top of page

මුන්ස්ටෝන්ස්

     මුන්ස්ටෝන්ස් යනුවෙන් අදහස් වෙන්නේ මැණික් වර්ගයකි. මැණික් ඇත්තේ රුවන් පුරයේය. එවන් ගමක මැණික් වන් වටිනාකමකින් යුත් සතර දෙනෙක් 1965 දී මුන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායම ආරම්භ විය. ක්ලැරන්ස් විජේවර්ධන, ඇනස්ලි මාලවන, මොන්ටි වත්තලදෙණිය සහ ධම්මික විජේසිරි යන මිතුරන් එහි ආරම්භක සාමාජිකයන් වේ. 

 

 

     රත්නපුරේ පදිංචිව සිටි ඇනස්ලි ඇලෝසියස් මාලවන සහ මාතලේ උපන් ක්ලැරන්ස් විජේවර්ධනයන් බටහිර ගී ශ්‍රවණය කළ Country and Western ශෛලිය ප්‍රිය කළ අතර ඇනස්ලි මාලවන එවකට ලංකාවේ බටහිර pop කණ්ඩායම්වල ගීත ප්‍රිය කළ කෙනෙකු විය.  ක්ලැරන්ස් විජේවර්ධනයන් බොක්ස් ගිටාරය වයමින් ඔහුටම අවේණික වාදන ශෛලිය ප්‍රගුණ කරගත් කෙනෙකු විය. ගීත රචනයේ සහ තනු නිර්මාණයේ ඇති දක්ෂයෙකු වූ ඔහු නිර්මාණය කළ ගීත මුලින්ම රටට හඳුන්වා දුන්නේ සඟබෝ කොරයා මහතාය. කොරයා මහතාගේ සහයෝගයෙන් ගුවන් විදුලියේ පැවැත්වූ Saturday Stars වැඩ සටහනට " දිල්හානි දුවණි, මුහුදු රැල්ල, මංගෝ කළු නැන්දේ, රුවන්පුරය" යන ගීත ගායනා කිරීමට ඔවුන්ට අවස්ථාවක් උදා විය. මෙම ගීත ගායනා කළේ ඇනස්ලි මාලාවන විසිනි. කණ්ඩායමේ සංගත ගයනා ඇතුළත් වූ මෙම ගීත සිංහල සංගීත ලෝකයට නව රසයක් ගෙනාවේය. පසුව ඩෙරික් සහ ලින්කන් ද සිල්වාගේ ආරාධනාවෙන් මොරටුවේ පැවැත්වුණු Star Parade වැඩසටහනට ඔවුන්ට

අවස්ථාව උදා විය. එහිදී ලැබූ යහපත් ප්‍රතිචාරවලින් පසුව ඔවුන්ගේ පළමු ගී තැටිය නිකුත් විය. මංගෝ කළු නැන්දේ සහ රුවන්පුරය යන ගී එහි අඩංගු විය. ගුවන් විදුලියේද අඩු කාලයකට පමණක් සිමා වූ කණ්ඩායම් ගී තිරයෙන් මෙම ගීත ප්‍රචාරය විය. එම වකවානුවේදී ශානක පෙරේරා සහ විජිත් පිරිස් මුණ ගැසීමෙන් ඔවුන්ගේ කණ්ඩායමේ ඉලෙක්ට්‍රික් ගිටාර් සමඟ ගායනා කිරීමට ඇනස්ලි මාලවන සහ ක්ලැර්න්ස් විජේවර්ධනට අවස්ථාව උදා විය. එම ශබ්ද රසය ඔවුන්ගේ ශෛලිය හා සැසදෙන බව වැටහුණ ක්ලැරන්ස් විජේවර්ධන ඔහු හා එක් වන්නට ඔවුන්ට ආරාධනා කළේය.

     ඔවුන් එවකට සම්බන්ධව සිටි බිකන්ස් නම් කණ්ඩායමෙන් ඉවත් වී ඇන්ටන් ගුණතිලක, සුනිල් මාලවන, මංගල, යන සාමාජිකයන් ද  සමඟ 1968 “කළු මාමා,  රෝස මලේ,  සුමුදු සමන් මල්,  රමණි” යන ගී හතර තැටි ගත කොට එළි දක්වමින් ඔවුන් නව ශෛලියක් ගී ලොවට හඳුන්වා දෙන ලදී. මෙම ගීත සියල්ලම කණ්ඩායම වෙනුවෙන් ගායනා කළේ ඇනස්ලි මාලවනය. කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් Harmony ගායනාවලින් ඔහුට සහය විය. තනි පුද්ගල ගීයකට වඩා කණ්ඩායම් ගියක රසය එම ගීතවල අදටත් පවතින්නේ එම නිර්මාණශීලි බව නිසාමය. එහිදී ඔවුන් වාදනය කරන සංගීත භාණ්ඩවලට අමතරව පියානෝව, සිතාරය, මෙලෝඩිකාව වැනි සංගීත භාණ්ඩ එම ගීතවල අගය වැඩි වන ආකාරයට යොදා ගන්නා ලදී. සිත උදේ පිපි මල් ගීතයේ අතුරු වැයුම තුළ සිතාරය ද රමණි ගීතයේ පෙර සහ අතුරු වැයුම සඳහා මෙලෝඩිකාව යොදා ගැනීම නිදසුන් ලෙස පෙන්විය හැකිය. එහි “රමණි” ගීතය සඟබෝ කොරයා මයාගේ ගේ දියණිය වෙනුවෙන් නිර්මාණය විය. එම ගීතද රසිකයන් අතර මහත් ආන්දෝලනයක් ඇති කරන ලදී.

 

     1968 අවසාන කාලයේදී ජේර්ල්ඩ් වික්‍රමසුරිය මහතාගේ දායකත්වයෙන් තුන්වන ගීත තැටිය එළි දක්වන ලදී. එම තැටියට ඉන්ද්‍රානි පෙරේරාගේ මධුර හඬ කණ්ඩායමට එකතු විය. “දිල්හානි, සුමුදු මල්, ගොන්වස්සා, කුසුම් ලතා” යන ගීත එහි අඩංගු විය. එම ගීත මුළු රට පුරාම කාගේත් කතා බහට ලක්වන ගී අතරට එක් විය. ගමක සිරියාව, ගැමි පෙම්වතියන් ඇතුළු බොහෝ ගීත ගම වෙනුවෙන් ලියවුණු නිර්මාණය විය. මැණිකේ සුදු මැණිකේ, ගොයම් කපනවා මැණිකේ, කුසුම් ලතා, කළු මාමා රාළහාමි, එයට නිදසුන්ය. 

     1969වසරේ කරුණාරත්න අබේසේකර ඔහුගේ පුතු වෙනුවෙන් රචනා කොට ක්ලැරන්ස් විජේවර්ධන තනු නිර්මාණය කළ දිලීප පොඩි පුතු ගීතය ඔහුගේ කුළුදුල් ගීය විය. එදා මෙදා මෙම ගීතය මුමුණන රසිකයන්ගෙන් අදටත් අඩුවක් නැත. ක්ලැරන්ස් විජේවර්ධනයන් මෙම ගීතය ගායනා කිරීමෙන් පසු  ඔහු එම කණඩායමෙන් ඉවත් විය. රාළහාමි, නාලි මනමාලි වුනදා , පියාණනි, සලා සළු රුවන් ඇතුළු ග රැසක් ඔහු විසින්  නිර්මාණය කරන ලදී. පසුව ඇනස්ලි මාලවන ඔහුගේඅඩුව පිරවීමට මයික් ගුණසේකර සමඟ එකතු වී  තොටියා, දුන්හිද මනමාලි වැනි ගීත එළි දක්වමින්  මුන්ස්ටෝන් සංගීත කණ්ඩායම පවත්වාගෙන යන ලදී. චන්ද්‍ර මාණික්‍ය යන අරුත ගෙනෙන මුන්ස්ටෝන්ස් කණ්ඩායමේ ගීතවල වටිනාකම තවමත් රැදී තිබෙන්නේ මැණික්වලටත් වඩා දහස් ගානක් ඉදිරියෙනි.

 

 

2014-03-10 ඇනස්ලි මාලවන සහ ශානක පෙරේරා සමඟ ගී රේඩියෝ සමඟ කළ සාකච්ජාවක් ඇසුරිනි.

     ඇනස්ලි මාලවනගේ බොහෝ ගීත බටහිර සංගීත ශෛලිය සමඟ සම්මිශ්‍රණය වී සංගත (Harmony) ගායනා ඇතුළත් වූ ගීත විය. ගුවන් විදුලියේ සිංහල සේවයෙන් පමණක් නොව ඉංග්‍රීසි සේවයෙන්ද මෙම ගීත ප්‍රචාරය වීමෙන්ද  බටහිර ගීතද ශ්‍රවණය කරන පිරිස අතරද මෙම ගීත ප්‍රසිද්ධ විය. ඉන්ද්‍රානි පෙරේරාගේ මිහිරි හඬට බොහෝ දෙනෙක් ප්‍රිය කළ අතර දිල්හානි E Pගී තැටිය බොහෝ සේ අලෙවි වූ  අති සාර්ථක තැටියක් විය. එම ගීතයේ  Harmony ගායනයන්ද ඉන්ද්‍රානි පෙරේරාගේ හඬම යොදා ගැනීම එකල විශේෂ පටිගත කිරීමකි.  සුමුදු මල්, පෙම් කතාව, සලා සළු රුවන් සහ, Bassanova රිද්මයට ඉන්ද්‍රානි පෙරේරා ගායනා කළ සිගිරිය ක්ලැරන්ස් විජේවර්ධනගේ අපුරු නිර්මාණයක්ය.මැද මාවතක නිර්මාණය වූ ගී රසය ලොකු පොඩි කාගේත් සිත් පැහැර ගත්තේය. මේ ගීතවල පද මාලාවන් තුළද තිබුනේ සරල රසයක් මතු කරන ගැඹුරු සිතුවිලිය.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page