top of page

උණු වතුරෙන් බෙහෙත් බොන්න හොඳද?

හොඳ මොකක්ද? නරක මොකක්ද? කියලා තේරුම් ගන්න වැඩිහිටියන් ලෙස අප කාහටත් හොඳ හැකියාවක් තිබෙනවා. ඒ වුණත් ඇතැම් අය විසින් අවබෝධ කරගෙන ඇති ඇතැම් දේවල් නිසා ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලවත් තේරුම් කරගන්නට අපට පුළුවන්කමක් ඇත්තේ නැහැ.

 

ඇතැම් විට අපි කෙතරම් නිවැරදි යැයි සිතා සිටින දේවල් පවා ඇතැම් අය දරණ මතවාද නිසා එක ක්ෂණයකින් අවතක්සේරුවට ලක්විය හැකිය. එසේත් නැත්නම් වඩාත් නිවැරදි ක්‍රමය කුමක්ද කියා අවබෝධ කරගැනීමත් තරමක් දුරට අපහසු විය හැකිය.මෙවර කථා බහ කරන්නේ එවැනිම වූ තේමාවක් පිළිබඳවයි.

 

සාමාන්‍යයෙන් හෙම්බිරිස්සාවක් ඇති වුණාම ඇල් වතුර අල්ලන්නවත් එපා කියලා බොහෝ විට වෛද්‍යවරු ඔබට උපදෙස් ලබාදෙනවා නේද? ඒ හින්දම හැකි තරම් ඔබ උණුවතුර පාවිච්චි කරනවා විතරක් නෙමෙයි කෙතරම් තද රසනයක් තිබුණත් උණු වතුර උගුරකින් හෙම්බිරිස්සාව නිසා අබලන් උගුරකට ඇතිවන සනීපය වචනවලින් කියන්න බැරිතරම්. ඒ වුණත් හෙම්බිරිස්සාවට බෙහෙත් ගත්තාහම නම් ඒවා බොන්න පාවිච්චි කරන්නේ උණු වතුරද ඇල් වතුරද කියලා තෝරා බේරා ගන්න සමහර අයට පුළුවන්කමක් නැහැ. ඇත්තටම හෙම්බිරිස්සාවට විතරක් නෙමෙයි ඕනෑම අසනීපයකට දෙන බෙහෙත් පෙති බොන්න වඩාත් හොඳ උණු වතුරද ඇල් වතුරද.......?

 

ඕනෑම ලෙඩකට දෙන බෙහෙත් එක එක වේලාවට එක එක විදියට කෑමට පෙර ගත යුතුද පසුව ගත යුතුද කියලා වෙන්කරලා තිබුණත් ඒවා ගිලින්නට ඔබ මම අපි කවුරුත් භාවිතා කරන්නේ ජලයයි. නමුත් මේ සඳහා යොදාගත හැකි වඩාත් සුදුසුම ජලය වන්නේ උතුරවා නිවාගත් ජලයයි. ඊට හේතුව යම් ලෙසකින් උණු වතුර සමඟ ඔබ බෙහෙත් පෙති ගිලදැමුවොත් එම එක් එක් පෙති වර්ග අනුව උණු වතුර නිසා එහි ගුණාත්මක භාවය හානිවිය හැකියි.

 

සෑම බෙහෙත් පෙති වර්ගයකටම උණු වතුර භාවිතා කිරීමෙන් බලපෑමක් ඇති නොවුණත් වඩාත් සුදුසු වන්නේ උණුකර නිවාගත් ජලය මඟින් බෙහෙත් පෙති භාවිතයට ගැනීමයි.

 

ආහාර ගත් විගස තේ පානය කිරීම සුදුසුද?

ගොඩක් බඩගිනි වුණාම යකෙක් කන්න තරම් බඩගිනියි කියලා සමහරු කියනවා. දිව ගිලෙන්න තරම් තිබහ ඇති වුණාම වතුර ගැලුමක් වුණත් බොන්න පුළුවන් කියලා තවත් සමහර අය කියනවා. කතාව කොහොම වුණත් අපි මේ කුමන විදියකට පැවසුවත් ජීවිතයේ වැදගත්ම අවශ්‍යතාවන් වන කෑම බීම පිළිබඳවයි මේ කතාබහ කරන්නේ.

 

කන්න බොන්න මොනතරම් දේවල් රටේ ලෝකේ තිබුණත් ඒවා කන්න බොන්නත් පිළිවෙලක් තියෙනවා කියලා අමුතුවෙන් ඔබට මතක් කරන්නට අවශ්‍ය වන්නේ නැහැනේ. ඒ වුණත් මොනතරම් පිළිවෙත් පිළිබඳ ඔබ දැනුවත්වෙලා සිටියත් දැන දැනමත් ඒ වැරදිම කරනවද? කියලා හිතෙන අවස්ථා එමටයි.

 

සමහර අය ප්‍රධාන කෑම වේල් පිළිබඳව සැලකිලිමත් වුණත් ඒවායේ ගුණාත්මක බව පිළිබඳව නම් තැකීමක් ඇත්තේ නැහැ. ඒ වගේම එම ආහාර වේල් අතරට ජලයට අමතරව තේ, කේපි වැනි පාන වර්ග ද භාවිතා කරනු ලබනවා. ඇතැම් අය ඇතිකරගෙන තිබෙන මෙවැනි පුරුදු කෙතරම් දුරට සෞඛයට හිතකරද කියා දෙවරක් සිතා බැලිය යුතු කරුණක් බොහෝවිට පුරුද්දක් විදියට මෙවැනි දේ සිදුකළත් එමඟින් ඔබගේ පෝෂණයට ඇතිවන බලපෑම පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම කුමක්දැයි විමසා බලමු.

 

සාමාන්‍යයෙන් අප විසින් ලබාගන්නා ප්‍රධාන ආහාර වේලකට පසුව තේ, කෝපි වැනි පාන වර්ග භාවිතා කිරීම කිසිසේත් සුදුසු වන්නේ නැහැ. ඊට හේතුව එමඟින් අප ලබාගන්නා ආහාරවල තිබෙන යකඩ අවශෝෂණ ක්‍රියාවලිය දුර්වල කරදමන නිසයි. මේ සඳහා බොහෝ දුරට හේතු වී තිබෙන්නේ මෙම පාන වර්ගවල තිබෙන ටැනීන් නැමති සංඝටකයයි. එය ආහාරවල ඇති යකඩ අවශෝෂණයට බාධාවක්. මේ හේතුව නිසා ඔබට නීරක්ති තත්ත්වයක් ද ඇති කර විය හැකිය. එසේ නම් ප්‍රධාන ආහාර වේලක් අතරට අපි තේ හෝ කෝපි පානය කරනවා නම් ඒ සඳහා ප්‍රධාන ආහාර වේලට පැයකට පෙර හෝ පසුව එම අවස්ථාව උදාකර ගන්නවා නම් වඩාත් හොඳයි.

 

- නුවන්ති කුලරත්න

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page