top of page

අපස්මාර වලිප්පුව නිට්ටාවට සුව කළ හැකිද?

 

     තමන්ගේම හෝ පවුලේ කෙනෙක් කියා අඳුනන නාඳුනන කවුරුහරි කෙනෙක් සිහි නැතිවෙලා ඇදගෙන වැටුණොත්, හොඳ සිහියෙන් ඉන්න අපි මොනතරම් කලබල වෙනවද? කෙටියෙන්ම කියනවා නම්, අපිත් සිහිනැතිවෙලා ඇදගෙන වැටෙන ගාණට හිත දුර්වල වෙනවා.

ඒත්, අපි ඒ කලබල වෙලා කරන්නේ රෝගියාට අසාධාරණයක්. මොකද කෙනෙක් සිහි නැතිවෙලා වැටෙන කොට සිද්ධ වුණ දේ විතරක් නෙවෙයි, සිහිනැති වෙන්න කළින් ඉදලා ඊට පස්සේ අයෙක් හොඳ තත්ත්වයකට එනකල්ම සිද්ධ වෙන දේ ගැන අපි අවධානයෙන් අවබෝධයෙන් හිටියොත්, වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර ගන්න ගිය අවස්ථාවකදී රෝගියාට කඩිනම් නිසි ප්‍රතිකාර ලබා ගැනීම පහසු වෙනවා.

මෙවැනි වැදගත් කරුණු සමඟම Epilepsy හෙවත් අපස්මාර වලිප්පුව පිළිබඳ තොරතුරු ගෙන එන්නේ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ, මොළය සහ ස්නායු පද්ධතිය ආශි‍්‍රත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජනක වෛද්‍යසේකර මහතායි.

සාමාන්‍ය ජනතාව ඇතැම් රෝග පිළිබඳව වැරදි ආකල්පවල එළඹිලා සිටිනවා. හරි දේ නොදැන සිටීම බොහෝ අවස්ථාවල ලෙඩාටත් වෙදාටත් දෙන්නාටම කරදරයි. ෆිට් එක එහෙමත් නැතිනම් සිහිනැතිව ඇදවැටීම සමඟ වෙව්ලීම කියන්නේ වලිප්පුව කියලා බොහෝදෙනෙක් හිතනවා. නමුත් වරක් හෝ දෙවරක් සිහි නැතිව ඇදවැටීම වලිප්පුව නොවෙයි. කිහිපවරක්, වරින් වර, කාලෙන් කාලෙට සිහිනැතුව ඇදගෙන වැටීම හෝ සුළු වේලාවක සිහි මුර්ජා වී වෙව්ලීම අපස්මාර වලිප්පුවේ රෝග ලක්ෂණයක්.

ෆිට් එක හැදෙන්නේ, මොළයේ නිරන්තරයෙන් සිදුවන විද්‍යුත් ක්‍රියාකාරීත්වයේ අසාමාන්‍ය අක්‍රමවත් අවිධිමත් සිදුවීමක් නිසයි. සරල උදාහරණයක් කිව්වොත්, අතේ ඇඟිලි පහ විහිදී ඇති අන්දමට වයර් සම්බන්ධ කර විදුලිය සැපයුයේ යැයි සිතන්න. ඉන් එක් පේළියක විදුලිය ගමන් ගැනීමේ බාධකයක් අතර මඟ තිබූ විට, විදුලිය සම්බන්ධ කළ පරිපතය හෝ ප්‍රධාන මෙනුව විසන්ධි වෙයි. මිනිස් සිරුරේ මොළය ආශි‍්‍රත ක්‍රියාකාරීත්වය ද එපරිදිමයි.

අපස්මාර වලිප්පුව ලෙස නම් කරන රෝගයේ රෝග ලක්ෂණ

 

  • සිහි නැතිවීම (ඇතැමුන්ට සිහි නැති වීමක් සිදු නොවී එක තැන බලා සිටීම)

  • අතපය ගැහෙනවා

  • බෙල්ල පැත්තකට යාම

  • ඇස් උඩ යාම

  • අතපය දරදඩු වීම හෝ ඇඹරීම


මෙවැනි රෝග ලක්ෂණ ඇතිවීමට බලපාන හේතු අතරින්, හේතුවක් හඳුනාගත නොහැකි තත්ත්වයන් සහ හේතු හඳුනාගත හැකි තත්ත්වයන් තිබෙනවා.
      හඳුනාගත හැකි හේතු අතරින්,

 

  • උපදින අවස්ථාවේ ඇතිවන තත්ත්වයන්. ඔක්සිජන් සැපයීමේ ප්‍රමාදයක්, දුර්වලතාවයක් හෝ උපතේදී හිසට හෝ මොළයට සිදුවන බලපෑමක්.

  • මොළයේ ආබාධ සහිත දරු උපත්

  • මොළයේ උණ (මෙනින්ජයිටීස්)

  • මොළයට හෝ හිසට ඇතිවන අනතුරක් හෝ වෙනත් තත්ත්වයක් මත (ඖෂධ හෝ විෂබීජ) ඇතිවන අහිතකර බලපෑමක්.

  • වයස අවුරුදු 45ට වැඩි අයට ඇති වූ අංශභාග තත්ත්වයක්

  • මොළයේ ගෙඩි හෝ පිළිකාමය තත්ත්වයක්


මෙවැනි හේතුවල බලපෑම එකවර ඇති වී රෝග ලක්ෂණ පහළ වන්නේ නැහැ. ඇතැම්විට, උපතේදී ඇති වූ ඔක්සිජන් අඩුවීම නිසා ඇතිවන බලපෑම මතු කරන්නේ වයස අවුරුදු පහේදී හෝ අටේදී හෝ දහයේදී විය හැකියි.

මේ අතරේ තද උණ සමඟ ඇතිවන ෆිට් එක වලිප්පුව ලෙස හඳුන්වන්න බැහැ. 102ට වැඩි උණකදී ඒ ඒ දරුවන්ගේ හෝ වැඩිහිටියන්ගේ සිරුරේ වෙනස්කම් සමඟ ෆිට් එක ඇතිවීම හෝ ඇති නොවීම තීරණය වෙනවා. ඒ නිසා අපස්මාර වලිප්පුව සහ උණකදී ඇතිවන ෆිට් එක පටලවාගන්න එපා.

වරින් වර ෆිට් එක හැදෙන තත්ත්වයක් ඇත්නම් කඩිනමින් මොළය හා ස්නායු පිළිබඳ වෛද්‍යවරයෙකුට පෙන්වා පරීක්ෂා කරවා ගැනීමෙන් ප්‍රතිකාර නිසිලෙස ලබා ගැනීමටත්, නිට්ටාවට සුව කර ගැනීමටත් හැකියාව තිබෙනවා.

අපස්මාර වලිප්පුව ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත අනුව, ලොව පුරා මිලියන 50 කට වැළදී ඇති බව සොයාගෙන තිබෙනවා. මෙය සංවර්ධනය වෙමින් පවතින රටවල බහුලව දක්නට ලැබෙන නිසාත්, නිට්ටාවට සුව කර ගත හැකි නිසාත් අවධානයෙන් අවබෝධයෙන් සිටීම නිරෝගී වීමට හේතු වෙනවා.

අපස්මාර වලිප්පු රෝගීන් සියයට හැත්තෑවක්ම නිට්ටාවට සුව වන අතර ඉන් 50%ක් දිගුකාලීන ඖෂධ ප්‍රතිකාර වලිනුත් තවත් 20%ක් කෙටිකාලීන ඖෂධ ප්‍රතිකාරවලිනුත් සුව කළ හැකියි. ඉතිරි සියයට තිහක පිරිස සඳහා නව ප්‍රතිකාර ක්‍රම යොමුවීම් තිබෙන නිසා බිය විය යුතු නෑ. ලැජ්ජාව හෝ තමන්ට රෝගයක් තිබන බව කීමට මදිකම රෝගය වැඩිකර ගන්න හේතු වෙනවා. ලැජ්ජාව බිය හෝ මදිකම පසෙකලා ප්‍රතිකාර වෙත යොමුවීම හොඳම විසඳුමයි.

තවත් වැදගත්ම කාරණයක් වන්නේ, නිතර නිතර ෆිට් එක සෑදෙන පුද්ගලයින් සමඟ සිටින උදවියගේ මැදිහත් වීමයි. තමා අසළ සිටින පුද්ගලයා සිහිය නැති වී ඇදගෙන වැටුණහොත්, වැටුණු පුද්ගලයා පිළිබඳ පූර්ණ අවධානය යොමු කරන්න සිතට ගත යුතුයි.

ෆිට් එක සෑදුණු අයෙකු යන්ත්‍රයක් ළඟ හෝ දියර පහරක් ළඟ හෝ මහමඟ හෝ ඇද වැටුණහොත් ඔහුගේ හෝ ඇයගේ ජිවිතයට වන අවධානමෙන් වළක්වා ගැනීමට කටයුතු කළ යුතුයි. බිම ඇදවැටී ගැහෙන විට අත්පා වලට හෝ හිසට තුවාල ඇතිවන තත්ත්වයක් (තද සිමෙන්තියක, ගල් ගොඩක) තිබුණහොත් ඉන් වළක්වා ගැනීමට ක්‍රියාකළ යුතුයි.

ෆිට් එක සෑදුණු අයගේ ඇදුම් ලිහිල්කර ටයිපටි පළඳා ඇත්නම් ඒවා ගලවා බිම දිගා කර බෙල්ල පැත්තකට හරවා තැබීමට කටයුතු කරන්නේ නම් ඉතාම සුදුසුයි. ෆිට් එක වැළදුණ අයට කිසිම දියරයක් හෝ ආහාරයක් ලබා දෙන්න එපා. කටට හැඳි හෝ වෙනත් යකඩ හෝ දමන්න එපා.

ෆිට් එක හැදෙන්නට ආසන්න වේලාවේ රෝගියා කළ කී දේ, ගදක් සුවඳක් ගැන බඩගින්නක්, හිස කැක්කුමක් ගැන කීවේද යන්න පිළිබඳව දන්නේ නම් ඒ බව වෛද්‍ය උපදෙස්වලදී පවසන්න. දුකක් සතුටක්, බිය වීමක් තිබුණේ ද යන්න සහ වැටුණු ස්වභාවය වෙව්ලා ගැහුණු වේලාව නැවත සිහිය පැමිණීමේ ස්වභාවය ආදිය ද වෛද්‍යවරයා වෙත පැවසිය හැකි නම්, රෝග නිර්නය පිළිබඳ නිශ්චිත නිගමනයකට පැමිණීමට වෛද්‍යවරයාට පහසු වෙන බව මතක තබා ගැනීම වැදගත්.

සාමාන්‍ය ජනතාව වුවද, මහ මගදී සිහි නැතිවී ඇද වැටෙන අයෙකුට උදව්වක් උපකාරයක් කරන්නේ නම්, සිහි නැති වූ පුද්ගලයාගේ තොරතුරු සිහි නැති වී සිටි ස්වභාවය වෛද්‍යවරයාට ප්‍රකාශ කිරීමෙන් ජීවිතයක් බේරා ගැනීමට උපකාරී වූයේ යැයි සිතා සතුටුවිය හැකියි.

සමන්ති වීරසේකර

උපුටනය: ආරෝග්‍යා

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page