top of page

ලා බම්බාස්

1960 යුගයේ අවසාන කාලයේ මොරටුවෙන් බිහි වූ ගායක කණ්ඩායමකි ලා බම්බාස්. මෙහි ආරම්භක කන්ඩායම ප්‍රියා පීරිස්, බ්‍රයන් ප්‍රනාන්දු, රොලින්සන් ප්‍රදිනාන්දු, ලෙස්ලි ප්‍රනාන්දු, එරින්ටන් පෙරේරා,සුනිල් යන සාමාජිකයන්ගෙන් සමන්විත විය. මෙම කණ්ඩායමේ ගී නිර්මාණය කරන ප්‍රීයා පීරිස්, කුඩා කල සිටම සංගීතමය හැකියාවන් දායාද කරගෙන තිබිණ. නත්තලට තෑගි ලැබූ  "Mouthorgen" සංගීත භාණ්ඩය ස්වඋත්සාහයෙන් වාදනය කරන විට ඔහුගේ හැකියාවන් දුටු ඔගන්වාදකයෙකු වූ තම පියා ඔහු ගැන අනාවැකි කිව්වේය.  තවද ඔහු ශා:තෝමස් විදුහලේ ඉගෙනගන්නා කාලයේ පාසලේ ගී කන්තාරු කණ්ඩායමේද ප්‍රබල සාමාජිකයෙකු විය.

2014-03-26 වන දින ප්‍රියා පීරිස් "ගී රේඩියෝ" සමග කළ සාකච්ඡාවක් ඇසුරෙනි.

 

1963 දසකයේ රත්නපුර ශා:ඇලෝසියස් පාසැලේ ඉගෙන ගන්නා අතර පාසැලේ පැවැත් වූ සංගීතමය තරගයකට ගිටාරය වයමින් මුලින්ම බටහිර ගීතයක් ගයනා කිරීමෙන් ඔහු සංගීත ලොවට මුල පිරුවේය. ඒ නිහාල් ජයසිංහගේ සහයෝගය ඇතිව ගිටාරය අධ්‍යනය කර තිබුණ හෙයිනි. සුනිල් ශාන්ත, චිත්‍රා සෝමපාල, පී.එල්.ඒ. සෝමපාලයන්ගේ ගීත ඔහුගේ සංගීතමය උද්දීපනය ඇති කළේය. 60 දසකයේ American Folk And Pop Music සංගීත කණ්ඩායමක් වූ Kingston Trio බටහිර ගායක කණ්ඩායමේ වාදන සහ ගායන ශෛලීය බොහෝ සේ ප්‍රිය කළ ඔහු එම ශෛලිය සිංහල ගීත සමඟ සංමිශ්‍රනය වන ලෙස වාදනය සහ ගායනය සකස් කර ගනිමින් 1967 දී මුලින්ම “බසිම් බීස්”යන නමින් සැදුම් ලත් සේපාල ගුණසේකර, වසන්ත අබේකෝන්, උපාලි අබේකෝන්, බජි ගුණසේකර, තියඩෝර් ගුණසේකර, ක්ලින්ටන් ගුණවර්ධන, යන කණ්ඩායම මුලින්ම “Singer කෝකිල හඬ”යන සංගීත තරඟය වෙනුවෙන් ඉදිරිපත් විය. ඒ අවස්ථාවේ ඔවුන් සහභාගී වුණේ “බසිම් බීස් යන නමින් නොව රැන ගිරව්”යන සිංහල නමිනි. 

 

ගුවන් විදුලියේ ප්‍රචාරය වූ "Obsever Talent Contest" වැඩසටහනට ඉදිරිපත් වීමට ඔවුන්ට අවස්ථාව උදාවිය. ලස්ලා ප්‍රනාන්දු, එරින්ටන් පෙරේරා, සුනිල් පෙරේරා, ප්‍රියා පිරිස්, බ්‍රයන් ප්‍රනාන්දු, රෝලින්සන් ප්‍රදිනාන්දු ඇතුළු පිරිස මේ සඳහා සුදානම් විය. එම තරඟය ලා බම්බාස් කණ්ඩායම ආරම්භ වීමට හේතුවිය. ලා බම්බාස් යන නාමය ස්පාඤ්ඤ රංගනයක් වෙනුවෙන් නිර්මාණය වූ ගීතයක නම ඇසුරෙන් (ලා බම්බා) ලා බම්බාස් යන නම ස්ථිර කළේ බ්‍රයන් ප්‍රනාන්දු විසිනි. නමුත් එදින වැඩසටහන තුළ තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර දෝෂයක් හේතුවෙන් ඔවුන්ට ඔවුන්ගේ ගීතය සාර්ථකව ඉදිරිපත් කර ගැනීමට නොහැකි වුවත් ඔවුන් සංයෝජනය කළ ශබ්ද රසය ඔවුන්ව නව මඟකට යොමු කරන ලදී. මන්ද මෙම වැඩසටහනට ඔවුන් වාදනය කළේ spanish ගිටාර් සහ තාල තරංගයන්ය. නමුත් මීට පෙර ඉලෙක්ට්‍රික් ගිටාර් භාවිතා කරමින් විවිධ කණ්ඩායම් වල වාදනය කළ ඔවුන්ට මෙම නාද සංකලනයට සිත් ඇදිනි. මන්ද එකල ජනප්‍රියව තිබූ ලොස් මුචාචෝස්, ලා සිලෝනියන්ස්, ලොස් කැබලේ රෝස් යන කණ්ඩායම් ද මෙම ශෛලියට සමීප සංගීත රටාවන් අනුව ගීත ගායනා කළ යුගයන් විය. ගායනයට මුල් තැනක් දිය හැකි වන අයුරින් මෙම ගීත නිර්මාණය වී තිබුණි. බ්‍රයන් ප්‍රනාන්දු ජෑස් ඩ්‍රම්ස් ද, ප්‍රීයා පීරිස් ඉලෙක්ට්‍රික් ගිටාරය අතහැර මෙම ශෛලිය තෝරාගන්නා ලදී. බටහිර කණ්ඩායමක් වූ ලොස් පැරගුවාස් කණ්ඩායමේ ශෛලියද ඔවුන්ගේ ගීත වලට ආභාෂයක් විය.

1970 මුල් යුගයේ ඔවුන්ගේ කුළුඳුල් තැටිය නිකුත් විය. එන්න යන්න නෙළුම් විලේ, සමන්මලී ඔබේ අත සරසන්න, හඳපානේ යන ගීත හතරක් එහි අඩංගු විය. රොලින්සන් ප්‍රදිනාන්දු රචනා කොට තනු නිර්මාණය කළ මෙම තැටියේ "ඔබේ අත සරසන්න" යන ගීතය බ්‍රයන් ප්‍රනාන්දුගේ නිර්මාණයකි. මෙම ගීතවල සංගීත සංයෝජනය ලා බම්බාස් කණ්ඩායමේ සමාජිකයන්ගේ එකමුතුවෙන් නිර්මාණය විය. හඳපානේ ගීතය ගායනා කිරීමට නවක ගායිකාවක් වූ  ක්‍රිස්ටීන් ගුණවර්ධන සම්බන්ධ කරගන්නා ලදී. ඇයව සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නේද ප්‍රීයා පීරිස් විසිනි. Harmony ගායනාවලට මුල් තැනක දුන් මෙම ගීත තුළද තිබුණේ ලොස් පැරගුවාස් කණ්ඩායමේ ලක්ෂණයන්ය. 1967 පැරඩයිස් ලේබලය යටතේ කළ මෙම ගී තැටිය බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට නිෂ්පාදනය වූ පළමු EP ගී තැටිය ලෙස හැඳින්වේ. ඉන් පසුව "මැක්බර්ටන්" ලේබලය යටතේ Welcome to sunny lanka, ආයුබෝවන්, නාලී  ගීතය ක්‍රීස්ටීන් ගුණවර්ධන සමඟ ගායනා කළේය. 1970 දසකයේ ඔවුන්ගේ 3 වන තැටිය නිකුත් විය. "නුවරඑළිය යන්න, වැසිදා" ඇතුළු ගීත 4 ක් එහි අඩංගු විය.

එම දසකයේම ඔවුන්ගේ 4 වන ගී තැටිය නිකුත් විය. "කලේ උකුලේ තියලා, cook-a-doddle-doo (ඉංග්‍රීසි), ගලනා දිළෙනා, චූටිගේ පොඩි ගවුමේ" ගීත එහි අඩංගු වූ අතර මෙම ගීත ප්‍රීයා පීරිස් සහ රොලින්සන් ප්‍රදිනාන්දු නිර්මාණය කළේය. කණ්ඩායම් ගීත අතර බටහිර ගීතයක් අපගේ රසිකයන්ට තිළිණ කරන ලදී. කැලිප්සෝ ගීත ගායනා ශෛලිය අනුව නිර්මාණය වූ මේ ගීත තුළද ඇත්තේ සංගත ගායනාවල සංකලනයකි. කණ්ඩායමට අමතරව ද  ප්‍රීයා පීරිස් විසින් නිර්මාණය කළ ගීත  බොහොමයක් වේ. ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ගී නිර්මාණය කිරීමට හැකියාව ඇති ඔහු Wake up in sri lanka to a cup of tea යන ගීතය ඔහු විසින් නිර්මාණය කරන ලදී. ගිටාර් වාදනය සහ බෙරය පාවිච්චි කරමින් මෙහි සංගීත නිර්මාණයද ඔහුගෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ වසරේ 1996 "ක්‍රිකට්‌ ලොවේ ජය අපටයි" යන ගීතය ද නිර්මාණය කළේ ද ප්‍රීයා පීරිස් විසිනි. ලා බම්බාස් නමින් එම ගීතය මාධ්‍යයට මුදාහරින ලදී. සුසන්තිකා ජයසිංහ වෙනුවෙන් බ්‍රයන් ප්‍රනාන්දු ද ගීතයක් නිර්මාණය කරන ලදී. ප්‍රීයා පීරිස් විසින් පෝල් ප්‍රනාන්දු වෙනුවෙන්  "සුපුන් සඳක් අහසේ පා වුණා, මාලා, පාන් මාමා" යන ගීත නිර්මාණය කළ අතර ලංකිකා පෙරේරා ගායනා කරන "ගුවන් යානය, දිනක සයුර, රත්තරනේ" යන ගීත සඳහා ද තනු නිර්මාණය කරන ලදී. ඉන්ද්‍රානි පෙරේරා ගයන "ගාමිණී පැරකුම්" යන ගීතය ද ප්‍රීයා පීරිසගේ නිර්මාණයකි. ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් නිර්මාණය වූ උපහාර ගී තැටියක් සඳහා ගීත නිර්මාණය කළේ ද ප්‍රීයා පීරිස් විසිනි. මොරටුව කලා එකමුතුව ඉදිරිපත් කළ "මොරටුව" ගීතය රචනා කළේ ද ප්‍රීයා පීරිස් විසිනි. ගායනයේ රචනයේ තනු නිර්මාණයේ දස්කමක් ඇති ප්‍රීයා පීරිස් වර්තමානයේ මොරටුව කලා එකමුතුවේ ප්‍රබල සාමාජිකයෙකි. පද රචනය, තනු නිර්මාණය, ගායනය සහ වාදනයට දස්කම් පාන ලාබම්බාස් සංගීත කණ්ඩායම නිර්මාණය කල ගීත අදටත් රස විඳින්නට හැකිය.

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page