
මිල්රෝයි ධර්මරත්න ප්‍රමුඛ ධර්මරත්න සහෝදරයෝ

1965 වසරේ කොළඹ මෙතොදිස්ත කාන්තා විදුහල සංවිධානය කළ වීවෘත ගායන තරගයකට තම මව විසින් ඔවුන් වෙනුවෙන් ඉල්ලුම්පතක් යවමින් තම පුතුන්ට නව මඟක් හදා දුන්නාය. මෙම පාසැල සංවිධානය කළ මෙම වැඩසටහනට රොනල් සහ මිල්රෝයි යන දෙදෙනා සිංහල අංශයෙන් තමාගේම නව නිර්මාණයක් වූ "වැස්ස වහිනවා" ගීතය නිර්මාණය කොට ගායනා කරන ලදී. තම ඥාති දියණියක වූ ශිරෝමි ප්‍රනාන්දු ද එම තරගයට එකල සහභාගී වූ අතර මෙල්රෝයි සහ රොනල් සොයුරන් එම තරගයෙන් දෙවන ස්ථානය හිමි කර ගැනීමෙන් ධර්මරත්න සහෝදරයෝ කියන නම තවත් ප්‍රචලිත විය. ඒ වන විට ඔවුන් පාසල් ගමන නවතා තිබුණි. එම තරගයෙන් පසු ක්‍රිස්ට සහ මැක්ස්වල් සොයුරන්ද කණ්ඩායමට එකතු විය. එය විශේෂ හේතුවක් විය. එම වසරේම ගුවන් විදුලියේ ඉලාස්ටෝ ගී වැඩ සටහනට ගායනා කිරීමට ඔවුනට අවස්ථාව උදා විය. විජය කොරයා මහතාගේ සහය ඇතිව මෙම වැඩසටහනට ගිය ධර්මරත්න සොයුරන් ඉන් අනතුරුව සෙලර්ස් Sondown වැඩ සටහනට ද ගීත ගායනා කරන ලදී.
එවකට ගුවන් විදුලියේ අධ්‍යක්ෂක වූ නෙවිල් ජයවීර සහ ලුවී විජේමන්නගේ ආරාධනාවක් මත ගුවන් විදුලියේ ගීත හතරක් පටිගත කරන ලදී. ලන්තෑරුම් එල්ලෙන්නේ, නිදියන්නකෝ පුතේ, වැස්ස සහ කලකට පෙර ඒ ගීත අතර විය. මෙම ගීත සංගත (Harmony) ගායනා ඇතුළත් වූ ලයාන්විත ගීත විය. එම ගීත වරින්වර ගුවන් විදුලියේ ප්‍රචාරය වීමත් සමඟම ධර්මරත්න සහෝදරයෝ ගැන කවුරුත් කතා කළහ. 1966 වසරේ කොළඹ පැවති අසිරි කුසුම් නම් සංගීත ප්‍රසංගයට ගී ගැයීමට ඔවුනට අවස්ථාව උදා වුයෙන් එම වැඩ සටහනෙන් පසුවිය. අනතුරුව පැට්‍රික් කුරේරාගේ ආරාධනාවෙන් තමන්ගේම ගී තැටියක් එළි දැක්වීමට අවස්ථාව උදා විය. එහි ප්‍රථිපලයක් ලෙස 1967 වසරේ ධර්මරත්න සහෝදරයෝ පළමු E P තැටිය නිකුත් විය. වැස්ස වහිනවා, පුංචි හුරතලා, නොන්ඩි කිරා, කඳුකරේ, ගීත අඩංගු මෙම ගී තැටිය ශ්‍රී ලංකාව පුරා ධර්මරත්න සහෝදරයෝ යන නම රැව් දෙන්නට සමත් විය. බටහිර ගී ශෛලිය සිංහල ජන ගී සංගීත ශෛලිය සමඟ සම්මිශ්‍රවන ලක්ෂණ මතුවන ඔවුන්ගේ ගීත ඉතා ඉක්මනින් ජනප්‍රිය විය.
1968 යුගය වන විට දෙවන තැටිය අව්ව පායලා, වසිටි කොල්ලෝ, සුහද පැතුම ප්‍රියංගිකා යන ගී අඩංගු කරමින් නිකුත් විය. 1969 කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ, රත්තරන් හඬක් ඇතුළු ගීත එළි දැක්වුණ අතර ඔවුන්ගේ ගීත බොහෝමයකට රබාන භාවිතයට ගෙන තිබිණ. ජන සංගීතයේ ආරය බටහිර සංගීතය සමඟ මුසු කිරීමේදී අපගේ සංගීතයට හානියක් නොවන සේ නිර්මාණය කර තිබිණ. මෙල්රෝයි ධර්මරත්න විසින්ම පද රචනා කර තනු නිර්මාණය කළ "රාජ කුමාරි"ගීතය ඊට නිදසුන්ය. එකල කැලිප්සෝ සංස්කෘතියට සමගාමිව බිහිවන කණ්ඩායම් අතර ඉන් වෙනස් මඟක් ගත් ධර්මරත්න සහෝදරයෝ තම භාහිර පෙනුමද කැලිප්සෝ කණ්ඩායමකට වඩා Pop ශෛලියට නැඹුරු බවක් පෙන්වූ හෙයිනි. කලිසම සහ සුපුරුදු ෂර්ට් එකත් ඔවුන්ගේ බාහිර පෙනුම ඔප කරන ලදී. තමන්ට ආවේණික ශෛලියක් ඇති කරගනු වස් වාදන ශෛලිය සහ පද රචනාවල යම් වෙනස් මඟක් ගත් අතර පරිසරය අලලා ගී නිර්මාණය කිරීම එහි විශේෂත්වයක් විය. කඳුකරේ, අව්ව, වැස්ස, පුංචි හුරතලා වැනි ගීත එයට නිදසුන් වේ.සුජාතා අත්තනායක සමඟ ගායනා කළ රෝමියෝ මමයි ගීතය Harmony ගයනාව ඇය විසින්ම පටිගත කිරීම විශේෂත්වයකි. සහෝදරයෝ හතරදෙනා, ගීතය තුළ සංගත ගයනා මිහිරි ලෙස සමබර කරමින් ගායනා කරති.


එකම පවුලක සාමාජිකයන්ගෙන් යුත් සංගීත කණ්ඩායම් ලොව බිහි වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. ශ්‍රී ලංකාවේ එකම පවුලක සහෝදරයන් හතර දෙනෙකුගෙන් යුත් සංගීත කණ්ඩායමක් බිහි වුයේ නම් ඒ ධර්මරත්න සහෝදරයන්ය. ක්‍රිස්ට්, මැක්ස්වල්, මිල්රෝයි සහ රොනල් යන සොහොයුරන් අධ්‍යාපනය ලැබුවේ කොටහේන ශාන්ත බෙනඩික් විදුහලේය. එකල පාසල් සිසුන්ගේ දක්ෂතා හඳුනාගත් සහෝදරතුමෙකු වූ සහෝදර එඩ්වඩ් පාසල් විවේක කාලයේදී විශේෂ දක්ෂතා ඇති සිසුන්ගේ කුසලතා එළි දැක්වීමට "Our Own" යන වැඩසටහන දියත් කරන ලදී. එම අවස්ථාවට රොනල් සහ මිල්රෝයි යන සොයුරන්ට ද උදා විය. 60 යුගයේ මුල් අවදියේ ධර්මරත්න සහෝදරයෝ නමින් ඔවුන් දෙදෙනා පාසලේ කළ ගායනය කාගේත් සිත් ඇඳගන්නා ලදී. එලෙසම ධර්මරත්න සහෝදරයෝ කියන නාමය පාසැල පුරා ප්‍රචලිත විය. එම අවදිය වන විට ක්‍රිස්ට් ධර්මරත්න හවායින් ගිටාරය වාදනයට පුහුණුව ලබමින් සිටියේය. එයට හෙක්ටර් එදිරිසිංහ, ප්‍රැට්‍රික් දෙනිපිටිය යන ගුරුවරුන්ගේ සහය ඔහු පැතිය. මැක්ස්වෙල් ධර්මරත්න ළමා පිටියේ ගුවන් විදුලියේ වැඩ සටහන්වලට සහභාගී වෙන අතර සවස නිවාස තුළ සංගීතමය පරිසරයක් ගොඩනැඟී තිබුණි. ස්ටෙලා ධර්මරත්න තම මෑණියන්ගේ දිරිය ඔවුන්ගේ මඟ කල එළි බසින්නට හේතු විය. හිතවතුන්ගේ සාදයන්වලට ගී ගැයීමට උනන්දු කළේ මව විසිනි.


2014-03-14 මිල්රෝයි ධර්මරත්න සමඟ ගී රේඩියෝ කළ සාකච්ඡාවක් ඇසුරිණි.
කණ්ඩායම් ගී නිර්මාණය කළද එයට සමගාමිව වෙනත් ගී නිර්මාණ ද ඉන් පසුව එළි දැක්විය. ඔවුන්ගේ ගීත නිර්මාණය කරන කාලයේදීම ළමා ගායිකා ශිරෝමි ප්‍රනාන්දුට අර්ථවත් ගී රැසක් නිර්මාණය කරන ලදී. හඳහාමි, අම්මා පෙම්බර අම්මා, කොන්ද නමාගෙන සකල බුජන් ඒ අතර විශේෂ විය.එම ගීත තුළ ළමා හැඟුම් මතු කරමින් අපුරුවට සංගීතය නිර්මාණය කර තිබුණි. එම ගීත අදටත් ළමා පරපුරට ගයන ගී අතර ප්‍රමුඛ තැනක් හිමි වේ. ඉන් නොනැවතුණු හෙතෙම 1972 වසරේ H.R ජෝතිපාලයන් වෙනුවෙන් මල් එතනෝ, මලින් පිරි ගිය, ඔබ නිදන්න, ගංගාවයි මහා මුහුදයි, දුරකථනයකින් ගීතවල තනු නිර්මාණය කරමින් එවකට H.R ජෝතිපාලයන්ගේ ශෛලිය වෙනත් මඟකට යොමු කරන ලදී. ඔබ නිදන්න ගීතය එයට නිදසුනකි.

1973 වසරේ මිල්ටන් මල්ලවආරච්චි වෙනුවෙන් මේ මැයි ගහ යට ඔහු විසින් නිර්මාණය කළ සංගීතයේ සමබර ගීතයකි. පෝල් ප්‍රනාන්දු ගයන එගොඩ ගොඩේ මල් නෙලනා ඇතුළු ගීත 300 ට අධික සංඛ්‍යාවක් තනු නිර්මාණය කරමින් සමහර ගීත පද රචනය ද කරමින් Pop සංගීතයත් දේශීය සංගීතයත් සම්මිශ්‍රණය වන නිර්මාණ කිරීමෙන් කන්කළු ගී තනු බොහොමයක් ගී ලොවට දායාද කළේය. 1960 සිට 2014 යුගය දක්වාම නිර්මාණ ශිලිත්වයේ නියලෙන මිල්රෝයි ධර්මරත්න, ධර්මරත්න සහෝදරයන්ගේ දක්ෂතාවලින් පරිපුර්ණ ශිල්පියෙකු ලෙස තවමත් සංගීත ලොවට කරන සේවය අප අගයමු.
