top of page

මෙරට ඉතිහාසය තුළ මහ බල පරාක්‍රමයක් විහිදූ රාවණා රජු දසිස් නමින් හඳුන්වති. හිස් දහයක් තිබුණු නිසා දසිස් යැයි පැවසුනද රාවණා මහ රජුගේ ශිල්පීය දක්ෂතා නිසා දසිස් නමින් හුවා දැක්වීමට අපේ පැරැන්නෝ උත්සාහ දරා ඇත. මේ ප්‍රතාපවත් රාවණා රජු දක්ෂ වෛද්‍යවරයෙකු බවත් රජුගේ ඖෂධ උයන හග්ගල කන්ද ආශ්‍රිතව තිබු බව කියැවේ. රාමා සිතා කතාන්දරයේ සීතා දේවිය ස්ත්‍රී පුර ගල්ලෙනක සඟවා සිටියදී මතුවූ අක්ෂි ආබාදයට ප්‍රතිකාර කළේ හග්ගල ඖෂධ උද්යානයේදී බව ඓතිහාසික තොරතුරු අපට කියයි. එදා සීතාවන් රෝගයෙන් සුවය ලැබූ තැන අද "සීතාඑළිය" ලෙස සලකුණු ලැබේ. අවුරුදු දහස් ගණනකට පෙර අති දක්ෂ වෛද්‍යවරයෙකුගේව පැවති ඖෂධ උයන 1861 වසරේදී හග්ගල උද්භිද උද්‍යානය බවට පත්වූ අතර ඉංග්‍රීසි පාලකයන් නුවරඑළිය සිට බදුල්ල මාර්ගයේ කිලෝ මීටර් 9ක් පමණ ගිය තැනදී ඇරඹු දෙවන උද්භිත උද්‍යානය ලෙස හග්ගල සැළකේ.

 

මුහුදු මට්ටමෙන් මීටර් 2173ක් උසැති හග්ගල කඳුවැටිය පාමුල මීටර් 1745ක උසින් යුතුව එදා 1861දී අක්කර 500ක් පමණ පුරා විහිදී යන ආකාරයෙන් මේ හග්ගල උද්භිද උද්‍යානය ස්ථාපිත කර ඇත. ඉංග්‍රීසීහු තම යටත් විජිත රාජධානියේ සීඝ්‍රයෙන් පැතිර ගිය මැලේරියා රෝගය මර්දනය කිරීම සඳහා අවශ්‍ය ඖෂධයක් කොට සළකන "ක්විනින්" නිෂ්පාදනය කිරීම සඳහා "සින්කෝනා" නමැති ශාකයක් වගා කිරීමට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය හරහා 1859 වසරේදී පර්යේෂණ කටයුතු මෙම හග්ගල දී සිදුකර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස 1861 වසරේදී මෙම හග්ගල උද්‍යානය තුළ ඇතිකළ සින්කෝනා වගාව නිසා එය උද්භිද උද්‍යානයක් බවට පත්විය. නුවරඑළිය දිස්ත්‍රික්කය හා බදුල්ල දිස්ත්‍රික්ක දෙක යාවන හග්ගල කඳු වැටිය ආශ්‍රිතව පිහිටි හග්ගල උද්භිද උද්‍යානයට ඊසාන දිග හා නිරිත දිග මෝසම් වැසි ලැබෙන අතර වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2200 වේ. වසරකට දින 210ක් වර්ෂාව ලැබෙන මෙම උද්‍යානය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3-15ක් අතර පවතින ඉසව්වකි.

 

සම මිශ්‍ර දේශගුණයකින් යුතු හග්ගල කඳුවැටිය පාමුල පිහිටවූ හග්ගල උද්භිද උද්‍යානය, සොබාදහමේ අපූරු දායාදයක් වන හග්ගල දැඩි රක්ෂිතය ආශ්‍රිතව පිහිටා අති අතර 1861 වසරේදී අක්කර 500ක් පුරා තිබුණද අද අක්කර 68කට පමණක් සීමා වී ඇත. සින්කෝනා වගාවෙන් ඇරඹු හග්ගල උද්භිද උද්‍යානය ආශ්‍රිතව මෙරට ප්‍රධාන වැවිලි දෙකක් වූ කෝපි හා තේ වගාවන්ද පර්යේෂණ වශයෙන් සිදුකළ ස්ථානයක් බව කියැවේ. උද්‍යානයේ පර්යේෂණ සඳහා සිටවූ කෝපි ආදර්ශන නොවූවත් අඩි 15ක් උසට විහිදුණු තේ ගස් අපට අදද හග්ගල උද්භිද උද්‍යානයේදී නෙත ගැටේ.මෙහි 1861 වසරේ සින්කෝනා වගාව ආරම්භ කළ ස්ථානයෙහි අද තියෙන්නේ ආදර්ශයක් ලෙස සිටවූ ගසක්, ශ්‍රී ලංකාවට ආවේනික හා උද්‍යානයට ආවේනික ගස්වැල් වලට අමතරව විදේශයෙන් ගෙන්වා සිටවූ ශාකද ඕනෑ තරම් මේ උද්‍යානයේදී දැක ගන්න පුළුවන්. මේ මුළු උද්‍යානයම ගහ කොළවලින් පිරුණු එකක් නිසා මහත්වූ සිසිල් බවක් උද්‍යානය පුරාම තියෙනවා.

 

1883 දී සිටවූ ලොත්සුඹුල් ශාක එකතුව හා 1893 වසරේ දී චීනයෙන් ගෙන්වා මේ උද්‍යානයේ රෝපණය කළ කපුරු ශාක පද්ධතියද සැබැවින්ම ගෙනදෙන්නේ මහත්වූ සුවදායක පරිසරයකි. 1867 වසරේදී පර්යේෂණ සඳහා ඇසමයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වූ තේ ප්‍රභේද සිටවූ තේ වගාවේ පුරාණය හග්ගල උද්භිද උද්‍යානයේ ඉහළ මායිමේදී අපට දැකගත හැකිය. ඒවා අඩි 15ක් පමණ උස් ගස් බවට පත්වී ඇති අයුරු අපුරුය. හග්ගල උද්‍යානයේ අපූරු නිරමාණයකි. ස්වභාවික ගිරි උයන එය 1921 දී ස්ථාපිත කළ ඉතා ආකර්ශනීය සිරි ගන්වන්නකි. විවිධවූ ගල්කුළු වලින් පිහිටි අයුරින්ම ස්ථාපිත කරන ලද ගිරි උයන උද්‍යානයට මහත්වූ ආභරණයක් වි ඇත. උණුසුම් වු තැනක සිට වායු සමනය කළ කාමරයකට ඇතුළු වූවා ලෙස සුවයක් ගෙන දෙන මීවන උයන තුළ ඇති සිසිල හා නෙත් පිනවන පරිසරය සොබා දහමේ අපූරුව කියන්නක් වැනිය. මීවන උයන පුරාම දිලීර හා ඇල්ගී විශේෂ එකතු වී සැදුනු ලයිකන් වර්ග හා විවිධ පාසි වර්ගද මීවන උයනට සැරසිල්ලක් බඳුය.

 

හග්ගල උද්භිද උද්‍යානයේ විශාල භූමි පරාසයක් වසාගෙන ඇති වනෝද්යානය තුළ ඉතා ඉහළට විහිදී ගිය දේශීය මෙන්ම උප ඝර්ම කලාපීය රටවලින් හඳුන්වා දුන් රූස්ස වෘක්ෂ ලතා දැක ගත හැක. එම සෑම ශාකයකම උද්භිද විද්‍යාත්මක නාමය කුලය හා සම්භවය දක්වන නාම පුවරුද දැක ගන්නට පුළුවන. මෙහි ශාකාගාරයේ වසර 100ක වඩා පැරණි ශාකවල නිදර්ශන බලා ගන්න පුළුවන්. කඳුකර වනාන්තර හා කඳුකර ප්‍රදේශයේ ශාකවල වියළි නිදර්ශන ශාක කුල වලට විශේෂ වලට අනුකූලව වෙන් වෙන් වශයෙන් ආරක්ෂිතව තැන්පත් කර තිබෙනවා. 1000ක පමණ නිදර්ශන දැකගන්න පුළුවන්. ශාක පිළිබඳ පර්යේෂණ කරන ඕනෑම කෙනෙකුට මේ ශාකාගාර තුළින් බොහෝ දැනුම එකතු කර ගන්න පුළුවන්”

 

මෙහි ඉදි කොට ඇති නොක් ගිම්හාන නිවහන 1904-1909 දක්වා හග්ගල උද්භිද උද්‍යානය පාලනය කළ උද්‍යාන ආරක්ෂක ජේ.කේ. නොක්ස් මහතා සිහිවීම පිණිස 1912 දී ඔහුගේ මිතුරන් විසින් ඉදිකළ සිහිවටනයකි. හග්ගල උද්භිද උද්‍යානයේ අවුරුදු 150ක ඉතිහාසය තුළ 1882-1940 දක්වා නොක්ස් පවුලේ සාමාජිකයන් තිදෙනකු අවුරුදු 58ක් කාලයක් පාලනය කර තිබීම විශේෂ සිද්ධියක් කොට සැලකිය යුතුය.

 

1881 වසරේදී හග්ගල සින්කෝනා වගාවේ පාලනයට පැමිණි විලියම් නොක් 1882 සිට 1904 දක්වා උද්‍යානයේ අධිකාරිවරයා ලෙස කටයුතු කර ඇත. සින්කෝනා වගාව ඇරඹූ හග්ගල උද්‍යානය උද්භිද උද්යානය උද්භිද උද්යානයක් ලෙස පරිවර්තනය කළ විලියම් නොක් 1904 ජූලි 18 වසරේ විශ්‍රාම ගියේ තම පුතු වු ජේ.කේ. නොක් උද්‍යාන අධිකාරි ලෙසට පත් කරය. ජේ.කේ. නොක්ට හග්ගල උද්‍යානය පාලනය කරන්න හැකිවූයේ අවුරුදු 5 මාස 3ක් පමණි. තම පියා සේම ජේ.කේ. නොක්ද උද්‍යානයට ඉමහත් සේවයක් ඉටුකළ අයෙකි. කෙටි කාලයක් උද්‍යානය පාලනය කළ ජේ. කේ. නොක් මහතා නිවාඩුවක් ගත කිරීමට බ්‍රිතාන්‍ය බලා නැවකින් ගමන් ගනිද්දී 1909 දෙසැම්බර් 13 දින ගමන්ගත් නැව අනතුරට ලක්වීම නිසා ඒ මහතා මියගිය අතර ඔහුගේ නෑදෑ හිත මිතුරන් නොක් මහතා සිහිවීම පිණිස මෙම ගිම්හාන නිවෙස 1912දී ඉදිකළ බවට ගිම්හාන නිවහන තුළ පිහිටි සිහිවටන ඵලය අපට කරුණු කියයි. මේ අපූරු මිනිසා භාවිත කළ හිස් වැසුම අදද හග්ගල උද්‍යානයේ ඇති අපූරු මතක සලකුණකි.

 

හග්ගල උද්‍යානයේ ඇති රෝස උයන, පළතුරු උයන, වීදුරු ගෘහය, ඉහළ පුෂ්ප උයන, අධ්‍යයන හාව්‍යාප්තිය, රෝස උයන පැළ විකුණුම් හල බල්බ උයන හා මධ්‍යම පොකුණ ආදිය වැදගත් තැනක් ගනී. අක්කර 68ක් තුළ ඉතා අරපරිස්සමින් හෝරා කීපයක් ඇවිද යන ඔබට අවුරුදු 150ක් සපිරි හග්ගල උද්‍යානයේ අසිරිය මනාව දැක ගත හැක. මේ උද්යානය තුළ ශාක 20,000ක් පමණ පවතින අතර ඒවා දේශීය විදේශීය හා ආවේණික වශයෙන් අපට හදුනා ගත හැක. ඒ අතර ලංකාවට ආවේණික ශාක 4143ක්ද ලංකාව හා විදේශීයට ආවේණික 3107ක්ද හග්ගලට ආවේණික ශාක වර්ග 100ක් පමණද අප උද්‍යනයේ තිබෙනවා. අද උද්‍යානය තුළ තිබෙන ගස් අවුරුදු 100 ට වඩා පැරණි ඒවා ඒ නිසාමයි උද්‍යානයේ වටිනාකම ගොඩනැගෙන්නේ. 1860 සිට මේ උද්‍යානය භාරව පාලකයන් ලෙස 19 දෙනකු කටයුතු කර තිබෙනවා.

 

හග්ගල උද්භිද උද්‍යානය

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page