
දත් සුරැකීමට සීනි සහිත ආහාර පාලනය කරන්න
ඔබට චකිතයකින් තොරව කෙනෙක් සමඟ සිනහ විය හැකිද? ඇත්තෙන්ම බොහෝ දෙනෙකුට එසේ කළ හැකි නම් එය ඉතා වටිනේය. එහෙත් මේ සඳහා ඔබගේ මුව නිරෝගී විය යුතුවාක් මෙන්ම ගතද සිතද නිරෝගී විය යුතුමය. ඔබේ දත් දෙපෙළ රෝගී නම් ඔබ කෙනෙකු සමඟ මුව පුරා සිනාසෙන්නට තරමක මැලිකමක් දක්වයි. එමෙන්ම මනස පිරිසුදු නැතිනම් එයද ඔබගේ සිනහව ව්‍යාජ එකක් බවට පත් කරයි. ඔබ කායිකව රෝගී නම් ඔබට කෙනෙකු සමඟ සිනාසෙන්නට සිත් නොදෙයි. සැබවින්ම ඔබගේ කට පරිස්සම් කර ගන්නේ නම් බොහෝවිට ඔබ නිරෝගී කෙනෙකු කරයි. සුවබර සිනාවකට එය මඟපාදයි. ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් මුඛ සෞඛ්‍ය රැක ගැනීමේ වැදගත්කම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ දන්ත සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ දන්ත විශේෂඥ වෛද්‍ය ජේ. එම්.ඩබ්. ජයසුන්දර බණ්ඩාර මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
සෞඛ්‍ය යනු හුදෙක් ලෙඩ රෝගවලින් තොරවීමම නොවෙයි. කායික, මානසික, අධ්‍යාත්මික සහ සමාජීය යහපැවැත්ම හොඳ සෞඛ්‍ය තත්ත්වයක ලක්ෂණයි. ඕනෑම කෙනෙකුට සිනාසිය හැකියි. නමුත් ඒ සිනහව සුවබර වන්නට නම් ඉහත කාරණා හතර නිවැරදිව පවත්වා ගත යුතුයි. මුඛය යනු කෙනෙකුගේ සමස්ත සෞඛ්‍යයේ කැඩපතයි. කට හොඳින් පාලනය කරගන්නේ නම් සියලුම ලෙඩ රෝගවලින් මිදී සැපවත් ජිවිතයක් ගත කළ හැකියි.මුඛ සෞඛ්‍ය රැක ගැනීමේදී දත්වලට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. දත් හොඳින් රැකගැනීමට නම් ආහාර පාලනය කළ යුතුයි. විශේෂයෙන්ම පැණි රස කෑම ගැනීම ඉතාම විනයකින් කළ යුතුයි. සීනි තිබෙන (චොකලට්) හෝ සීනි සෑදෙන ආහාර (පාන් පිටිවලින් තැනූ ආහාර) පාලනය කිරීම ඉතාම වැදගත් වෙනවා. එමෙන්ම පැණි බීම වැනි බීම වර්ග ද පාලනය කළ යුතුයි. යම් කෑමක් ගත් පසු නැවත කෑමක් ලබාගත යුත්තේ පැය තුනක්වත් ගත වීමෙන් පසුයි. පැණි රස කෑම දත්වලට ඉතාම අහිතකර ලෙස බලපානවා. පැණි රස කෑමවල ඇති සීනි මුඛයේ ඇති බැක්ටීරියා මඟින් අම්ල බවට පත් කරනවා. අම්ලවල කැල්සියම් දියවීම සිදුවෙනවා. මේ නිසා කැල්සිහරණය සිදු වෙනවා. මේ ක්‍රියාවලිය නිසා දත් දිරායාම ඉක්මන් වෙනවා. නමුත් මුඛයේ ස්වභාවිකව පවතින කෙළ මඟින් මුඛයේ සෑදෙන අම්ල සෝදා හරිනවා. එසේ සෝදා හැරීම නිසා මුඛයේ ආම්ලිකභාවය අඩු වී කෙලවල පවතින කැල්සියම් නැවත එනමලය මත තැන්පත් වෙනවා. මෙහිදී සිදුවන්නේ ප්‍රති කැල්සි භවනයයි. දත් මැදීම සඳහා ෆ්ලෝරයිඩ් භාවිතා කිරීමට දන්ත වෛද්‍යවරු උපදෙස් දෙන්නේ, ෆ්ලෝරයිඩ්වලින් දත් මැදීම නිසා කෙලවල රැඳී තිබෙන ෆ්ලෝරයිඩ් අයන කැල්සියම් අයන සමඟම එනමලයේ තැන්පත් වෙනවා. ෆ්ලෝරයිඩ්වලින් එනමලය ශක්තිමත් වනවා යැයි පවසන්නේ මේ හේතුව නිසයි. නමුත් නිතර නිතර ආහාර ගැනීම නිසා කැල්සිහරණය සිදුවීම හේතුවෙන් දත්වල එනමලය දුර්වල වෙනවා. මේ නිසා එනමලය කැඩී බිදී කුහර ඇතිවෙනවා. මේ කුහරවල තවදුරටත් කෑම තැන්පත් වීමෙන් දත් දිරායාම වැඩිවෙනවා. මේ සඳහා ඇති එකම විසඳුම පැණි රස ආහාර පාලනය, නිතර නිතර ආහාර නොගැනීම සහ ෆ්ලෝරයිඩ් වලින් දත් මැදීමයි.
මුඛයේ ඇති බැක්ටීරියා නිසා මැලියම් හැදෙනවා. මුඛයේ පවතින මේ බැක්ටීරියා සාමාන්‍යයෙන් ව්‍යාධිජනක නැහැ. එහෙත් බැක්ටීරියාවල ජීව ක්‍රියාවලීන් නිසා ඇතිවෙන රසායනික ද්‍රව්‍යවල සිදුවන ප්‍රතික්‍රියා හේතුවෙන් විදුරුමසෙහි ප්‍රදාහය ඇති වී ඉදිමීම ලේ ගැලීම සිදුවෙනවා. මේ තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට නම් මුඛය සෑම විටම පිරිසුදුව පවත්වාගෙන යා යුතුයි. මෙහිදී ආහාර ගැනීමේ රටාව පාලනය කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. කෑම ප්‍රමාණය මෙන්ම කෑම හෝ බීම, වේල් දෙකක් අතර පරතරය පැය 03ක් වීම වැදගත් වන්නේ මේ නිසයි. ඒ වගේම උදෑසන මෙන්ම රාත්‍රී නින්දට පෙර දත් හොඳින් මැදීම කළ යුතුයි. එහිදී දතේ සෑම මතුපිටක්ම මැදෙන ලෙස දත් මැදීම කළ යුතුයි. මැලියම් බැදීමට ඉඩ ඇති සෑම තැනක්ම මැදිය යුතුයි. බොහෝවිට විදුරුමස අග සහ දත්වල මතුපිට මැලියම් වැඩිපුර බැඳෙනවා.අනුමැතිය සහිත දන්තාලේපයක් භාවිතා කරමින් නිවැරදිව සකස් කළ දත් බුරුසුවකින් දත් මැදීම කළ යුතුයි. මෙහිදී දන්තාලේප දත් බුරුසුවකට ගත යුතු වන්නේ වැඩිහිටි අයෙකු නම්, කඩල ඇටයක ප්‍රමාණයක් පමණයි.
ගැබිනි සමයේ සිටම දරුවාගේ දත් ගැන විමසිලිමත්වන්න.
දරුවන්ගේ දත් රැකගැනීම ඉතාම වැදගත් වෙනවා. සුවපත් මුවක් තුළින් ටිකිරි සිනා දැක ගන්න නම් මවුපියන් දරුවාගේ දත් ගැන හොඳ සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා. දරුවාගේ දත් පිළිබඳ ගර්භණී සමයේ සිටම සැලකිලිමත් විය යුතුයි. මවගේ මුඛ සෞඛ්‍ය යහපත් නම් ඇයට දාව උපදින දරුවාගේ ද මුඛ සෞඛ්‍ය යහපත් වෙයි. දරුවාගේ කිරි දත් හා ස්ථීර දත් වර්ධනය ආරම්භ වන්නේ මවු කුස තුළදීමයි. මේ නිසා දරුවකු කුස පිළිසිඳ ගත් දා සිට මවක් පෝෂ්‍යදායි ආහාර රටාවක් ඇති කරගත යුතුයි
පැණි රස සහ ඇඹුල් සහිත ආහාර ගැනීම අඩු කිරීම
* සෑම ප්‍රධාන හා කෙටි ආහාර වේලකටම පසු ජලය පානය කිරීම
* වමනය යාමෙන් පසු හෝ ඇඹුල් සහිත ආහාර ගැනීමෙන් පසු මුව හොඳින් සේදීම
* දිනපතා උදෑසන හා රාත්‍රී නින්දට පෙර ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දත් මැදීම
* දත් මෙන්ම විදුරුමස දාරය හා දිව පිරිසුදු කිරීම
* හැකි ඉක්මනින් මුඛ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක්වීමත් කළ යුතුයි.
දරුවා බිහිවීමෙන් පසු දරුවාගේ දත් ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත් වෙනවා. දරුවාගේ නිවැරදි වචන උච්චාරණයට, ආහාර හොඳින් සැපීමට ස්ථිර දත් ක්‍රමවත්ව මතුවීමට මෙන්ම දරුවාගේ නිරෝගී වර්ධනයටත් පියකරු සිනහවකටත් දත් උපකාරී වෙනවා.
දරුවා බිහිවීමෙන් පසු ....
මුල්ම කිරිදත දරුවෙකුට මාස 6 -9 කාලයේදී ඉදිරිපසින් මතුවෙයි.
මේ දින සිට දරුවාගේ දත් මැදීම ආරම්භ කළ යුතුයි. පිරිසුදු තෙත රෙදි කැබැල්ලක් මේ සඳහා යොදා ගත හැකියි. දිනකට දෙවරක් දත් සහ දිව පිරිසුදු කිරිම වැදගත් වෙනවා.
කිරි දත් වේගයෙන් දිරායාමට ඉඩ තිබෙනවා. මේ නිසා දරුවාගේ දත් මවුපියන් නිතර පරීක්ෂා කළ යුතුයි.
දත් දිරායාමේ මූලික ලක්ෂණ වන දත් මතුපිට සුදු හෝ දුඹුරු පාට ලප මතු වූ වහාම දන්ත ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වෙනවා. අඩුම තරමින් දරුවාගේ දත් මාස 6කට වරක් වත් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරවාලීමද ඉතාම වැදගත් වෙනවා.
දරුවාට මාස 10 - 12ක් පමණ වනවිට මෘදු කෙඳි සහිත කුඩා හිසක් සහිත දත් බුරුසුවකින් දන්තාලේප නොමැතිව දත් මැදීම කළ යුතුයි.
දරුවාට වයස අවුරුද්දයි මාස 06 සිට අවුරුදු 02 දක්වා වනවිට ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් දත් බුරුසුවේ යාන්තම් තවරා දත් මැදීම කළ යුතුයි.
දරුවාට වයස අවුරුදු 2 -6ත් වනවිට ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප කුඩා කඩල ඇටයක පමණ ප්‍රමාණයක් දත් බුරුසුවේ තවරා දත් මැදීම කළ යුතුයි. දරුවාට වයස අවුරුදු 5ක් පමණ වන තෙක් වැඩිහිටියෙකු විසින් උදෑසන සහ රාත්‍රී නින්දට පෙර දරුවාගේ දත් මැදීම කළ යුතුයි.
දැන් දරුවාට තනිවම දත් මදින්න දෙන්න
ක්‍රමයෙන් වැඩෙන දරුවාට තනිවම දත් මැද ගැනීමට ඉඩ ලබා දෙන්න. පළමු ස්ථීර දත් රැක ගැනීම වැදගත් නිසා දත් මැදීම හක්කේ සිට ආරම්භ කරන්නට උපදෙස් ලබා දෙන්න.
උදෑසන සහ රාත්‍රී නින්දට පෙර දත් මැදීම දිනපතා පුරුද්දක් ලෙස පවුලේ සැවොම එක් වී කරන්න.
දරුවාට නිසි ආහාර රටාවක්
දරුවාගේ දත් ආරක්ෂා කර ගැනීම සඳහා නිසිආහාර රටාව ද වැදගත් වෙනවා. නිතර නිතර ආහාර ගැනීම වෙනුවට නිවැරදි හා ස්ථීර ආහාර රටාවකට දරුවා හුරු කරවන්න. දරුවාට පැණි රස හඳුන්වා දීම හැකිතාක් පමා කිරීම ද වැදගත් වෙනවා. එමෙන්ම ඇලෙන සහ පැණි රස ආහාර හා බීම වර්ග නිතර නිතර ගැනීම ද නොකළ යුතුයි. දත්වලට අහිතකර පැණි රස කෑම, පැණි බීම හා පිටි සහිත ආහාර ප්‍රධාන කෑම වේල්වලට පමණක් සීමා කරන්න. ඒවා ගත් වහාම කට සෝදා දමන්න. ගන්නා වාර ගණන අඩු කරන්න. පැණි රස සහිත ආහාර වෙනුවට පලතුරු ආහාරයට ගන්න. පිටි සහිත ආහාර වෙනුවට බැදපු කඩල, තම්බපු කඩල, රටකජු සහ කඩල පිටිවලින් සෑදූ ආහාර ගන්න.
දත් හා විදුරුමස් වර්ධනයට අවශ්‍ය පෝෂක අඩංගු කිරි ආහාර සහ එළවළු, පලතුරු, හාල් මැස්සන් වැනි කුඩා මාළු ආහාරයට එක්කර ගන්න.
දත් රැකගන්න මේවායින් ඈත්වන්න
* ඇලෙන සුළු, පැණි රස සහ පිටි සහිත ආහාර.
* මත් වතුර හා මත්ද්‍රව්‍ය.
* දුම්කොළ සහ දුම්වැටි භාවිතය.
* බුලත්විට.
* පුවක් හෝ පුවක් පැකට් වර්ග.
දත්වලින් අනවශ්‍ය හා නුසුදුසු ක්‍රියා කිරීම. යන කරුණුවලින් ඈත්වීම ඔබගේ දත් දෙපෙළ ආරක්ෂාවට බෙහෙවින් ඉවහල් වෙනවා. දත යමක තදින් වැදුණු විට වහා ප්‍රතිකාර සඳහා යොමු වීමත්, වසරකට වරක් වත් දන්ත වෛද්‍යවරයෙකු හමු වී මුඛ සෞඛ්‍ය පරීක්ෂා කරවා ගැනීමත් ඉතා වැදගත් වෙනවා.
ඔබේ මුඛයත් මේ වගේද?
* දත් දිරායාමේ මුල් සහ පසු ලක්ෂණ වලින් තොරවීම.
* නිරෝගී විදුරුමස.
* නිරෝගී මුඛ ශ්ලේෂ්මල පටලය.
* දුගදින් තොර මුව.
* දත් දුර්වර්ණයෙන්ගෙන් තොරවීම.
* දත්වල විකෘතිතා නොමැති වීම.
* කැඩී බිඳී ගිය දත්වලින් තොර මුව.
මෙවැනි මුවක් සහිත නම් පමණක් ඔබටත් සුවබර සිනාවකට උරුමකම් කිව හැකියි.
හැමදාම ජීවිතයේ සතුටින් සිටින්නට නම් ඔබේ මානසික, කායික සුවයත් මුඛය හොඳ සෞඛ්‍ය තත්ත්වයක පවත්වා ගැනීමත් ඉතාම වැදගත් වෙනවා.
විශේෂ ස්තූතිය සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයට
දුමින්ද සම්පත්