top of page

ලංකාවේ එකම ස්ථානයකදී වියළි කලාපීය වනාන්තරත්, තෙත් කලාපීය සදාහරිත වනාන්තරත්, කඳුකර වනාන්තරත් දැක ගත හැකි වන්නේ ඉතා කලාතුරකින්. එවන් දුර්ලභ පරිසර පද්ධතියක් සහිත වන බිමක් තමයි රිටිගල දැඩි රක්ෂිතය. දඹුල්ල නගරයේ සිට නම් රිටිගල පිහිටා තිබෙන්නේ කිලෝමීටර් 27 ක් දුරින්. හබරණ කැකිරාව මාර්ගයේ පැමිණ ගනේවල්පොල හරහා හෝ අනුරාධපුරයේ සිට මිහින්තලය හරහා පැමිණ චුරියකඩවල හරහා හෝ රිටිගල අධිරක්ෂිතයට පැමිණිය හැකියි.රිටිගල ශ්‍රී ලංකාවේ ඇති වන ජිවී දැඩි රක්ෂිතවලින් එකක්. මෙම පරිසරයේ ඇති වටිනාකම නිසාම හෙක්ටයාර් 1528 ක් වන මෙම භූමිය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැඩි රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1941 වර්ෂයේදී. මෙය නැරඹීම සඳහා වනජීවි සංරක්ෂණ අධ්‍යක්ෂකගෙන් ලිඛිත අවසරයක් ලබා ගත යුතුයි.

 

බොහොම ඉස්සර මේ රිටිගල කන්ද අරිට්ඨ පබ්බත නමින් ඳුන්වල තියෙනව. ඒ නමින් හඳුන්වන්න හේතු වුණා යැයි සිතෙන කරුණු දෙකක් තිබෙනවා. අරිට්ඨ කියල කියන්නේ උස යන්නට යෙදෙන පාලි වචනයයි. අනෙක් කාරණය තමයි අරිට්ඨ මහ රහතන් වහන්සේ මෙම භූමියේ වැඩ විසීම. (මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියායින් පසුව මහණ වුණු පළමු ශ්‍රී ලාංකික භික්ෂුවත්, පළමු ලාංකික මහරහතන් වහන්සේ ලෙසත් හැඳින්වෙන්නේ අරිට්ඨ තෙරුන් වහන්සේයි.)

 

රිටිගස් රිටිගලට මෙම නම ලැබීමට හේතු වූ තවත් කරුණක් ලෙස දැක්වෙන්නේ, කඳු වැටියේ පහළ ප්‍රදේශයේ පැතිරී තිබෙන රිටිගස් නිසා බවයි. රිටිගල කන්ද කියන්නේ එක කන්දක් පමණක් නෙමෙයි. කඳු පන්තියක්. මේ කඳුපන්තියේ උසම ස්ථානය හඳුන්වන්නේ කොඩිගල කන්ද කියලයි. ආඬියා කන්ද, උණ කන්ද, පලතුරු කන්ද, ඖෂධ කන්ද, අනෙක් කඳු ගැටයි. රිටිගල ගැන පුරාවෘත්තවල මෙහෙමත් සඳහන් වෙනවා. රාම රාවණා යුද්ධයේදී තුවාලවුණු ලක්‍ෂමන්ට ප්‍රතිකාර කිරීමට හනුමන්තා විසින් හිමාලවනයෙන් ඖෂධ පැළෑටි තියෙන බිම් කොටසක් අරගෙන ආවා. එහෙම එන විට කුඩා බිම් කොටසක් උණවටුනේත්, දොළුකන්දේත් අතහැරුණා. තවත් කොටසක් රිටිගල අතහැරී තිබෙනවා. මේ විදියට හිමාලයෙන් කොටසක් ලංකාවට ගෙනාවේ සංජීවන කියන ඖෂධය සොයා ගැනීමටයි. ඒ පුරාවෘත්තය කෙසේ වුවත්, සංජීවනී නමින් හඳුන්වන ඖෂධය රිටිගල දී අදත් දැක ගත හැකියි.

 

ජෛව විවිධත්වයත් උෂ්ණත්වය සහ දේශගුණය අතින් රිටිගල විශේෂත්වයක් ගන්නවා. ලංකාවේ ඇති දේශගුණික කලාප සියල්ලම වාගේ මේ කන්දේ තැන තැන දැක ගන්න පුළුවනි. කන්දේ පහළ තිබෙන්නේ වියළි කලාපීය දේශගුණයක්. ඉහළ ප්‍රදේශයේ කඳුකර දේශගුණික ලක්ෂණ පෙන්නුම් කරනවා. රිටිගල දී හමුවන ශාක විශේෂ අතරින් 337 ක් සපුෂ්පික ශාක වේ. 51 ක් විනාල ශාක. ඒ අතරට මීවන විශේෂ 28 ක් ද අයත් වෙනවා. මඩු ශාකය තමයි රිටිගල දී හමුවන එකම විවෘත බීජක ශාකය වන්නේ. රිටිගලදී හමුවන ශාක අතරින් විශේෂ 200 ක් ම ඖෂධ සඳහා නිතර භාවිතා කරන ශාකයි. ඒ වගේම මුළු ලෝකයෙන්ම රිටිගලදී පමණක් හමුවන ශාක විශේෂ 3 ක් තියෙන බව ඔයාල දන්නවාද? ඒ තමයි, රිටිගල ගල් කප්පරවල්ලිය, රිටිගල වන මී, රිටිගල තම්බර්ජියා යන ශාක.

 

සත්ව විශේෂ ගණනාවකටම රිටිගල වනය සෙවණ සලසනවා. දිවියා, අඳුන් දිවියා, ගෝනා තිත්මුවා ඒ අතරින් විශේෂයි. මේ වනය තුළ කුරුලු විශේෂ 97 ක් පමණ ජීවත් වන බවයි පක්ෂී විද්යාඥයින් කියන්නේ. ලංකාවට ආවේණික පක්ෂී විශේෂ 8 ක් ඒ අතර වෙනවා.

 

බැලුම්ගල මතට නැඟි විට ඈත බලන්න පුළුවන්. ආරක්ෂාව පතා මෙහි හැංගිලා සිටි අය සතුරන් එනවද කියලා බැලුවේ මෙතනට නැඟලයි. කන්දේ ඉහළට යන විට දැනෙන්නෙ හෝර්ටන්තැන්නට ගියා වැනි හැඟීමක්. නිතර මීදුම්න් වැසුණු මෙවැනි වෙනත් පරිසර පද්ධතියක් වියළි කලාපය තුළ හමුවන්නේ නෑ. කුඩා දිය බුබුළක් මේහිදි අපට දැකගත හැකිය. එ තමයි මල්වතු ඔය පටන්ගන්නා තැන. මහා ජල කඳක් ලෙසින් මුහුදට ගලා බසින මල්වතු ඔයේ ආරම්භයත් මෙහිදි අපට දැකගත හැක. රූස්ස ගස්වැල් වියන යටින් ඇවිද යන ඔබට කිසිවිට විඩාවක් නො දැනෙනු ඇත.

රිටිගල දැඩි රක්ෂිතය

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page