top of page

නැගෙනහිර සුන්දර මුහුදු තීරයේ ගිනිකොණට වන්නට වූ වෙරළ ඇසුරේ පිහිටි නිල්ලෙන් පිරුණු කුමන මහ කැලෑව සොබාදම් දිනිතිය විසින් අපට දායාද කර ඇති අමිල වූ වටිනා කමකින් යුත් ජෛව විවිධත්වයෙන් අනූන වනජීවී රාජධානියක්‌ බව අමුතුවෙන් සටහන් කළ යුතු නැත. දෙස්‌ විදෙස්‌හි එය පතළව ඇත්තේ කුරුලු පාරාදීසයක්‌ ලෙසයි. එය සැබෑවක්‌ වුවද සැබවින්ම අප කවුරුත් දකින්නට ආශා කරන සද්දන්ත අලි ඇතුන් මෙන්ම ගෝරතර දිවියන්, වළසුන් මෙන්ම ගෝනුන්, මුවන් වැනි අහිංසක සතා සීපාවුන්ගෙන් කුමන ජාතික වනෝද්‍යානය අඩුවක්‌ නම් නැත.

සොබා සිරියෙන් සපිරි කුමන අප සතු ජාතික වනෝද්‍යාන වලින් සිව්වැන්නය. එය හෙක්‌ටයාර් තිස්‌අටදහස්‌ හයසිය හැටහතරකට මඳක්‌ (38,664.74) වැඩිය. අදින් වසර හතරකට පෙර රජය විසින් නිකුත් කළ ගැසට්‌ නිවේදනයකින් ඒ බිම් ප්‍රමාණය පුළුල් කරන්නට පෙර එහි වපසරිය හෙක්‌ටයාර් දාහත්දහස්‌ අටසිය හැට තුනකට (17863.4) පොඩ්ඩක්‌ වැඩි විය. කුමන මහ කැළයේ ඇති ජෛව විවිධත්වයේ අගය මැනවින් වටහා ගත් 1965 දී පැවැති ආණ්‌ඩුව විසින් 1969 අවුරුද්දේ දී හෙක්‌ටයාර් හයසිය හැටතුනයි දශම දෙකයි පහකින් (663.25) යුත් භූමියක්‌ කුමන ජාතික වනෝද්‍යානයේ ප්‍රකාශයට පත් කිරීම අගය කළ යුත්තේය.

 

මේ සුන්දර වන උයන, යාල ජාතික වනෝද්‍යානයෙන් වෙන්වෙන්නේ කුඹුක්‌කන් ඔයෙනි. මේ අරණ තණ පිටි හා කටු පඳුරුවලින් ගහණය. තැන තැන දක්‌නට ඇති ගල් කඳු එහි පරිසරයට එක්‌ කරන්නේ අමුතු සුන්දරත්වයකි. නැගෙනහිර වෙරළ තීරයේ මෙය පිහිටා ඇති නිසා මෙහි උස්‌ කඳු හමු නොවේ.
කුඩුම්බිගල, බඹරගස්‌තලාව, බාගුර, කෝන්ගල, කිරිපොකුණුහෙළ ආදී ගල් කඳු මවන්නේ දුටුවන්ගේ නෙත් සිත් පිනවන දසුන්ය.

ඊසාන දිග මෝසම මගින් වැඩි වර්ෂා පතනයක්‌ ලබන කුමන ජාතික වනෝද්‍යානයේ පිහිටි ඕකන්ද, තුන්මුල්ල, දිවුල්පල්ලම, එරමිණියන් වැව, අලුත්වැව හා බක්‌මීවැව ආදී වැව් එහි වසනා සතා සීපාවන්ගේ පහස නිවන්නට මෙන් වැසි ජලය එක්‌රැස්‌ කර ගනී. කුමන වන රාජනිය දකුණින් මායිම්ව ගලනා කුඹුක්‌කන් ඔය වසර පුරා නිසොල්මනේ කරනා කාර්යය මත ඔය දෑලෙහි වෙනස්‌ පාරිසරික තත්ත්වයක්‌ නිර්මාණය කරන්නීය.

කුමන සොබා සිරිය වඩාත් වර්ණවත් කරන්නේ එහි පිහිටි බාගුර, අන්දරකල, ඉටිකල, යාකල ආදී කළපු සමූහයයි. සැප්තැම්බර් මස සිට අඅප්‍රේල් දක්‌වා වූ කාලය තුළ මේ කලපුවලට පෙම් බැඳ සැතපුම් දහස්‌ ගණනක්‌ වූ ඈත දුරු රටවලින් පැමිණෙන සංක්‍රමනික පක්‍ෂීන්ගෙන් කුමන වර්ණවත් වන අපූරුව මැනිය නොහැකි තරම්. සංක්‍රමනික සියොතුන්ගේ වඩාත් සිත්ගත් තැන නම් කුඹුක්‌කන් ඔය මෝය ආශ්‍රිතව නිර්මාණය වී ඇති කුමන විල්ලුවයි.

 

රතු වැකියා, විවරතුඩුවා, පැස්‌තුඩුවා, පාදිලිමානාවා, තට්‌ටමානාවා, දියකාවා, සියක්‌කාරයා, සේරුන් මෙන්ම වළි කුකුළා, අළු කෑඳැත්තා, හිස රතු කොට්‌ටෝරුවා, හිස කළු කොණ්‌ඩයා, මුදුන් බොර දෙමිළිච්චා ඇතුළු දෙස්‌ විදෙස්‌ පක්‍ෂීන්ගේ කිචි බිචිය දෙසවනට මිහිරිය. 

 

ගල් ඉබ්බන්, කිරි ඉබ්බන්, තාරකා ඉබ්බන් මෙන්ම නානා වර්ගයට අයත් මිරිදිය මත්ස්‍යයන් ද ‌ අපේ දේශයේ වාර්තා වන පක්‍ෂි ගණ හාරසිය විසි අටෙන් විශේෂ දෙසිය අසූ දෙකක්‌ කුමන වන වදුල්හි සැරි සරති.
යාල නැගෙනහිර ජාතික වනෝද්‍යානය වූ කුමන මහ කැලෑවේ දළ ඇතුන් දහයක්‌ දොළහක්‌ ද සහිතව අලින් ප්‍රමුඛ ක්‍ෂීරපායි සත්ව වර්ග හතළිස්‌ දෙකක්‌ පමණ දැකගත හැකිය.

දිවියන්ද වළසුන්ද කුමනදී ඔබට දැකීමට හැකියාවක්‌ ඇත. කුළු මීමුන්, වල් ඌරන්, ගෝනුන්, මුවන් ආදී සිව්පාවුන්ගෙන් කුමන, පොහොසත්ය. අහසට මුව අයාගෙන හිරු රැස්‌ බොමින් විල්ලු හා කළපු අයින්හි සිටිනා කිඹුලන් ද අධික විෂ සහිත නයි, පොළොන්, කරවුල් ආදී උරග විශේෂ විසිඅටක්‌ද යාල නැගෙනහිර වන ඝටකයේදී අපට හමුවේ. උභය ජීවීන් දාහතර වර්ගයක්‌ද මෙහි සිටී.

කුමන ජාතික වනෝද්‍යානය

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page