top of page

මාරාන්තික පිළිකා (Cancer) හඳුනා ගනිමු


පිළිකා සෛල රෝගියා මරා දැමීමට පෙර තැතිගැන්ම නිසා රෝගියා සිතින් දහස් වරක් මිය යනවා.එහෙත් ප්‍රතිකාර ලබා ගැනීමට නම් කල් ඇතිව රෝගය හඳුනා ගැනීමට තරම් බුද්ධිමත් විය යුතුය. කල්පනාකාරී හා සැලකිලිමත් විය යුතුය. ඔබ වගේම පවුලේ අයත් මේ බෝ නොවන රෝග මාරයාගෙන් ගලවා ගැනීමේ හැකියාව ඇත්තේ ඔබටය.

 

කාන්තා පක්ෂය ගොදුරු කරගන්නා ප්‍රධාන පිළිකා වර්ග මොනවාද?-

01. පියයුරු පිළිකා

02. ගැබ් ගෙල පිළිකා

03. තයිරොයිඩ් පිළිකා

04. ඩිම්බ කෝෂ පිළිකා

මේ සියල්ල ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත පිළිකා වේ.

 

පියයුරුවල පුංචි වෙනස්කම් ගැන බියවන්න එපා! මේ ලක්ෂණ සාමාන්‍යයි.-

1. බොහෝ කාන්තාවන්ගේ පියයුරු දෙකම එක සමාන නැහැ.

2. ආර්තවය සිදුවන කාන්තාවන්ගේ පියයුරු හෝමෝනවල බලපෑම නිසා විවිධ වෙනස්කම්වලට භාජනය වෙනවා.

3. ඔසප් වීමට පෙර එනම් ආර්තවයට පෙර පියයුරුවල ගැටිති ස්වභාවයක්, වේදනාවක් ඇති වීම ස්වභාවයක.

4. ආර්තවහණය වූ කාන්තාවන්ගේ පියයුරු මෘදු, සැහැල්ලු තත්තයකට පත් වෙනවා.

5. අසමාන්‍යතාව හඳුනා ගැනීමට සාම මාසයකම ස්වයං පියයුරු පරික්ෂාවක් කරන්න.

 

එසේ නම් අසාමාන්‍ය ලක්ෂණ මොනවාද? -

* මෑතකදී ඇති වූ පියුරුවල හැඩයේ වෙනස්වීමක් / පැහැදිලි අසාමාන්‍ය බවක්.

* පියයුරු වල ගැටිත්තක්, ඉදිමීමක්, සම මතුපිට දදයක් හෝ තුවාලයක් තිබීම.

* දොඩම් ලෙල්ලක මතුපිට වැනි සමේ වෙනසක් ඇතිවීම.

* තනපුඩු ගිලීයාම හෝ වෙනසක්.

* පියයුරු වළ ගැසීම.

* තන පුඩු වලින් කිරි නොවන ශ්‍රාවයක් නිකුත් වීම.

 

ස්වයං පරීක්ෂාවක් කියන්නේ කුමක්ද? ඊට සුදුසුම කාලය කුමක් ද?මේ පරික්ෂාවේ ආකාර දෙකකි. පළමු පියවර පියයුරු නිරීක්ෂණය කිරීම.අනෙක් පියවර පියයුර අල්ලා පරික්ෂා කිරීමයි.වයස අවරුදු විස්සෙන් පසු මාසයකට වරක් මේ පරීක්ෂාවන් කල යුතුය. අර්තාවය සිදුවී හත් වැනි දිනයේ හෝ ඉන්පසු දිනයක් ස්ථිර වශයෙන් පරික්ෂාව සඳහා යොදා ගන්න.

ඔසප් සම්පුර්ණයෙන්ම නතර වූ (ආර්තවහරණය වූ) කාන්තාවන් සාම මසකම නිශ්චිත දිනයක් පියයුරු පරික්ෂාවට යොදා ගත යුතුය.

 

පියයුරු වල වෙනසක් ඇත්තනම් යා යුත්තේ,-

* ප්‍රදෙශයේ සුවනාරි සායනයට

* ප්‍රදේශයේ සුව දිවි සායනයට

* පවුලේ වෛද්‍යවරයා වෙතට

* රජයේ හෝ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු වෙතට

* ශල්‍ය වෛද්‍යවරයකු වෙතට / ආසන්නම රෝහලේ පියයුරු සායනයට

* නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ නො: 516 දරණ පිළිකා කලින් හඳුනා ගැනීමේ සායනයට යාම - දු: අං. 0113159227.

 

රෝග වැළදීමේ අවදානම වැඩි කාටද?-

* පියයුරු පිළිකා සඳහා පවුලේ ඉතිහාසයක් තිබීම

* මිට පෙර පියයුරු ආශ්‍රිත රෝගයක් තිබීම.

* ඩිම්බ කෝෂ පිළිකා සඳහා පවුලේ ඉතිහාසයක් තිබීම

* අවුරුදු 11ට පෙර ඔසප් වීම ඇරඹීම හෝ අවුරුදු පනස් පහට පසුව වුවත් ආර්තවය සිදුවීම.

* දරුවන් නොමැති කාන්තාවන්.

* කිරි නොදුන් අය

* පළමු දරු උපත අවුරුදු 35ට පසුව සිදු වූ කාන්තාවන්

* හෝමෝන ප්‍රතිස්ථාපනය ප්‍රතිකාර (එච්.ආර්.ටි) දිගුකාලීනව ලබා ගැනීම, පියයුරු පිළිකා සඳහා පවුලේ ඉතිහාසයක් ඇති කාන්තාවන්, හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර ලබා ගැනීමෙන් වැලකී සිටිය යුතුය.

 

නරක ජීවන රටාව ද පියයුරු පිළිකාවට හේතුවක් වේ.-

* ශරීර ස්කන්ධ ධාරිතාව (බි එම් අයි) තිහට වැඩි වීම.

* එළවලු පලතුරු අඩුවෙන් ආහාරයට ගැනීම.

* ව්‍යායාම අඩුකම

* මත්පැන්, දුම්වැටි භාවිතය

* අධික මේද සහිත ආහාර ගැනීම.

 

නවතම අනාවරණ මොනවාද?-

අයිස්ක්‍රීම්, චීස්, යෝගට්, චොකලට් වැනි කිරි නිෂ්පාදන පියයුරු පිළිකා රෝගීන්ට අගුණය. ඔවුන්ට රෝගයෙන් බේරීමට තිබෙන ඉඩ එමඟින් අඩු වෙනවා. මීට හේතුව කිරිවල ඉස්ට්‍රජන් හෝර්මෝනය අඩංගුව තිබීමයි. ඉස්ට්‍රජන් ගෙඩි වල වර්ධනය වැඩි කරනවා.

 

සෑම ගටිත්තකටම බිය වෙන්න එපා.-

කාන්තාවන්ගේ දක්නට ලැබෙන ගැටිතිවලින් සියයට අනූවක්ම අහිංසකය. නවීන තාක්ෂණයට ඉතා පහසුවෙන්ම ගෙඩියේ, ගැටිත්තේ අහිංසක බව ඉතා හොඳින් නිරීක්ෂණ කළ හැකිය.

 

* සමට යටින් දැනෙන බිත්තර හැඩයේ ගැටිත්තක් -

බොහෝ විට අවුරුදු 20-30 ත් අතර වයසේ කතුන්ගේ මෙවැනි ගැටිති සුලබය. නීරෝගි ග්‍රන්ථි සහ පියයුරු සම්බන්ධක පටක එක්වී මෙවැනි ගැටිති සෑදෙයි. ගැටිත්තක පළල සෙ. මි 1-2 ක් පමණ වේ. සුළු දුරක් එහා මෙහා කල හැකිය. ශීත කළ පීස් ඇටයක් තරමට මෙවැනි ගෙඩි විශාලය. සමහර කාන්තාවන්ට සංවේදී පියයුරු පටක ඇත. හෝර්මෝන මට්ටම වෙනස් වන විට ඒවා ප්‍රතික්‍රියා දක්වයි. මෙයින් සිදු වන්නේ ෆයිබ්‍රෝඩිමොනාස් නම් ගෙඩි වැඩියෙන් වර්ධනය වීමයි. පියයුරේ ඕනෑම තැනක මෙවැනි ගෙඩි හටගත හැකි නමුත් ඉහල කොටසේ වඩාත් සුලබයි. වයස විසි ගණන්වල මුල දී යෝධ ෆයිබ්‍රෝඩිනෝමා ගැටිති (සෙ. මි 12ක් හෝ ඊට වැඩි ) ඇති වීමේ ඉඩ වැඩිය. මේවා පිළිකා තත්ත්වයට පත් නොවන නිසා තිබෙන්නට හරියි. සැත්කමකින් ඉවත් කරන්නේ ඉතා කරදරකාරී ගෙඩි පමණයි.

 

* තදට දැනෙන ගැටිත්තක්-

ඝනවුණු මේද එකතුවක් නිසා මෙසේ විය හැකිය. සෙ. මි 2 - 3 ක් පමණ වූ මේවා ඇතැම් විට වේදනාකාරිය. මෙවැනි ගෙඩි මෑමොග්‍රම් පරීක්ෂාවේදී පෙනෙන්නේ පිළිකාමය ගැටිත්තක් ලෙසිනි. එනිසා පිළිකාවක් නොවන බව තහවුරු කරගැනීම සඳහා ජීව පටක පරීක්ෂාවක් සිදුකරයි. ක්‍රමයෙන් ඝනවුණු මේද ගැටිති නැති වී යයි. එහෙත් ඒ සඳහා කාලයක් ගත වෙයි.

 

* පියයුරුවල ගෙඩි -

යාන්තමට සමේ ඒ මේ අත යන, අතට මුදු බවක් දැනෙන තරල පිරිණු ගෙඩි ක්‍රමයෙන් නැති වී යයි. වයස අවරුදු 40 - 60 දක්වා කතුන් අතර සුලබයි. හේතුව ඒ වයසේදී සිදුවන හෝමෝන මට්ටම වෙනසයි. වෛද්‍යවරු අවශ්‍ය නම් තරල ඉඳීකටුවකින් ඉවත් කරයි. මේ ගෙඩි සමහරක් තිබෙන ප්‍රමාණයෙන්ම පවතී. ඇතැම් ගෙඩි විශාල වේ. තවත් ගෙඩි කුඩාවේ. වයස අවුරුදු හැත්තෑවට වැඩි කතුන් අතර මෙබඳු පිළිකා අඩුය. එහෙත් ඉතා කලාතුරකින් දියර පිරුණු කුඩා පිළිකාමය ගෙඩි සැඟ වී තිබෙන්නටද පුළුවන.

 

* සම යට එහා මෙහා යන ගැටිති-

සම යට මේද සෛල එක්වීමෙන් 'ලිපෝමා' නම් ගෙඩි වර්ගය හටගනී. හේතුවක් සොයා ගෙන නැතිමුත් පරම්පරාගතව දැකිය හැකි අවස්ථා ද තිබේ. මෘදු මෙවන් ගෙඩි සිරුර පුරාමත් දැකිය හැකිය. සෙ.මි 1 - 2 ක් වූ ලිපෝමා හානිකර නැති නිසා තිබෙන්නට හරියි. විශාල ගැටිති ඉවත් කරන්නේ වේදනාකාරී නිසයි.

 

ගබ්සා කිරීමත් හේතුවක්-

ගබ්සා කිරීම පියයුරු පිළිකාවලට හේතුවක්. ගබ්සා කරන කාන්තාවන් පියයුරු පිළිකාවන්ට වැඩිපුර ගොදුරුවෙන බව පර්යේෂණ ගණනාවකින් ම හෙළි වී තිබෙනවා.මත්පැන් පානය, දුම්පානය පියයුරු පිළිකා අවදානම වැඩි කරනවා. වාසනාවකට ලංකාවේ කාන්තාවන්ට මේ අවදානම නැත. එහෙත් කාන්තාවන් සිය දෙනෙක් පියයුරු පිළිකාවට ගොදුරු වෙද්දී එක පිරිමියෙකුටත් ඒ අවදානම ඇති බව අමතක නොකරන්න.

 

* සායනික පියයුරු පරික්ෂාව යනු කුමක්ද?-

වෛද්‍යවරයකු, මහජන සෞඛ්‍ය හෙදි සොහොයුරියක්, හෙද නිලධාරිනියක් හෝ පවුල් සෞඛ්‍ය නිලධාරිනියක (පුහුණු සෞඛ්‍ය නිලධාරියකු) සිදු කරන පියයුරු පරීක්ෂාවයි.වයස අවුරුදු 20 - 40 දක්වා කාන්තාවන් වසර තුනකට වරක් ද, වයස අවුරුදු හතලිහ ඉක්ම වූ කාන්තාවන් වසරකට වරක් ද මේ පරික්ෂාව සිදු කරගත යුතුය. ලේ ඥාතියකුට වයස අවුරුදු හතලිහට පෙර පියයුරු පිළිකාවක් සැදී ඇත්නම්, ඥාතියාට පියයුරු පිළිකාව වැළඳුණු වයසට, වසර පහකට පෙර සිට වසරකට වරක් සායනික පියයුරු පරික්ෂාව සිදුකර ගත යුතුය.

 

* මැමොග්‍රම් පරික්ෂාව අවශ්‍ය කාටද?-

එක්ස් කිරණ ඉතා අඩු ප්‍රමාණයක් යොදාගෙන ලබා ගන්න එක්ස් කිරණ ඡායාරූපයක්.අතට අසු නොවන බෙහෙවින් කුඩා ගැටිති පවා මෙමඟින් හඳුනා හත හැකිය.

වයස අවුරුදු 50ට වැඩි, පියයුරු පිළිකා අවදානම් සාධක සහිත කාන්තාවන් මේ පරීක්ෂාවට වඩාත් සුදුසුයි. වයස අවරුදු 50 - 69 ත් අතර කාන්තාවන් වසර දෙකකට වරක් මැමොග්‍රම් පරීක්ෂණය කර ගැනීම උචිතය.

වයස අවුරුදු 35ට අඩු කාන්තාවන්ට මැමොග්‍රම් පරීක්ෂණය සුදුසු නැත. සායනික සහ අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණය වඩාත් සුදුසුයි.

 

ගැබ්ගෙල පිළිකා හඳුනා ගන්නේ කෙසේද?-

හඳුනාගත්තොත් එන්නතකින් සුව කර ගත හැකියි.වසර අටක් දහයක්ම සිරුරේ අහිංසකයකු ලෙස සැඟවී සිටියදී ගැබ්ගෙල පිළිකාව කෙතරම් පහසුවෙන් හඳුනාගත හැකිද? වයස අවරුදු තිස් පහේදී ඔබට ලැබෙන "ඔබට තිස් පහයි" කාඩ් පතේ උපදෙස් ක්‍රියාත්මක කරන්නේ නම් ගැබ්ගෙල පිළිකාව ඇතුළු ප්‍රජනක පද්ධතිය සම්බන්ධ සියලුම පිළිකාවලින් ඔබට ආරක්ෂා විය හැකිය.කල් ඇතිව හඳුනා ගත්තොත් මේ පිළිකාව සියයට අනු නවයයි දශම නවයකින් සුවකිරීමට හැකි බව අමතක කරන්න එපා. සමහර විට වසර දහයටත් වැඩි කාලයක් මෙය සඟවා සිටින අවස්ථා තිබෙනවා. ලොවෙන් තුරන් කළ හැකි පිළිකා අතරින් අංක එකට ගැබ්ගෙල පිළිකාව පත්වී තිබෙන්නේත් ඒ නිසයි.දැනට වලක්වා ගැනීමට එන්නතක් ඇති එකම පිළිකාව ද මෙයයි.එහෙත් ඒ එන්නත ලබා ගත යුත්තේ විවාහ වූ පසුව (පළමු සබඳතාවට පසුව) නම් නොවෙයි. දැරියක ලෙස සිටියදී රුබෙල්ලා එන්නත සමඟ ගැබ්ගෙල පිළිකාව වලක්වන "එච්. පි. වී." නම් එන්නත ලබා ගැනීම දියුණු රටවල නම් අනිවාර්යයි. අපේ රටෙත් මෙලෙස එන්නත ලබාගන්න අය සිටිනවා. රෝගයෙන් ආරක්ෂාවීමට ගතහැකි හොදම පියවරත් "එච් පි වී" එන්නත. නොමිලේ එන්නත ලබා ගැනීමට පහසුකමක් නැතත් පෞද්ගලිකව එන්නත ලබා ගැනීමට ඕනෑ තරම් පහසුකම් තිබෙනවා.

 

විවාහය වුනත් නැතත් හැදෙනවා.-

එන්නත් වගේම රෝගයෙන් ඔබ බේරා ගන්න තවත් පරීක්ෂණයක් "පැප්" පරීක්ෂණය. වයස අවුරුදු තිස් පහට වැඩි කායික සබඳතා පවත්වන විවාහක අවිවාහක කාන්තාවන් වසර තුනකට හෝ පහකට වරක් "පැප්" පරීක්ෂණය කරගත යුතුයි. සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකින් මේ පරීක්ෂණය කළ හැකියි. ඔබට ළඟම සුව නාරි සායනය සහ එය පැවැත්වෙන දිනය ගැන ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් දැනගන්න.

 

වසර තුනකට වරක් පරික්ෂාකර ගන්න-

මිට අමතරව රෝහල් මගින් පවත්වන සුවනාරි, නාරිවේදී සායන මගින්, පෞද්ගලික රෝහල් සායන මගින් නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ, නො. 516 දරණ පිළිකා කලින් හඳුනා ගැනීමේ ජාතික සායනය මගින් පැප් පරීක්ෂණය නොමිලයේම කරගත හැකිය. නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකු හමුවීමත් නුවණැති පියවරකි.

 

අනතුරු අඟවන ලකුණු මොනවාද?-

* අක්‍රමවත් රුධිර වහනය

* සබඳතාවකට පසු රුධිර වහනය

* අධික දුගඳින් යුතු ශ්‍රාවයක් නිකුත් වීම.

* අර්තවහරණයෙන් (සම්පුර්ණයෙන් ඔසප් නතර වූ පසු) පසු රුධිරය පිටවීම, ඉතා සුළු රුධිර වහනයක් පවා වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්ත්වයක්. එක දවසක් වුවත් වෛද්‍යවරයෙකු හමුවන්න.

 

* ඔසප් චක්‍ර දෙකක් අතර රුධිර වහනය -

ගැබ්ගෙල පිළිකාවෙන් පෙලෙන කෙනෙකු ළඟින් හමන්නේ කුණු මාළු ගන්ධයකි.

 

යෝනි මාර්ගයේ අපිරිසිදුකම ප්‍රධාන හේතුවකි -

අපිරිසිදුකම බොහෝ රෝගවලට බලපානවා. ගැබ්ගෙල පිළිකාවටත් යෝනි මඟේ අපිරිසිදුකම බලපානවා. පිරිමින් සම්බන්ධ වීමට පෙර හොඳින් පිරිසිදු වී සිටිය යුතුය. ගැබ්ගෙල පිළිකාව ඇති කරන හියුමන් පැපිලෝමා වෛරසය බිරියට ලැබෙන්නේ පිරිමි ඔබෙන් විය හැකිය. වාසනාවකට දුම් පානයටට අපේ කාන්තාවන් ගොදුරුවී නැහැ. එහෙත් අක්‍රිය දුම්පානය නිසාද ඔවුන් මිට ගොදුරු විය හැකිය. ගැබ්ගෙල පිළිකාව අවසාන මොහොතේ හඳුනාගෙන මරණ වරෙන්තුවත් රැගෙන ප්‍රතිකාර පාතා පැමිණිය යුතු රෝග තත්වයක් නොවේ. එය වලක්වා ගැනීමට ඕනා තරම් විකල්ප තියෙන බව පැහැදිලියි.

 

වැඩියෙන් හැදෙන්නේ කාටද? ගැබ්ගෙල පිළිකා අවදානම වැඩි කාටද?-

* අඩු වයසින් සබඳතා ඇරඹු කතුන්ට.

* සහකරුවන් කිහිප දෙනෙක් ඇසුරු කරන කාන්තාවන්ට

* කාන්තාවන් කිහිප දෙනෙකු ඇසුරු කරන පිරිමියෙකු සමග සබඳතාවක් පවත්වන කාන්තාවන්ට

* අක්‍රියව හෝ සක්‍රියව දුම්පානයේ යෙදෙන කාන්තාවන්ට

* ප්‍රතිශක්තිය අඩුවෙන ප්‍රතිකාර ලබා ගන්නා විට හෝ ප්‍රතිශක්තිය දුර්වල වූ විට

* කායික බෝවන රෝග (සමාජ රෝග) සෑදී ඇති කාන්තාවන්ට

 

පැප් පරීක්ෂණයට බිය විය යුතුද?-

මෙය ඉතා සරල, කෙටි, වේදනාකාරී හෝ අපහසුතා ඇති නොකරන පරීක්ෂණයකි.කාන්තාවන් අසූදෙනෙකු ගෙන් එක් අයෙකුට ජීවිත කාලයේ ඕනෑම අවස්ථාවක ඩිම්බ කෝෂ ආශ්‍රිත ගෙඩි ඇතිවිය හැකිය. එහෙත් වැඩිපුරම සෑදෙන්නේ පිළිකා නොවන ගෙඩිය.තරුණ අයට වඩා මහලු කාන්තාවන්ට රෝගී වීමේ අවදානම වැඩියි. රෝගය හඳුනා ගැනීමට විශේෂ රෝග ලක්ෂණ නැති නමුත් වෙනත් ලක්ෂණ ඇතිවෙනවා.

 

ඔසප් අක්‍රමවත් අයට රෝගය හඳුනා ගන්න අපහසුයි-

අර්තව චක්‍රය අක්‍රමවත් න. ඒ නිසා එයින් ද රෝගය හඳුනා ගැනීමට අසීරුයි. එහෙත් මේ අයගේ බඩ පුරවා දැමීම (වාතය පිරීම) වාරින් වර ඇතිවන උදර වේදනාව වැනි ලක්ෂණ ඇති වනවා. බොහෝ අය තමන්ට ඇත්තේ ගැස්ට්‍රයිටිස් කියා වරදවා වටහා ගන්නවා. අහාරගෙන වැඩිවී උදරය මහත්වී ඇතැයි සිතීමට පෙළඹෙන කතුන්ගේ ගණන වැඩිය. තවත් අය බඩේ ගෙඩියක් කියා සිතනවා. ගැස්ට්‍රයිටිස් රෝගයට කෙතරම් ප්‍රතිකාර ගත්තද සුවයක් නම් ලැබෙන්නේ නැත.

 

* ඔබේ ශරීරයේ දිගටම පවතින යම් වෙනසක් ඇත්නම් වහාම වෛදවරයෙකු හමුවන්න.-

භායනකම තත්ත්වය වන්නේ බොහෝ ප්‍රමාද වී රෝගය හඳුනා ගැනීමයි. මෙය රෝගියාට රෝග ලක්ෂණ වලින් සොයා ගැනීමට අසීරු වෛද්‍යවරයම සොයාගත යුතු තත්ත්වයක්.අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයෙන් රෝගය පහසුවෙන්ම සොයා ගත හැකිය.

 

අවදානම් සාධක මොනවද?-

පවුලේ ඥාතියකුට ගැබ්ගෙල පිළිකාවක් තිබීම

* දරුවන් අඩු සංඛ්‍යාවක් සිටීම

* මවුකිරි නොදීම

* ප්‍රමාදවී අර්තවහරනය වීම

* ටැල්කම් පුයර දැමීම

දැන් කුඩා දැරියකගේවත් මෞත්‍ර ලිංගික පෙදෙසට ටැල්කම් පුයර නොදමන ලෙස උපදෙස් දෙනවා. මේ පුයරවල පිලිකා කාරක අඩංගු බව පර්යේෂණ ගණනාවකින්ම හෙළිවී තිබෙනවා.

අපිරිසිදුකම ප්‍රධාන හේතුවක්. මෘදු සබන් වර්ගයකින් මෞත්‍ර ලිංගික පෙදෙස පිරිසිදුව තබාගන්න. මිතුරු පෙති ගැනීමෙන් රෝගය සෑදීම අවමකර ගත හැකිය. පවුලේ කාට හෝ රෝගය ඇත්නම් මිතුරු පෙති ගැනීමෙන් සියයට පනහකින් රෝගය වැළඳීම අඩුකර ගත හැකිය.

 

පැතිරුනොත් හරිම අවදානම්-

මුල්ම අවස්ථාවේ හඳුනා ගැනීමෙන් රෝගය සියයට අනූ නවයක්ම සුවකළ හැකිය. එහෙත් පැතිරුනාට පසු කිසිවක් කළ නොහැකියි. මාස පහක් හයක් යනවිට රෝගය උත්සන්නවී අවසානයි. අල ගෙඩියක් වගේ මහත බඩ ඔබේ ඩිම්බ කෝෂ පිළිකාවේ ලකුණු විය හැකිය.

 

ආර්තවහරනයෙන් පසු පරෙස්සමින්-

ගර්භාෂ පිළිකා අර්තවහරනයෙන් පසු සුලබම පිළිකාවක්. වියපත් පසු එක පැයක් රුධිර වහනය වුවත් නාරි හා වෛද්‍ය උපදෙස් පතන්න. ඔසප් නතර වීමෙන් පසු රුධිරය වහනය සිදුවන 8% කට පිළිකා අවදානමක් පවතිනවා.යන්තම් කහට පැහැයට පැල්ලමක් තිබුනා කියා නොසලකා ඉන්න එපා. වැඩි අවදානමක් ඇත්තේ මහලු කාන්තන්ට වුවත් වයස අවරුදු තිහේ කාන්තාවන් අතරත් මේ රෝගය වැළඳුණු අය නැත්තේ නැහැ.

 

අවදානම් සාධක මොනවාද?-

* ළඟ ළඟ ඔසප් වීම ඔබ නාරි හා ප්‍රසව වෛද්‍යවරයකු වෙත යා යුතු බවට කෙරෙන ඉඟියක්.

* පවුලේ අයට රෝගය තිබීම

* ස්ථුල වීම

* පමාවී ආර්තවහරනය වීම.

* දරුවන් බිහි නොකිරීම* මව්කිරි නොදීම

* අඩු දරුවන් ගණනක් සිටීම මුලින් හඳුනා ගැනීමෙන් ගර්භාෂ පිළිකා සියයට අනුවක්ම සුවකල හැකිය. සැත්කමකින් ගර්භාෂයේ ඩිම්බ කෝෂ ඉවත් කරයි.

 

පිරිමින්ගෙ පිළිකා-

ඔබ වයස අවුරුදු පනහට වැඩි පිරිමියෙකු නම්. ඔබේ වෛද්‍යවරයා මේ වන විටත් අනෙකුත් වාර්ෂික කායිකරෝග පරීක්ෂාවන් අතරට හයි ප්‍රෝස්ටේව් - ස්පෙසිෆික් ඇන්ටිජන් (පි එස් ඒ) පරීක්ෂණය සඳහා ද නිර්දේශ කරන්ට ඇති. සැකයක් ඇත්නම් ජීව පටක පරික්ෂාවට (බයොප්සි) ද ඔබ යොමු කරනු නිසැකයි.කාන්තාවන් ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පිළිකාවන් ගණනාවකට ගොදුරු වෙද්දී පිරිමින්ට ද ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පිළිකාවක අවදානම පවතිනවා. ඒ පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රීතව ඇතිවන පිළිකාවයි. එහෙත් බොහෝ විට පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා වර්ධනය වී අවසන් පියවර දක්වා ළං වන්නේ සෙමින්. සීඝ්‍රයෙන් පැතිරෙන පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා ද තිබෙනවා.

 

පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවක් ඇතිවිට හටගන්නා ලක්ෂණ-

* අවශ්‍යතාව ඇතත් මුත්‍රා කිරීමේ අපහසුතාව

* මුත්‍රා කිරීම ඇරඹීමේ හා මුත්‍රා ධාරාව පවත්වා ගැනීමේ අපහසුතාව

* මුත්‍රා කිරීමෙන් පසු ද සම්පුර්ණයෙන්ම මුත්‍රා පිට නොවුනායයි දැනීම

* නිතර මුත්‍රා කිරීමේ වාර ගණන වැඩිවීම

* මුත්‍රා සමඟ රුධිරය පිටවීම. පිරිමින් වියපත් වෙත්ම පුරස්ථ ග්‍රන්ථිය විශාල වෙනවා. එවිට ද මෙවැනි ලක්ෂණ හට ගත හැකයි. එහෙත් හේතුව කුමක්දැයි තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණවලට ලක් විය යුතුය.

 

අවධානම් සාධක මොනවාද?-

වියපත් වීම සුලබව අවදානම් සාධකයකි. වයස අවරුදු 50, අවුරුදු 70න් පසු අවදානම වැඩියි. පවුල් ඉතිහාසයද යම් තරමකට බලපායි. පියාට හෝ සොහොයුරෙකුට තිබීම අවදානම් සාධකයක්.

මස් සහ අධික මේදය සහිත කිරි නිෂ්පාදන හැකි තරම් අවම කරන්න. රතු මස් පිරිමින්ගේ හෝර්මෝනවලට ඇති කරන බලපෑම් ද පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවට බලපායි. ඒ නිසා එළවලු, පලතුරු, කෙඳි සහිත ආහාර වැඩිපුර ගෙන, ව්‍යායාම කරමින් ජීවත් වීමෙන් පුරස්ථ ග්‍රන්ථි පිළිකා අවදානම අඩුකර ගත හැක.

 

සැකයක් ඇත්නම් නොපමාව අමතන්න.-

පිළිකාවකට ගොදුරුවූ කෙනෙකු ප්‍රතිකාර ගෙන පළමුව මාස තුනෙන් තුනට, දෙවැනිව මාස හතරෙන් හතරට, සායනයට ගොස් පරීක්ෂාවන් කරගත යුතුය. තෙවැනි වසරේ සිට වසර පහක් යන තුරු මාස හයෙන් හයට ද ඉන් පසුව වසරෙන් වසරට ද පරික්ෂාවන් කර ගැනීමට අනිවාර්යයි.

 

ජාතික පිළිකා මර්දන වැඩසටහනෙන් ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් ලබාගත හැක.

 

ලිපිනය - නො. 555, ඇල්විටිගල මවත, නාරාහේන්පිට, කොළඹ 05.

දු.ක. - 011 2 368 627

වෙබ් අඩවිය - www.health.gov.lk

විද්‍යුත් තැපෑල - nccpsl@yahoo.com

දුරකථනය - 0715320320

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page