top of page

මුත්‍රා සමඟ ලේ පිටවෙනවාද?

 

එන්න එන්නම ලෙඩ රෝග විවිධ සංකීර්ණ ස්වරූප ගන්නා නිසාම එදිනෙදා වැඩ කටයුතු වලදී තමන්ගේ සිරුර ගැන බෙහෙවින් සැලකිලිමත් වීම වැදගත්. මුත්‍රා පිටකිරීමේ දී පොදුවේ කවුරුත් සැලකිලිමත් නොවුණද, මුත්‍රාවල වර්ණය පිළිබඳ අවධානයෙන් සිටීම රෝග තත්ත්වයන් කිහිපයක්ම කලින් හඳුනාගැනීමට බෙහෙවින් ඉවහල් වන බව දකින්නට තිබෙනවා.

 

මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන්නේ, පේරාදෙණිය ශික්ෂණ මහ රෝහලේ, ජන්‍ය මුත්‍ර විශේෂඥ වෛද්‍ය උදය පෙතියාගොඩ මහතායි.

 

සාමාන්‍ය නිරෝගි පුද්ගලයෙකුගේ මුත්‍රා තද පැහැයක් නොගන්නා අතරම විවිධ ඖෂධ හෝ ඇතැම් ආහාර නිසා මුත්‍රා තද පැහැවීමට ඉඩ තිබෙනවා. එයද ස්ථිරවම ප්‍රකාශ කරන්නට බැහැ. නමුත් මුත්‍රා රතුපැහැයට හුරු ගතියක් පෙන්වයි නම්, සැලකිලිමත් විය යුතුමයි. ඊට ප්‍රධානතම හේතුව, මුත්‍ර සමඟ ලේ පිටවන්නේ ද යන්න සොයා බැලීම අත්‍යාවශ්‍ය නිසාමයි.

මුත්‍රා සමඟ ලේ පිටවීම ප්‍රධාන වශයෙන් මෞත්‍ර පද්ධතිය ආශ්‍රිත රෝග නිසා ඇති වීමට වැඩි ඉඩක් තිබෙනවා. මෞත්‍ර පද්ධතියේ ද වකුගඩු, මුත්‍රා නාල, මුත්‍රාශය, මුත්‍රා මාර්ගය යන අවයවවලින් රුධිරය මුත්‍රාවලට මිශ්‍ර වූවා විය හැකියි. එපමණක්ද නොවෙයි, ගුද මාර්ගයේ හෝ යෝනි මාර්ගයේ රෝගයක් නිසා ඒවායින් පිටවන රුධිරය වැරදි ලෙස මුත්‍රා මාර්ගයෙන් පිට වූවා සේ සැලකුවා වීමටත් පුළුවන්.

 

රතු පැහැයෙන් පිටවන මුත්‍රාවල ලේ මිශ්‍රිතදැයි නිර්ණය කර ගැනීමට සැලකිය යුතු කරුණු මෙසේ දැක්විය හැකියි.

* මුත්‍රාවල පැහැය තද රතු ද ලා රතු ද යන්න

* මුත්‍රා කිරීම ආරම්භයේ හෝ අවසානයේ පමණක් රතු පැහැය ද යන්න

* මුළු මුත්‍රා දහරම ඒකාකාර ලෙස රතු පැහැතිද

* මුත්‍රා දැවිල්ල ද

* උදරයේ වේදනාවක් ඇත් ද

* උණ තත්ත්වයක් පවතී දයන්න අවධානය යොමු කොට ඒ පිළිබඳව වෛද්‍යවරයාට පැවසිය යුතුයි.

 

කුඩා දරුවකු බැක්ටීරියා ආසාදනයකට පසු (උගුරේ හෝ සමේ) ඇස් වට හෝ කම්මුල්වල ඉදිමුම සමඟ මුත්‍රා රුධිරය මිශ්‍රිතව පිටවෙයි නම් කඩිනමින් වෛද්‍යවරයෙකු වෙත යා යුතුයි.

 

රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව ලේ කැටි නොගැසීමේ තත්ත්වයක් නිසා ද ඩෙංගු හෝ තිත් පොළඟකු දෂ්ඨ කිරීමෙන් පසුව ද මුත්‍රා සමඟ ලේ පිටවෙයි නම් කඩිනමින් වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුයි.

 

ඇතැම් විට, වකුගඩු අකර්මන්‍යවීම හේතුවෙන් මුත්‍රා සමඟ ලේ පිටවනු ඇතැයි, බොහොදෙනා සිතූව ද, වකුගඩුවල අක්‍රීයවීම මුත්‍රාවල ලේ පිටවීමෙන් තීරණය කළ නොහැකියි. නමුත් වකුගඩු ආශ්‍රිත ගල් නිසා දිගුකාලීනව මුත්‍රා සමඟ ලේ පිටවීම ඇතිවිය හැකිය.

 

එම තත්ත්වයේ දී එකම රෝග ලක්ෂණය මෙය විය හැකි නිසාම සහ කඩිනම් ප්‍රතිකාර මත රෝගය සුවවන නිසාම හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම අතිශය වැදගත්. වකුගඩු රෝගය ආශ්‍රිත ක්ෂය රෝගය, මුත්‍රාශයේ මුත්‍රා ගල්, පිළිකා හෝ ප්‍රදාහ තත්ත්වයන්, පුරස්ථ ග්‍රන්ථි ඉදිමීම, වැනි රෝග තත්ත්වයන්වල දී මුත්‍රා සමග ලේ පිටවීමේ තත්ත්වය දැකිය හැකියි.

 

කුඩා දරුවෙකුගේ නිතර නිතර ලේ පිටවීම ලිංගික අතවරයන්ට ලක්වීම නිසා සිදුවිය හැකි තත්ත්වයක් බව ද මතක තබා ගැනීම වැදගත්.

 

කෙසේ හෝ රුධිරය පිටවන්නේ ඇයි ද යන්න සොයා බැලීමට වෛද්‍යවරයෙකු වෙත යාම ඉතාම සුදුසුයි. මුත්‍රා සමඟ රුධිරය පිටවීම භීතියට පත්වීමට කරුණක් නොවන්නේ එය එසේ සිදුවූයේ ඇයි ද යන්න සොයා බැලීමෙන් පසුව බව මතක තබා ගැනීම වැදගත් බව මතක තබා ගත යුතුමයි.

 

මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට හොඳම මඟ සරල මුත්‍ර පරීක්ෂණයේ සිට අති ධ්වනි ඡායා තරංග පරික්ෂණ (ultrasound scan) එක්ස් - රේ (x-ray) පරීක්ෂණ මෙන්ම සිස්ටොස්කොපි (cystoscopy) පරික්ෂණ වැනි පරික්ෂණ වෙත යොමු විය යුතුයි.

 

රෝග මූලය සොයා ගත් පසුව ප්‍රතිකාරය ඒ ඒ රෝගයට අදාලව සිදු කෙරේ. මුත්‍ර සමඟ ලේ පිටවීමට හේතුව වූයේ, මුත්‍රා ගල් නම් ඖෂධ මඟින් පිට කිරීම හෝ ගල් කුඩු කිරීම හෝ ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරීමක් කළ හැකියි.

 

මුත්‍රා ගල් දියවීමේ බෙහෙත් මඟින් මුත්‍රා මාර්ගය ඔස්සේ, ගල ශරීරයෙන් පිටතට යෑම පහසු කරනවා.

 

මෙම තත්ත්වය ඇති කිරීමට ඖෂධ විශේෂ කිහිපයක්ම ඇති අතර සුදුසු ඖෂධය තීරණය කරන්නේ, වෛද්‍යවරයා විසින්මයි. එහෙත් සෑම මුත්‍රා ගලකටම දියවීමේ ඖෂධ නොමැති වන්නේ, ගලේ ස්වභාවය පිහිටීම හා ප්‍රමාණය අනුවයි. ගල් නොවන වෙනත් තත්ත්වයක දී, මුත්‍රා සමඟ ලේ පිටවේ නම්, අදාල පරික්ෂණ හරහා රෝග තත්ත්වය නීර්ණය කොට වෛද්‍යවරයා විසින්, නියමිත ප්‍රතිකාර වෙත යොමු කරනු ඇත.

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page