top of page

මධ්‍යසාර  නොගන්නා අයටද වැළඳිය හැකි Non Alcoholic “සිරෝසීස්”

 

 

 අධිකව පානය කිරීම නිසා Liver එකේ (අක්මාවේ) ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් ගැනයි. මත්පැන්, අක්මාව අකර්මන්‍ය වීමට බලපාන ප්‍රධානතම සාධකයක් බව ලොව පිළිගත් මතයයි. මත්පැනට ලොල්වීම නිසා ඇති වන්නාවූ “සිරෝසීස්” තත්ත්වයෙන් ඇතැම් ජීවිත පවා බිලිගන්නේ මත්පැන්වල අදීනව කියා පාමිනි.

නමුත් “සිරෝසීස්” තත්ත්වය ඇතිවීමට මත්පැන් පමණක් හේතුවක් වන්නේ නැත. වෙනත් රෝග කිහිපයක් ද එයට නෑකම් කියයි. මත්පැන් භාවිතයෙන් තොර වූවන්ටත් සිරෝසීස් ඇතිවීම පිළිබඳ වෛද්‍යවරුන්ගේ අවධානය යොමු වී ඇත්තේ මෙම රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ ප්‍රතිශතය මෑත භාගයේ සංඛ්‍යාත්මක වශයෙන් වැඩි වී ඇති බැවිණි. මෙම රෝගය වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ Non Alcoholic “සිරෝසීස්” යනුවෙනි. බොහෝවිට මෙම රෝගය පිළිබඳව ඇඟිල්ල දිගුවන්නේ පෘෂ්ඨිමත් කාන්තා පක්ෂය වෙතය. ලංකාව වැනි රටක මධ්‍යසාරය භාවිතා කරන්නේ කාන්තාවන් නොව පිරිමින් බව අපි කවුරුත් දන්නා කරුණකි. එසේ නම් කාන්තාවන්ටත් “සිරෝසීස්” ඇතිවන්නේ ඇයි ද යන්න ගැටලු සහගත තත්ත්වයකි.


මේ පැනයට පිළිතුරු ලබා ගැනීමට අප යොමු වූණේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ ද සිල්වා මහාතා වෙතයි.

 

මධ්‍යසාරයෙන් තොර සිරෝසීස් හෙවත් Non Alcoholic සිරෝසීස් තත්ත්වයට බලපාන මූලිකම හේතුව අක්මාවේ මේදය අනවශ්‍ය ලෙස තැන්පත් වීමයි. එය හඳුන්වන්නේ Fatty Liver ලෙසයි. දැනට වසර 10-20 කට පමණ කාලයක සිට අක්මාවේ තෙල් තැන්පත් වීමේ ප්‍රවණතාවය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. මේ Fatty Liver තත්ත්වය ක්‍රමයෙන් හිස එසවීම ඔබ අප සැමගේ ජීවිතවලට අනතුරු හැඟවීමේ පූර්ව ලක්ෂණයක් බව පැවසිය හැක.

මධ්‍යසාරයෙන් තොරව “සිරෝසීස්” ඇතිවන ආකාරය

අක්මාවේ සිදු කෙරෙන කාර්ය භාරයන් අතර පරිවෘත්තිය ක්‍රියාවලිය ප්‍රධාන තැනක් උසුලයි. අප ගන්නා ආහාරවල ඇති කාබෝහයිඩ්‍රේට්, මේදය, සීනි මේ සියල්ල පරිවෘත්තිය ක්‍රියාවලියට භාජනය වීමෙන් පසු අතිරික්තය මේදය ලෙසට තැම්පත් වේ. මේ මේදය සංචිත කර ගබඩා කර තබන්නේ අක්මාවේදීය. යම්කිසි කාර්යයක් සිදු කිරීමේදී ශක්තිය වැය කිරීමට මේදය අවශ්‍ය බැවින් අක්මාවේ තැන්පත් කර ගන්නා වු මේද අතිරික්තය සිරුරට අවශ්‍ය වූ විට ලබාදීම අක්මාවේදී සිදුකෙරේ. මිනිසාගේ පරිනාමයත් සමඟ මිනිස් සිරුර නැමැති යාන්ත්‍රණයේ මේ සන්සිද්ධිය නොකඩවා සිදු වෙමින් පවතී. මේ මේද අතිරික්තය නිසා ආහාර නොගෙන දින දෙක තුනක් හෝ අපගේ දෛනික කාර්යයන්හි යෙදෙමින් වැඩ කිරීමට අපට හැකියාවක් ඇතිවන අයුරින් මේ විස්මිත වූ මිනිස් සිරුර නිර්මාණය වී ඇත.

එබැවින් අක්මාව තමාට පැවරුණ වගකීම් අතුරින් එකක් වන සිරුරේ මේද අතිරික්තය ගබඩා කිරීම අකුරටම ඉටු කරයි. වසර දස දහස් ගණනක් ජිවත් වූ මුතුන් මිත්තන් ලබාගත් ආහාර ප්‍රමාණයට සමගාමීව කය වෙහෙසා වැඩ කටයුතු කරමින් අය වැය එක හා සමබරව පවත්වාගෙන ජීවත් වූ හෙයින් වර්තමානයේ ඔබ අපට මුහුණ දීමට සිදුවන Fatty Liver තත්ත්වයන්ට ඔවුන්ට මුහුණ දීමට සිදුවූයේ නැත. ඔවුන්ගේ ජිවිතයට අවශ්‍ය ශක්තිය ලබා දී නිරෝගීව ජීවත් වීමට ලබා දුන් අතිරික්ත මේදය වර්තමාන පරපුරේ ජීවිතවලට රතු එළිය හඟවන සංඥාවක් බවට පත් වී ඇත. ඇත්ත වශයෙන්ම මේ රතු එළි සංඥ අප වෙත එල්ල වන්නේ අපගේම වරදිනි.

ව්‍යායාම් මදිකම කය වෙහෙසීමෙන් තොරවූ ජීවන රටාව ඉවක් බවක් නොමැතිව කැලරි අධික ආහාර ගැනීම නිසා මිනිස් සිරුරේ යාන්ත්‍රණය උඩු යටිකුරු කරන තත්ත්තවයට පත් වී ඇත. එබැවින් කාර්ය ශක්තිය ලබාදීම සඳහා තැන්පත් කර තිබෙන මේද අතිරික්තය වර්තමානයේ අප රෝගීන් බවට පත් කරවන සාධකය වී ඇත. මේදය අධික ලෙස අක්මාවේ තැන්පත් වීම හඳුන්වන්නේ Fatty Liver ලෙසිනි. නමුත් අක්මාවේ මේදය තැන්පත් වීම රෝගයක් ලෙස නොසැලකෙන්නේ එය සිරුරේ ස්වභාවික යාන්ත්‍රණයේ කොටසක් වන බැවිණි.

Fatty Liver තත්ත්වය ඇතිවන්නේ මේ අයටයි
දිනකට පැය 7 - 8ක් එකතැන වාඩි වී වාහනවලින් පමණක් ගමන් බිමන් කරන මීටර් 200ක් වත් දිනකට ඇවිදීමක් නොකරන චයිනීස් ආහාර, ක්ෂණික ආහාර, පේස්ටි‍්‍ර, ෂෝටීට්ස්, junk food නැමැති අධි කැලරි ප්‍රමාණයකින් යුත් ආහාරවලින් බඩ පුරවා ගන්නා රූපවාහිනි තිරය ඉදිරි පිටවීම පැය ගණන් ටෙලිනාට්‍ය රස කරමින් බලන, මෙහෙකරුවන් ලවා අතට පයට වැඩ කරවා ගන්නා, නෝනලා මහත්වරුන්ට Fatty Liver තත්ත්වයට මුහුණ දීමට සිදු වේ. වර්තමානයේ මිනිසා විසින් කැලරි වැයකොට කළ යුතු කාර්යන් භාර දී ඇත්තේ යන්ත්‍ර සූත්‍ර (මැෂින්) වලට නිසා අවාසිය සිදු වන්නේ ද මිනිසාටමය. විශේෂයෙන්ම ස්ථුල පෘෂ්ඨිමත් මෙන්ම උදරය මහත උදවිය මේ ගනයට අයත් අය වෙති.

මෙලෙස තැන්පත් කරගත් මේදය වැය කිරීමට අවශ්‍ය කාර්යයන්හි නොයෙදීම නිසා ඔවුන් ක්‍රමයෙන් තරබාරු (Obesity) පුද්ගලයන් බවට පත් වේ. විශාල උදරයක් සහිත තරබාරු සිරුරකට හිමිකම් කියන පුද්ගලයන්ට ස්ත්‍රී - පුරුෂ භේදයකින් තොරව අක්මාවේ මේදය වැඩි වශයෙන් තැන්පත් වීම නොවැළැක්විය හැකි කරුණකි. තරබාරු සිරුරේ පමණක් නොව වැරදි ජීවන රටාවකට හිමිකම් කියන සිහින් සිරුරක් හිමි අයට ද හිමිවන්නේ ද මේ ඉරණමය. කණගාටුවෙන් වුවද පැවසිය යුත්තේ ඔබ තරබාරු නම් ඔබ පෙළෙන්නේ. Fatty Liver තත්ත්වයෙන් පමණක් නොවන බවය. තවත් මාරක කපොලු කීපයක් ඔබ වටා සැරිසරනු ඇත. ඒවා නම්, අධි රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීම, II වැනි කාණ්ඩයේ දියවැඩියාව සහ Fatty Liver තත්ත්වයයි. මේ සියල්ල එකට නෑකම් කියන එක දම්වැලක පුරුක මෙන් එකට සම්බන්ධ වී තිබෙන රෝගයන්ය. මෙය හඳුන්වන්නේ මෙටබොලික් සින්ඩ්‍රෝම් (Metabolic Syndrom) යනුවෙනි. වර්තමානයේ ලෝකයේ ජනගහනයෙන් බොහෝ දෙනෙකු මේ රෝග තත්ත්වයට ගොදුරු වී ඇත. බෝ නොවන රෝග ගනයට අයත් මේ රෝගවලින් කිසිවක් තනිවම වැළඳෙන්නේ නැත. මෙයින් එක් රෝගයක් තිබේ නම් ඉතිරියෙන් එකක් හෝ අනිවාර්යෙන්ම වැළඳේ. සිරෝසීස් තත්ත්වය උග්‍ර වී එසේත් නැතිනම් අක්මාවේ පිළිකා තත්ත්වයකට පත් වී රෝගීන් මිය යාමට කාලයක් ගත වූවද Fatty Liver තත්ත්වයේ සිටින රෝගීන්ට කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, දියවැඩියාව තිබීම හේතු කොට වයස් ගත වීමට පෙර ජීවිතයෙන් සමුදීමටත් අංශභාග වැනි රෝග ඇති වීමට තිබෙන අවකාශ බොහෝය.

Fatty Liver තත්ත්වයේ සිට සිරෝසීස් තත්ත්වය දක්වා අක්මාව අකර්මණ්‍ය වීම අදියර කිහිපයකින් යුක්තය. ප්‍රථමයෙන් අක්මාවේ සුළු වශයෙන් මේදය තැන්පත්වේ (Simple Fatty Liver) මෙම අවස්ථාවේ අක්මාවට කිසිදු හානියක් නොවේ. දෙවැනි අදියරේ මේදය අඩු මට්ටමේ සිට වැඩි මට්ටමක් දක්වා වැඩි වී හෙපටයිටීස් තත්ත්යක් (අක්මා ප්‍රදාහය) ඇති වේ.

මෙම අවදිය Non Alcoholic Steatohepatitis (NASH) තත්ත්වය ලෙස නම් කෙරේ. පසුව සිරෝසීස් තත්ත්වයට පත් වේ. මේ
තත්ත්වය වනවිට ක්‍රමයෙන් උදරය ඉදිමීමට ලක් වේ. අවසානයේදී අක්මාවේ පිළිකාමය තත්ත්වයක් දක්වා ද රෝගය ව්‍යාප්ත වේ.

සුළුවෙන් පටන් ගත් Fatty Liver මුලදීම වළක්වා නොගත් නිසා සිරෝසීස් තත්ත්වය දක්වා වැඩිදුරටත් වර්ධනය වීම සිදු වේ. සිරෝසීස් රෝගීන් බහුතරයකට අක්මාවේ පිළිකාමය තත්ත්වන් ඇති වීමට ඉඩ ඇත. අවසානයේදී පිළිකා නිසා පමණක් නොව සිරෝසීස් උග්‍ර තත්ත්වයට පත් වීමෙන් ද ජීවිතයට සමු දෙන්නට ඔවුන්ට සිදු වේ.

රෝග ලක්ෂණ
කිසිදු රෝග ලක්ෂණයක් Fatty Liver තත්ත්වයේදී පෙන්නුම් නොකිරීම මෙම රෝගයේ ඇති භයානක තත්ත්වයයි. එබැවින් රෝගියා නොදැනුවත්වම අක්මාව අකර්මන්‍ය වීමට ඉඩ ඇත. වෙනත් රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරයකු මුණ ගැසුණු අවස්ථාවකදී හෝ උදරය අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයට භාජනය කිරීමකදී Fatty Liver තත්ත්වය හඳුනාගත හැකි අතර සහ ලීවර් එන්සයිම පරීක්ෂාවට ලක් කරන SGOT/SGPT පරීක්ෂණයේදී ලීවර් එන්සයිම ප්‍රමාණය වැඩි වීමෙන් ද මෙම රෝගය හඳුනාගත හැක. ඇතැම් රෝගීන්ට උදරයේ දකුණු පැත්තේ ඉහළ කෙළවරක් (අක්මාව පිහිටි තැන) සුළු වේදනාවක් ඇති වේ. අක්මාව ඉදිමීම නිසා උදරයේ අපහසුතාවයක්ද, බඩ පුරවා දැමීමක් ද සිදු වේ. වෛද්‍යවරයකු විසින් අක්මාව පිහිටා ඇති ස්ථානය තද
කිරීමෙන් රෝගියාට වේදනාවක් දැනෙන අතර අක්මාව ඉදිමී ඇති බව වෛද්‍යවරයාගේ අතට අසු වේ. එවිට වෛද්‍යවරුන් රෝගියා ලීවර් එන්සයිම පරීක්ෂාවට ලක් කර SGOT/SGPT පරීක්ෂණය සිදු කරයි. එහිදී ලීවර් එන්සයිම වැඩි වීම නිසා Fatty Liver තත්ත්වයෙන් පෙළෙන බව තව දුරටත් තහවුරු වේ.

ප්‍රතිකාර
Fatty Liver රෝගයක් නොවන බැවින් එයට ප්‍රතිකාර නොමැත. නමුත් Fatty Liver තත්ත්වය අවම නොකිරීමෙන් සිරෝසීස් තත්ත්වයත් අවසානයේදී අක්මාවේ පිළිකාමය තත්ත්වය දක්වා රෝගය ව්‍යාප්ත වේ. ප්‍රතිකාර ලෙස රෝගීන්ගේ ජීවන රටාවේ සහ ආහාර රටාව සම්පූර්ණයෙන්ම වෙනසකට භාජනය කළ යුතුය. අක්මාවේ තැන්පත් වූ මේදය දහනය කිරීමට ව්‍යායාම් කළ යුතු අතර බර අඩුකර ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. අතිරික්ත කැලරි දහනය කර ගැනීම සඳහා කය වෙහෙසා වැඩකටයුතු කිරීමත් දිනපතා ව්‍යායාම් කිරීම ද කළ යුතුය. අධි කැලරි ප්‍රමාණයකින් යුත් ක්ෂණික ආහාර සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතුය. වැඩිපුර ආහාර (සීනි, පිටි, තෙල්) ගැනීම නවතා දැමිය යුතුය. හැකිතාක් තන්තුමය ආහාර වන එළවලු වර්ග පලතුරු වර්ග වැඩිපුර ආහාරයට ගත යුතුය. ව්‍යායාම් සමඟ ආහාර පාලනයෙන් Fatty Liver මූලික අදියරේදී මඟහරවා ගත හැක. නොකඩවා ව්‍යායාම් හා ආහාර පාලනය කළ යුතුය. එසේම රෝගියා Non Alcoholic Steatohepatitis (NASH) ත්ත්වයට පත් වී තිබේ නම් එයද ව්‍යායාම් කිරීමෙන් සහ ආහාර පාලනයෙන් වළක්වා ගත හැක. නමුත් සිරෝසීස් තත්ත්යට පත් වී ඇත්නම් තත්ත්වය බරපතල වේ. සිරෝසීස් තත්ත්වය ව්‍යායාම් වලින් ආහාර පාලනය වළක්වා ගත නොහැක.

සිරෝසීස් තත්ත්වයේදී ඔබට මුහුණ දීමට සිදුවන සංකූලතා
අක්මාවේ සෛල මිය ගොස් ඒවා තන්තුමය තත්ත්වයට සහ ගැටිති Nodule තත්ත්වයට පත් වේ. එවිට අක්මාවේ ව්‍යුහය විකෘති වී ක්‍රියාකාරීත්වය අඩපණ වීමට පටන් ගනී. යාකෘතික ප්‍රතිහාර ශිරාවේ පීඩනය (ප්‍රෙෂර්) වෙනස් වේ. එවිට අක්මාවේදී සිදුවන කාර්්‍යයන් කිසිවක් සිදුවන්නේ නැත. එවිට රුධිර නාල ඉදිමීමකට ලක් වේ. අක්මාවද ඉදිමේ අනතුරුව රුධිර නාල පුපුරා රුධිරය පිටවීමට පටන් ගනී. එවිට වමනය මඟින් හා මළපහ මඟින් රුධිරය පිට වේ. උදරයට සහ පාදවල දියර පිරීම සිදු වේ. ඇතැම්විට මෙම දියරවලට බැක්ටීරියා ඇතුල් වී බැක්ටීරියා ආසාදන සිදුවිය හැක. එවිට සංකූලතා මතු වී රෝගීන් මිය යා හැක. සිරුරේ විෂහරණ ක්‍රියාවලිය සිදුවන්නේ අක්මාවෙනි. නමුත් අක්මාව අක්‍රීය වීමේදී විෂහරණ ක්‍රියාවලිය අඩාල වී එයින් ඇතිවන ඇමෝනියා නිසා ස්නායු පද්ධතියට සහ මොළයට බලපෑම් ඇති කරන එන්කෙපලෝපති තත්ත්වය ඇති වී සිහිමද ගතියත්, කෝමා තත්ත්වයක් ද ඇතිවිය හැක. එසේම වකුගඩු අක්‍රිය වීමට තිබෙන ඉඩකඩ ද බොහෝය. සිරෝසීස් රෝගීන්ගේ අක්මාව අකර්මන්‍ය වී තිබෙන ප්‍රමාණය අනුව ඔවුන්ගේ ජීවිත අවදානම ද වැඩි වේ. එබැවින් වැරදි ජීවන රටාවෙන් හා වැරදි ආහාර රටාවෙන් මිදී දිනපතා ව්‍යායාම් කරමින් අධි කැලරි ප්‍රමාණයක් එකවර ගිජු ලෙස අනුභව නොකර ප්‍රමාණවත්ව ආහාර පරිභෝජනය කරමින් ජීවත් වීමෙන්
Fatty Liver මඟහරවා ගත හැක. ඖෂධවලින් තොරව වළක්වා ගත හැකි රෝගී තත්ත්වයක් ලෙස Fatty Liver නම් කළ හැක. එවිට සිරෝසීස් තත්ත්වයක් ද ඔබට ඇති නොවනු ඇත. Non Alcoholic සිරෝසීස් රෝගයෙන් මිදී නිරෝගීව ජිවත් වීමට හැකියාවක් ඔබට ලැබෙනු ඇත. එබැවින් නියපොත්තෙන් කඩා ගත යුතු දේ නියපොත්තෙන්ම කඩා ගත යුතු වන්නේ එහෙයිනි.

දීප්ති ෆොන්සේකා

උපුටා ගැනීම: ආරෝග්‍යා

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page