැල්වීම වරදක් නැහැ.

බොහෝවිට අපට දකින්නට ලැබෙන්නේ තරමක් කුඩා ප්‍රමාණයේ ගෙඩි ගැසීම් පමණක් වුවත්, මාංශ පේශි යා කරන පටලයක් වැනි තද පටකයට යටින් ඉතා බුරුල්ව ඇති ප්‍රදේශයේ රුධිරය ගැලීම ප්‍රමාණයෙන් වැඩි එකක් විය හැකි වනවා. මෙවිට හිස්කබලේ් වටකුරු ස්වරූපය විකෘති වීමත්, හිස්කබල අල්ලන විට 'ජෙල්' වැනි වතුර පිරුණු ස්වභාවයක් යුක්ත වීමක් දකින්නට ලැබෙනවා.

කුඩා දරුවකුගේ මෙම අවකාශය තුළ තරමක් වැඩිපුර රුධිරය එකතු වීම, තමන්ගේ කුඩා සිරුර තුළ ඇති කුඩා රුධිර ප්‍රමාණයට තදබල තර්ජනයක් නිසා වහාම වෛද්‍ය ප්‍රතිකාර හා නිරීක්ෂණය අවශ්‍ය වෙනවා. සමහර අවස්ථාවලදී හිස් කබල තුවාල වීම හෝ පිපිරීයාම නිසා හිස්කබල මතුපිට ඇති තද පටලය හා හිස්කබල අතර රුධිරය එකතු විය හැකි වෙනවා.

හිස් කබල, අස්ථි හෙවත් ඇට කැබලි කිහිපයකින් සෑදී ඇති නිසා රුධිරය එකතු වීමේ ප්‍රමාණය එම ඇට කැබැල්ල පැතිරී ඇති ප්‍රමාණයට සමානුපාත වෙනවා. මේ ආකාරයට තුන් ආකාරයක හිස්කබල මතුපිට රුධිර ගැලීම් දැකිය හැකි වුවත්, වඩාත් පොදුවේ දකින්නට ලැබෙන්නේ අපගේ එදිනෙදා ජීවිතයේදී අත් දකින සරල රුධිර එකතුවීම් හෙවත් 'ගෙඩි ගැසීම්' බව මතක තබා ගත යුතු වෙනවා.

ඒ වාගේම හිසට සිදුවුණු අනතුරකට පසුව විශේෂ කාරණා දෙකක් නිසා වෛද්‍ය උපදෙස් පැතිය යුතු වෙනවා. එනම් හිසෙහි සමට යටින් ඇති ලේ ගැලීම සරල එකක් ද, සංකීර්ණ එකක් ද යන්න නිරීක්ෂණය කර ගැනීමත්, හිස්කබල පිපිරීමක් කිසියම් ආකාරයකට සිදුවී හිස්කබල ඇතුළට හෙවත් මොළය පිහිටා ඇති ප්‍රදේශයට රුධිර එකතු වීමක් සිදුවී මොළයට හානියක් සිදුවනවා ද යන්න ගැන දැනගැනීමත් හා දරුවාට 'හිසට අනතුරු වූ පසුව කරණා නිරීක්ෂණය' (Head Injury Observation) සිදු කිරීම පිළිබඳ උපදෙස් ගැනීමත් යන කාරණා ගැන අවධානය යොමු කරවා ගැනීමයි.

ඒ වාගේම අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ මේ රුධිර කැටිය ඉබේම ශරීරය මඟින් උරාගෙන සුව වන බවයි. මේ නිසා ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැහැ.

කැටිය තරමක් විශාල වීම පසු කලෙක රුධිර කැටිය ඉවත් වීම සම්පූර්ණ නොවී 'කැල්සියම්' ලවණ තැන්පත් වී කුඩා ගැටිත්තක් ඉතිරි විය හැකි වෙනවා. ඒ වාගේම බාහිර තුවාලයක් හෝ වෙනත් කිසියම් හේතුවක් නිසා රුධිර කැටිය විෂබීජ මඟින් පැසවීමකට ලක් වුවහොත් එය සුළු ශල්‍යකර්මයකින් ශුද්ධ පවිත්‍ර කළ යුතු වෙන බවත් මතක තබා ගත යුතු වෙනවා.

 

වෛද්‍ය මහින්ද හේමප්‍රිය
ශික්ෂණ රෝහල, රාගම  

උපුටා ගැනීම: ආරෝග්‍යා

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page