
“සුව දිවිය” අද දවසේ හැම කෙනෙකුගේම ජීවිතවලින් බොහෝ ඈතට ඇදී යන පැතුමක් වී තිබේ. සුව දිවියට හැමවිටම බාධා කරන්නේ ජීවන රටාවේ ගැටලුයි. අද බොහෝදෙනෙක් කියන්නේ, මේ ජීවන රටාවේ ගැටලු නම් තමන්ට මොන ලෙසකින්වත් පාලනය කරන්නට නොහැකි බවයි. එය ඇත්තකි. අද දවසේ අධිවේගී ජිවිතයකට බලෙන් තල්ලුකර දැමුණු අප හැම අසරණය.
නමුත් මෙය ප්‍රමාණවත් පිළිතුරක් නොවෙයි. අප කෙසේ හෝ මේ තත්ත්වය පාලනය කරගත යුතුයි. විද්‍යාඥයින් අද ඒ සඳහා විවිධාකාර පර්යේෂණවල නියැලී සිටිද්දී, අපත් අපේ ජීවිතයේ සුව පැවැත්ම වෙනුවෙන් නිවැරදි තීන්දු ගත යුතුයි.
ජීවන රටාවේ ගැටලු මඟ හරවාගන්න පුළුවන්
සෞඛ්‍යමත් දිවියකට මඟ පෙන්වන්නේ නිවැරදි ජීවන රටාවයි. ඒ තුළින් මිස අන් කිසිවකින් අපට සෞඛ්‍යමත් ජීවිතයක් ගැන සිතිය නොහැකියි. අපේ ජීවන රටාව මූලිකව පදනම් වී තිබෙන්නේ ආහාර, ව්‍යායාම, රැකියාව, පරිසර සාධක වැනි කරුණු මතයි. මේ සමහර දේවල් වලට අදාළ අහිතකර තත්ත්ව අපට එකවර වෙනස්කළ නොහැකි වුණත් සමහර දේ නම් අපට වෙනස් කළ හැකියි.
තමාට ගැලපෙන නිවැරදි ජීවන රටාව හඳුනාගන්න
යම් කෙනෙක් ජීවන රටාව හැඩගස්වා ගැනීමට පෙර තමා කුඩා දරුවකු ද, තරුණ කෙනෙක් ද විවාහ වූ අයෙක් ද එසේ නැතිනම් වැඩිමහලු කෙනෙකු දැයි පළමුවෙන් අවබෝධ කරගත යුතුයි. යහපත් සෞඛ්‍යයක් පතන හැමකෙනෙකුම නිරෝගී සිරුරක් ද ප්‍රාර්ථනා කරනවා.
සිරුර ගැන කතා කරද්දී එහි අභ්‍යන්තර ඉන්ද්රියයන් බාහිර අනතුරුවලින් ආරක්ෂා කරන්නට සුවිශේෂ බාහිර ආවරණයක් ද තිබෙනවා. එනම් අපේ සමයි. කෙනෙකුගේ ජීවන රටාවේ ස්වභාවය පෙන්වන පළමු කැඩපත ද සමයි. නමුත් අද අප රටේ බොහෝ දෙනෙක් නිරෝගී නොවන යමක් සහිතව දිවි ගෙවන අයුරු බහුලව දැකියි හැකියි. නිවැරදි ආහාරත්, සමබර මනසත් නිරෝගී සමක් සෑදීමට උදව් කරයි.
නමුත් විවිධ රෝග තත්ත්ව නිසා හෝ සමහරවිට අපගේ නොසැලකිල්ල නිසා අපගේ සිරුර සුරකින මෙම බාහිර ආවරණය අවලස්සන වී යා හැකියි නැතිනම් දුර්වල විය හැකියි. සුවදිවිය හා කෙනෙකුගේ බාහිර පෙනුම අතර ද ඇත්තේ කිට්ටු සබඳතාවක් නිසා, කෙනෙක් රෝගීව සිටිනවාද, නිරෝගීව සිටිනවාද එහෙමත් නැතිනම් දුකින් සිටිනවාද කියා පෙන්වන්නේත් බාහිර පෙනුමයි.
සම බොහෝ දේ කියයි
අන්‍යයන්ගේ ආකර්ශනය දිනා ගැනීමට මෙන්ම තමා තුළම ආත්ම විශ්වාසයක් ගොඩනඟා දීමට ද දීප්තිමත් සමකට හැකියි. නමුත් බොහෝදෙනෙක් දීප්තිමත් සමක් හිමිකර ගැනීමට කෙතරම් සටනක යෙදෙනවාද? නමුත් නිරෝගිමත් සමක් සඳහා අප සමේ අභ්‍යන්තර ස්ථරයටම සත්කාර කළ යුතුයි. සමට බාහිර මෙන්ම අභ්‍යන්තර සත්කාර ද අවශ්‍යය.
සම ඇතුළතින්ම පෝෂණය විය යුතුයි
සම මිනිස් සිරුරේ විශාලතම ග්‍රන්ථියයි. සම අපේ සෞඛ්‍ය ගැන බොහෝ දේ කියන බැවින් නිරෝගී සමක් උදෙසා ඊට අදාළ යම් යම් අඩුපාඩු වෙතොත් ඒවා නිවැරදි කළ යුතුමයි. ඒ අතර හෝමෝන අඩුපාඩු ආහාරවල අඩුපාඩුකම් මෙන්ම මානසික ආතතිය ද ඉවත් කළ යුතුයි.
දීප්තිමත්, රැලි රහිත පැහැපත් මෙන්ම ශක්තිමත් සමක් උදෙසා අනුගමනය කළ හැකි පියවර වෙන් වශයෙන් ඇත. මේ අතර අප නිතර පරිභෝජනය කරන මෙන්ම අප අවට පරිසරයේ ඇති ආහාර වර්ග සමට ඇති කරන බලපෑම හඳුනාගැනීම ප්‍රයෝජනවත් වෙයි.
අධික ලුණු සමටත් නරකයි
ලුණු පිළිබඳ විවිධ අනාවරණයන් අපි දකිමු. නමුත් අධික ලුණු සමටත් හොඳ නැති බව දන්නේ කී දෙනෙක්ද? ආහාර මඟින් අපේ සිරුරට ඇතුළු වන අධික ලුණු සෛලවලට ඉක්මනින් උරාගනී.
එමඟින් වැඩිපුර ලුණු ආහාරයට ගන්නාවිට සමේ පිම්බුණු ගතියක් ඇතිවෙයි. ඒ නිසා විශේෂයෙන් ලුණු යොදා සකස් කළ, ටින්කළ ආහාර වර්ග සෝදා ආහාරයට ගැනීම වඩා සුදුසු වේ.
මෙලෙසම අධික මධ්‍යසාර මඟින් ද සමෙහි ඇති ජලය උරා ගනී. මෙවිට ද කෙනෙකු ඉක්මනින් වයසට ගිය ගතියක් පෙන්නුම් කරයි. බොහෝදෙනෙකු සත්කාර කරන්නේ බාහිර සමටයි. නමුත් සම ස්ථර කීපයකින් සමන්විතයි.
මතුපිට ඇති සම නිරන්තරයෙන් ඉවත්ව යන අතර වඩා නීරෝගීව පැවතිය යුතු වන්නේ සමේ යටම ස්තරයයි. මෙලෙස සමේ යටම ස්තරය හොඳින් පෝෂණය කිරිමෙන් සිරුරේ රුධිර ගමනය ඒ කරා මනාව සැපයේ. එමඟින් නිරෝගී සමක් හිමි වේ.
සමේ අපද්‍රව්‍ය ඉවත් කර දමන හිතවතුන්
පරිසරයේ ඇති නොයෙකුත් අපද්‍රව්‍ය සමේ ගැටීමෙන් ඔක්සිජන් මුක්ත ඛණ්ඩක ඇතිවෙයි. ඒ ඔක්සිජන් මුක්ත ඛණ්ඩක මඟින් සමේ සෛල තුවාල කරයි. ඊට අමතරව දිගුවේලාවක් අධික හිරු එළියේ සිටීමේදී පාරජම්බුල කිරණවලට නිරාවරණය වීම හේතුවෙන් ද සමේ සෛලවලට තුවාල සිදු වේ.
මේ හේතු මඟින් සමේ නිරෝගීබවට බාධා ඇතිවෙයි. නමුත් බොහෝ ප්‍රතිඔක්සිකාරක ගුණයන් සහිත අහාර හා පලතුරු මඟින් මේ තත්ත්වයන් හොඳින් පාලනය කළ හැකියි. කෙඳි සහිත ආහාර වර්ග මේදය අඩු යෝගට් මෙන්ම පේර, උගුරැස්ස, වෙරළු, ලොවි ආදී පලතුරු මඟිනුත් එහි ඇති ප්‍රතිඔක්සිකාරක, විටමින් ඒ වැනි දේ ආධාරයෙන් සමේ අපද්‍රව්‍ය ඉවත් කර සම වයසට යාම පාලනය කළ හැකියි.
මානසික ආතතිය සම කළු පැහැයට හරවයි
සිරුරේ සමහර හෝමෝන වැඩි වීමේදී සම කළු පැහැයක් ගනී. විශේෂයෙන් කෝටිසෝල්, මෙලටොනින්, ඇඩ්රිනලීන් වැනි හෝමෝන මීට අදාළ වේ. කෙනෙකු මානසික ආතතියට පත් වීමේදී සම කළු වන්නේ මේ හේතුව නිසයි. මානසික ආතතිය පාලනය කිරීමෙන් මේ හෝමෝනවල වැඩි වීම ද පාලනය කළ හැකියි.
සමුද්‍රිකා වර්ණකුල
උපුටා ගැනීම: ආරෝග්‍යා