top of page

ගෝල්ඩන් චයිම්ස්

ක්ලැරන්ස් විජේවර්ධන {රිද්ම් ගිටාරය} ශානක පෙරේරා {බේස් ගිටාරය}ඩික්සන්  ගුණරත්න {ලීඩ් ගිටාරය}සහ විජිත් පිරිස් {ඩ්‍රම්ස්} යන සාමාජිකයන් ආරම්භක කණ්ඩායම වු අතර තාවකාලිකව රංජන් ද කොස්තා සහ ක්ලින්ටන් ප්‍රනාන්දු සහභාගී වී තිබුණි. 1971 වසරේ ඔවුන්ගේ කුළුදුල් ගී තැටිය නිකුත් විය. සිහින් සිනාවයි, මගේ පැල්පතේ, පාටපාට රන් තටු සලලා (මෙම ගීතය ගුවන් විදුලියේ තහනම් ගීතයක් විය), කිමදනාවේ යන ගීත මෙහි අඩංගු වූ අතර විවිධ රිද්මයන්ට එම ගීත නිර්මාණය වී තිබුණි. Bossanova වැනි බටහිර රිද්මය අනුව “මගේ පැල්පතේ”ගීතය නිර්මාණය විය. එවකට එම රිද්මය අනුව ගී නිර්මාණය වුයේ මඳ වශයෙනි. එම ගීත ඉමහත් ජනප්‍රසාදයට පාත්‍ර විය. එම වසරේදීම ලංකිකා පෙරේරා එම කණ්ඩායමේ නිත්‍ය ගායිකාව ලෙස එකතු විය. ක්ලැරන්ස් විජේවර්ධන නිර්මාණය කළ සුරඟන වෙස් වලා, මගේ වියෝවෙන්, කිරි මුහුද, මලයි වැලයි  යන ගීත දෙවන තැටියෙන් එළි දැක්වූණ අතර එම ගීත තුළද බටහිර Country ගීත ශෛලියේ අභාෂය රැදී තිබුණ බැවින් රසිකයන් බොහෝ ප්‍රිය කළහ. මලයි වැලයි ගීතය ක්ලැරන්ස් විජේවර්ධන ලංකිකා සමඟ ගායනා කරන ලදී.

1972 වන විට කණ්ඩායමට අනිල් භාරති සම්බන්ද වී සිටියේය. මුහුදු රැල්ල, තරිකිට තරිකිට, සඳයි තරුයි, ඉරු දින යන ගීත මෙම වසරේ එළි දැක්විණ. එහි ලාංකිකා සහ අනිල් භාරති ගායනා කළ “සඳයි  තරුයි” ගීතය රිද්ම දෙකකින් නිර්මාණය වී තිබීම විශේෂත්වයක් වූ අතර ධිවරයින්ගේ ජීවිත ගැන කියවෙන “මුහුදු රැල්ල” ගීතයට ගිටාර් වාදනයේ පෙර වැයුම නවතාවයක් ගෙන නිර්මාණය කිරීම ගිතයට අලංකාරයක් එකතු විය. ධිවර ගීතයක් බටහිර සංගීතය මුසුකර නිර්මාණය කිරීම ක්ලැරන්ස් විජේවර්ධනගේ යම් විශේෂ දක්ෂතාවයක් විය. ඉන් පසු මා ආදරේ නංගි, සුදු මැණිකේ, බෙත්ලෙහෙම් පුරේ යන ගීත එළි දැක්වූ අතර ඉන් “බෙත්ලෙහෙම් පුරේ” ගීතය අද දවසේ ද නොඇසෙන නත්තලක් නැති තරම්ය. 1973 වසරේ ක්ලැරන්ස් විජේවර්ධන සහ ඩික්සන් ගුණරත්න කණ්ඩායමෙන් ඉවත් වීමෙන් පසු එම අඩුව පිරවුයේ ලයසින් සහ ඔහුගේ සොයුරු ලක්ප්‍රිය ද සිල්වා සහ රුක්ෂාන් පෙරේරා කණ්ඩායමට එකතු වීමෙනි. 1974 වසරේදී “මගේ මොළකැටි පුතුනේ, දළදා පෙරහැර, හිරු ඉපදෙන විට සහ සිහිවේ” යන ගීත බිහි වීය. මෙම ගීත ලක්ප්‍රිය ද සිල්වාගේ සහ ප්‍රේම කිර්ති ද අල්විස් ගේ ගී පද රචනාවන් විය. නමුත් පෙර බිහි වූ ගීත ශෛලිය හා සැසදෙන අයුරින් එම ගීත නිර්මාණය විය.  පුතෙකු වෙත මවකගේ හැඟීම සහ ආදරය ගැන ලක්ප්‍රිය ද සිල්වා [අද ඔහු දේවගැතිවරයෙකි] අතින්  ලියවුනු මොළකැටි පුතුනේ ලංකිකාගේ කුළුදුල් පුතු වෙනුවෙන් ඇය ගායනා කළ අතර පුතු නිදියයි සුවසේ ගීතය ඇයගේ බාලපුතු වෙනුවෙන් ගායනාකරන ලදී. 1975 වසරේදී ජයන්ත සිරිමන්න කණ්ඩායමට එකතු වුයේ රුක්ෂාන් පෙරේරාගේ අඩුව පිරවිමටය.

1975 වසරේදී “ගමෙන් ලියුමක්” ගීතයට පිළිතුරු ගීතයක් ලෙස “මගේ ආදර අක්කා වෙතයි" (මෙම ගීතය ද ගුවන් විදුලියේ තහනම් ගීත අතරට එක් විය.)යන ගීතය ඇතුළු “මා මතක නැති කළාට,සහ මනාලියකගේ පෙර මතක ගැන කියවෙන "සිතගිය දිනයක්” යන ගීත එළි දැක්විණ. 1979 වසරේදී ලංකිකා විසින් කරුණාරත්න අබේසේකර රචනා කළ විදෙස් ගත වූ සැමියෙකු ගැන බිරිඳකගේ හැඟීම් මතු කරන ගුවන් යානය  පිටත් වු විට ගීතය  ඇතුළු රත්තරනේ, දිනක සයුර,මගේ පුතුගේ,යන ගී  පටිගත කරන ලදී. 1980 දි නව මුහුණු වරක් ගත් ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායම, කණ්ඩායම් ගීතවලට අමතර බටහිර ගී ගායනයට ද පිවිසෙමින් දිවයින පුරා සංචාරක හෝටල් සංකීර්ණය තුළ ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගත් අතර ඒ වන විට කණ්ඩායම් ගී ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුයේ මඳ වශයෙනි. එනමුදු කණ්ඩායමේ ශක්තිය තව තවත් වර්ධනය වු අතර ලංකිකාගේ සොයුරු ඩිලිප් පිරිස් (ඩොල්ලා), රංජන් ද සිල්වා, නිහාල් ඇස්මොන්, ජගත් පිරිස්, සුරේෂ්ණි වනිගසුරිය, ලංකිකා සහ ශානක සමඟ කණඩායම ඉදිරියට පිය මැන්නේය.

 

1983 ගෝල්ඩන් චයිම්ස් vol :one යනුවෙන් ඔවුන්ගේ ස්වත්‍රන්ත ගීත හා බටහිර ගීත ඇතුළු කැසට් පටියක් එළි දැක්විණ. එයට ජගත් දේවප්‍රිය ගායනා කළ “සිතුම් නිල් දියේ ” ගීතයද ඇතුළත් විය. “දිනක සයුර, ගුවන් යානය, රත්තරනේ,”යන ලංකිකාගේ ගීත සහ නිහාල් අස්මොන් ගායනා කළ සිහිනිඟ  වටකුරු ගීතය ද අඩංගු වූ අතර බටහිර ගීතද අඩංගු විය. Sri Lanka, Come on Baby, Malaika, Sunshine ඉන් කීපයකි. 1983 වසරේ I.T.N රුපවහිණියෙහි ප්‍රචාරය වූ King Cloude Show සහ මධු රසාංග සංගීත වැඩ සටහන්වලට සහභාගී වීමත් සමඟ දිවයින පුරා රසික ප්‍රසාදය තවත් වැඩි විය.විවිධ සංගීතමය වැඩසටහන් තුළින් රසිකයන් පින වූ ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායම ක්ලැරන්ස් විජේවර්ධන සමඟ ද වැඩසටහන් ඉදිරිපත් කළහ. 1986 වසරේදී කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදක සහ නිත්‍ය ගායක ඇස්මොන් සහ ඩිලිප් ඉවත් වුයෙන් ලාංකිකාගේ බාල සොහොයුරු ලකී දේවා සහ ශිරස් සුදාර් ඩ්‍රම්ස් වාදක ලෙස කණ්ඩායමට එකතු විය.
 

1987 වසරේදී  Observer පුවත්පත සංවිධානය කළ  Musical Stars of  86 සංගීත සම්මාන උළලේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම ලෙසින්ද හොඳම සංගීත කණ්ඩායම් තුන වෙනුවෙන් සම්මාන දිනා ගන්නා ලදී. 1988 දී ශිරාන් ගෝමස් සහ අසංඡි රුවන් ද කණ්ඩායමට එකතු විය. 1990 යුගයේ “මායා” නමින් කැසට් පටියක් එළිදක්වන ලදී. “ආදරයේ මායාව” ගැන ලියවුණු ගීත දොළහක් එහි අඩංගු වූ අතර එහි ගී තනු විදේශිය country and western  ගී තනු වූ අතර එහි පදමලාවන් කණ්ඩායමේ නිත්‍ය ගායක ලකී දේවා අතින් නිම විය. එතෙක් කණ්ඩායම් ගීතවල ගැබ් වූ අදහස්වලට වඩා විවිධ වූ තේමාවන්වල ගීත ඇතුලත් වූ එහි කුසුමන්, බාදුරා මල  සහ යුද සෙබලෙකුගේ ආදරය වෙනුවෙන් ලිය වුණු “ආදර කුමරුණි” ගීතය සහ වලව් පැලැන්තියේ මෙහෙකරියකට අත් වන ඉරණම් කතාව ගැන කියවෙන  ලංකිකා ගායනා කළ කිරිසුදු සෙලේට  ඉන් සමහරකි. මෙම ගීත නැවතත් ගුවන්විදුලියේ තහනම් ගීත අතරට එක් විය.1998 වසරේ දිස්නක ධනසේකර කණ්ඩායමට එකතු විය.

 

  ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායම බිහි වන්නේ මොරටුවෙනි. 1960  යුගයේ අග භාගයේ මුන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායම නියෝජනය කළ ක්ලැරන්ස් විජේවර්ධන, විජිත් පිරිස්, ශානක පෙරේරා ඉන් ඉවත් වී නව කණ්ඩායමක් ආරම්භ කලෝය. “Break Aways From The Moonstones” යනුවෙන් පළමු සංදර්ශනය මොරටුව ශු :එම්මානුවෙල් ශාලාවේ පැවැත් වූ ඔවුන්ට "රන් සීනු හඬ" යන අර්ථය ඇති ගෝල්ඩන් චයිම්ස් යන නම තැබුවේ සුරිය ලේබල් හි අධිපති ජේර්ල්ඩ් වික්‍රමසුරිය මහතා විසිනි.

සහස්‍ර  වසර වන විට වසර  40ක් නොකඩවා පැමිණි ගෝල්ඩන් චයිම්ස් 40 වසරක සැමරුම් සමඟ “කිමදනාවේ” නමින් තම කුළුදුල් සංයුක්ත තැටිය එළි දැක්වූ අතර එහි ගීත 16ක් අඩංගු විය. කිමදනාවේ නැවත  ලංකිකා,ශානක සමඟ ගායනා කරන ලදී. මේ හැම ගීතයකම කණ්ඩායම් ගී ශෛලිය තුළ නිර්මාණය කරන්නට ඔවුන් සැලකිලිමත්ව විය. harmony ගායනා ඇතුළත් කරමින් වාදන ශෛලිය ද එලෙසම පවත්වා ගනිමින් තම අනන්‍යතාවය රැකගත් ඔවුන්ගේ 70 යුගයේ සිට 90 යුගය තුළ නිර්මාණ වූ ගීත එයට ඇතුලත් කරන ලදී. ශිරාස් සුදාර්, දිස්නක ධනසේකර, ජගත් දේවප්‍රිය, ලකී දේවා සහ ලංකිකා පෙරේරා එහි ගීත ගායනා කළ අතර පළමු වරට කණ්ඩායමේ නායක ශානක පෙරේරා  වසර 40ට පසු “ සාගර වෙරළේ සහ ගලා හැලෙනා” යන ගීත ගායනා කරන ලදී. ගමෙන් ලියුමක් පිළිතුරු ගීතය නැවතත් ලකී දේවා විසින් ගායනා කළ අතර ඔහු විසින්ම  පද සහ තනු නිර්මාණය කළ “යොවුන් වසන්තේ,   සඳක් වෙලා, කුසුම, නිසංසලා, සාගර වෙරළේ” යන ගීත එහි අඩංගු විය. එහි මනාලියකගේ සිතුවිලි ගැන කියවෙන “සඳක් වෙලා” ගීතය තුළ ස්වර  පිහිටීම මදක් විශේෂත්වයක් ගෙන ඇත. ගෝෂා කාරී සංගීතයට  වඩා මනස  නිවන ගීතවලට මුල් තැන දෙන කණ්ඩායමක් ලෙස ඔවුන් හඳුන්වාදිය හැකිය.ශානක පෙරේරා තනු නිර්මාණය කළ ලකී දේවා රචනා කළ හිරු නැගිලා ගීතය විශේෂ මංගල ගීතයක් විය.

   2003 වසරේදී කණ්ඩායමේ සාමාජිකත්වය  නැවත වරක් නවතාවයක් ගන්නා ලදී. ප්‍රිමාල් ප්‍රනාන්දු, අජිත් විජේමාන්න හා පෙර නිත්‍ය ගායකව සිටි නිහාල් ඇස්මොන් නැවතත් කණ්ඩායම නියෝජනය කරන ලදී. එම වසරේදී www.goldenchimes .com නමින් වෙබ් අඩවියක් ආරම්භ කළේය. 2005 වසරේදී වසර 35ක් පිරීම නිමිත්තෙන් Golden Chimes Then and Now Reunion Concert නමින් මුල් සාමාජිකයන් සමඟ ප්‍රසංගයක් පවත්වන ලදී. එම වසරේදීම කණ්ඩායමේ ජනප්‍රියම ගීත එකතුවක් තොරාණා ආයතනයෙන් එළි දැක්විණ. 2011 වසරේදී ලංකිකාගේම ගීත 16ක් ඇතුළත් ගී තැටියක්  ගුවන් යානය නමින් ගෝල්ඩන් චයිම්ස් සමඟ එළි දක්වන ලදී. එහි සිහින සාගරේ  ලංකිකා ගායනා කළ වේග රිද්ම ගීතයකි. ගීත 60 ටත් වඩා සංගීත ලොවට නිර්මාණ දායකත්වය ලබා දෙමින් එදා මෙදා තුළ දෙස් විදෙස් රසිකයන් පිනවමින් මෙම 70 යුගයේ ගී ශෛලිය ඉදිරියට ගෙන යමින් තවමත් රසිකයන් පිනවීම ප්‍රසංසනිය වේ.එදා මෙදා තුළ කණ්ඩායම් සංගීතය කළ මෙහෙවර වෙනුවෙන් 2013 රාජ්‍ය සම්මාන උළෙලේ කලා භූෂණ සම්මානයෙන් ද ශානක පෙරේරා පිදුම් ලැබිය.
 

2014 -03-24 ශානක පෙරේරා ගී රේඩියෝ සමඟ කළ සාකච්ජාවක් ඇසුරිනි.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page