top of page

විදුරුමස් දියවීම හා පරිදන්ත රෝගය

 

පරිදන්ත රෝගය-

පරිදන්ත රෝගය වැළඳීම සඳහා ප්‍රධානතම හේතුව වන්නේ නිවැරදිව, ක්‍රමාණුකූලව දත් පිරිසිදු නොකිරීමයි. නිවැරදිව දත් නොමදීමේ හේතුව නිසා දත් මත දන්ත පත (Dental Plaque) තැන්පත් වීම සිදු වේ. එලෙස තැන්පත් වන දන්ත පත කාලයක් තිස්සේ විදුරුමස්වල පැවැතීම හේතුවෙන් එම විෂබීජ විදුරුමසේ විවිධ ආසාත්මිකතා වර්ධනය කිරීමට හේතු වේ. මෙම ආසාත්මිකතාවයන් කාලයක් තිස්සේ විදුරුමස් තුළ පැවතීම හේතුවෙන් විදුරුමස්වලට යටින් ඇති පරිදන්ත පටක වලට බලපෑමක් ඇති කරනු ලබයි.

 

පරිදන්ත පටක-

පරිදන්ත පටක යනු, දත ශරීරයට සම්බන්ධවන පටක වේ. මෙම පටක කොටස් කිහිපයකින් යුක්ත වේ.

එනම්,

* විදුරුමස (Gingival)

දන්ත මූල සිමෙන්තිය (Root cementum)

* පරිදන්ත කණ්ඩරා තන්තු (Periodantal Ligaments)

* දන්තධර අස්ථි (Alveolar Bone)

මෙම කොටස්වල ආසාත්මිකතා වර්ධනය වීම නිසා දත්මුල් දියවීම සහ පරිදන්ත රෝගය ඇති වේ. 

 

පරිදන්ත රෝගයේ ලක්ෂණ-

පරිදන්ත රෝගය වැළඳීම සිදුවන මුල් අවස්ථාවේ දී දත්මුල දන්ත පත (Dental Plaque) තැන්පත් වීම නිසා විදුරුමස රතු පැහැයට හැරෙන අතර මඳක් ඉදිමෙන ස්වභාවයක් ගනු ලබයි.

 

දෙවන අවස්ථාවේ දී පළමු තත්ත්වය වර්ධනය වීමෙන් දත් මැදීමේ දී දත් මුල් වලින් රුධිර වහනයක් සිදු වන අතර මද වේදනාවක් ද ඇති කරයි. දත් මුල්වල ඇති වූ දන්ත අෂ්මිය එනම් කෑම නිසා මැලියම් ඇති වී එය දත් මුල දෙපසට විහිදීම සිදු වේ.

 

තෙවන අවස්ථාවේ දී විදුරුමස දියවී යාම ආරම්භ වේ. දත් මුල්වල ඇති වූ දන්ත අෂ්මිය (මැලියම්) වර්ෂණය වීමෙන් දත් හා විදුරුමස අතර හිඩැසක් ඇති වේ. එසේ සිදු වන්නේ දත් හා පරිදන්ත කණ්ඩරා අතර ඇති සම්බන්ධය ඉවත්ව යාම නිසාවෙනි. මෙම අවස්ථාවේ දී දත් හිරිවැටීම සිදුවන අතර මුඛයෙන් දුගඳක් හැමීම සිදු වේ. විදුරුමස දැඩි ලෙස ඉදිමෙන අතර දත් සෙලවීමත් දත් මුල් වලින් දරුණු වේදනාවක් ඇති කරයි.

 

අවසාන අවස්ථාවේ දී දත් මුල් වලින් සැරව ගැලීම සිදු වේ. දැඩි වේදනාවක් ඇති කරයි. දත් මුල් දියවී යාම නිසා දත් නෙරා ඒමත් ඇදීමට ලක් වීමත් හේතුවෙන් දත් වැටීම සිදු වේ.

 

පරිදන්ත රෝගය සඳහා ප්‍රතිකාර-

පරිදන්ත රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමට පෙර මේ තත්ත්වය ඇති වූ මුල් අවස්ථාවේදීම එය වළක්වා ගැනීමට කටයුතු කිරීම් සුදුසු වේ. ඒ අනුව රෝග ලක්ෂණ ඇති වූ මුල් අවස්ථාවේ දී නිවැරදිව දත් පිරිසිදු කිරීම මඟින් මේ තත්ත්වය වළක්වා ගැනීමට හැකියාව ඇත.

 

නමුත් මේ තත්ත්වය වර්ධනය වුවහොත් සාමාන්‍ය දත් මැදීමේ ක්‍රමයක් මඟින් දන්ත අෂ්මිය (මැලියම්) ඉවත් කිරීමට අපහසු වේ. පරිදන්ත පත, මුල් අවස්ථාවේ දී මැද ඉවත් කළ හැකි වුවද එය කාලයක් තිස්සේ පැවතීමත් ඒවා ඝන තත්ත්වයටත් පත් වූ පසු දන්ත පත ඉවත් කිරීමට හැකියාව ඇත්තේ පළපුරුදු දන්ත වෛද්‍යවරයකු පමණකි. ඒ සඳහා ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් පරිදන්ත රෝගය වළක්වා ගැනීමට හැකියාව ලැබේ.

 

පරිදන්ත රෝගය නිසා ඇතිවන ආබාධ-

පරිදන්ත රෝගය ඇතිවීම නිසා දත් හැලී යාමට අමතරව බලපාන තවත් බරපතල කරුණක් වන්නේ රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කිරීමට ද අපහසුතා ඇති වීමය. මේ නිසා දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කළ ද පරිදන්ත රෝගය පවතින්නේ නම් රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කිරීමට අපහසු වේ. එමෙන්ම හෘද කිරීටක රෝග සඳහා ද පරිදන්ත රෝගය හේතුවන බව සොයාගෙන ඇත. එමෙන්ම පරිදන්ත රෝගය තවත් රෝග ගණනාවකටම හේතු වන බව පර්යේෂණ වලින් අනාවරණය වී ඇත.

 

මීට අමතරව, පරිදන්ත රෝගය නිසා දත් අහිමි වූ අවස්ථාවන් වලදී දන්තධර අස්ථි දිය වී යාම නිසා කෘත්‍රිම දත් පැළඳීමට ද අපහසුතා ඇති වේ.

 

"මුතුවන් දත් දෙපෙළක් - ලස්සන සිනහවක්" සැමදා ඔබ සුන්දර කරනු ඇත. මිනිසෙකුට සිය ආයු කාලය නිමා වන තෙක්ම ඔහුගේ දත් දෙපෙළ ආරක්ෂා කර ගත හැකි බව ඔබ දන්නවා ද? "දත් හැලී යාම වයසට යාමේ ක්‍රියාවලියක් වේ." යන මතය බැහැර කිරීමට කාලය දැන් එළඹී ඇත. දිවි ඇති තුරා දත් ආරක්ෂා කරගත හැකිය. මේ සඳහා නිවැරදි දන්ත සෞඛ්‍ය ක්‍රම භාවිතා කිරීම සඳහා පුරුදු වන්න.

 

 

සංරක්ෂණවේදය පිළිබඳ විශේෂඥ

දන්ත ශල්‍ය වෛද්‍ය,

පී.පලිපාන

එම්.එස්. (කොළඹ)

එම්.ඩී.එස්.(ශ්‍රී ලංකා)

එෆ්.ආර්.ඒ.සී.ඩී.එස්. (ඕස්ට්‍රේලියා)

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page