top of page

හැම වෛරස් උණක්ම ඩෙංගු නොවේ

ඔෂිනි සුන්දර දැරියක්. වයස අවුරුදු 7යි. පසුගිය සතියේ එයාගේ අම්මයි තාත්තයි එයාව සායනයට එක්කරගෙන ආවේ හොඳටම බය වෙලා. ඔෂිනිට තද උණක් වැළඳී තිබුණා. මීට මාස කිහිපයකට පෙර ඇයට ඩෙංගු උණ රෝගය වැළඳී සුව වුණා. මේ නිසාම ඇයගේ දෙමව්පියන්ගේ බය ටිකක් සාධාරණ එකක් වුණා.

ඔෂිනිට වැළඳී තිබුණේ මේ දිනවල පැතිරී යන “වෛරස් උණ”යි. මෙවැනි වෛරස් උණ පිළිබඳව ඔබගේ දැනුම පුළුල් කිරීම සඳහා අද අපි සායනයේ කතාවට “ඔෂිනි” ව තෝරා ගත්තා. ඇත්තටම මෙම උණ රෝගය ආරම්භ වෙන්නේ තද උණකින්. සාමාන්‍යයෙන් අපි උණට ලබා දෙන පැරසිටමොල් මාත්‍රාවට පවා අඩු නොවන ස්වභාවයක් දැකිය හැකි වනවා. සමහර විට උණ අඩු වුවත් පැය දෙක තුනක් යන විට නැවත උණ ඇතිවෙන බවක් අපි දකිනවා.

මේ තත්ත්වය බොහෝවිට දකින්න ලැබෙන්නේ දින එකක් හෝ දෙකක් පමණයි. උණට අමතරව මෙහි විශේෂත්වය වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව හෙවත් නාසයේ සොටු දියර ගැලීම හෝ නාසය තෙත් වීමත්, උගුරේ වේදනාවක් අති වීමත් යන කරයි.

සමහර පුද්ගලයන්ට උගුරේ වේදනාව තරමක් තදබල ලෙස ඇතිවිය හැකි වනවා. විශේෂයෙන් උඩුතල්ල ප්‍රදේශය “උගුර කැසීමක්” වැනි සංවේදනයක් දැනීම මෙහි ලක්ෂණයක් වනවා. මෙම රෝග ලක්ෂණවලින් පසුව තරමක කැස්සක් ඇති වෙනවා. සමහර අයට කැස්ස තදබල ලෙස ඇති වෙනවා දකින්න පුළුවන්. විශේෂයෙන් සෙම් රෝගවලට ඔරොත්තු නොදෙන අය හා ඇදුම, පපුවේ මහන්සිය, පපුවේ සෙම නිතර සෑදෙන අයට මෙම “වෛරස් කැස්ස” තදබල ලෙස ඇතිවෙනවා දකින්න පුළුවන්. පළමු දින 3 -4 පසුව රෝගය සුව වීමක් දකින්න පුළුවන් වන අතර සමහරවිට සතියක පමණ කාලයක් දක්වා රෝග තත්ත්වය පැවතිය හැකි වෙනවා.

මෙම රෝග තත්ත්වය ඇතිවන්නේ “වෛරසයක්” මඟින්. මේ නිසා මෙය “වෛරස් උණක්” ලෙසට හැඳින්වෙනවා. ඩෙංගු උණ රෝගය ද වෛරසයක් මඟින් සෑදෙන උණක් වන නමුත් රෝග ලක්ෂණ මෙයට වඩා වෙනස් වෙනවා. මෙහිදී තද උණ සමඟ හිසරදය, ඇඟපත වේදනාව, සන්ධි වේදනාව, කොන්දෙ කැක්කුම, තදබල ලෙසට ඇතිවිය හැකි වෙනවා. මෙහිදී නාසයෙන් සොටු ගැලීම, උගුරේ වේදනාව, කැස්ස වැනි රෝග ලක්ෂණ දකින්න ලැබෙන්නේ නැහැ.

කෙසේ වෙතත් මෙම වෛරස් රෝග දෙක වෙන්කර ගැනීමට ඔබගේ වෛද්‍යවරයා ඔබට උදව් කරනවා.

අද අපි සාකච්ඡා කරන මේ දිනවල පවතින වෛරස් රෝගයේදී රෝගීන් අතින් සිදු කරන වැරැද්දක් ලෙසට අපි දකින්නේ හිතුමනාපයට භාවිතා කරනා ප්‍රතිජීවක ඖෂධයි. මෙහිදී ඇතිවන උගුරේ වේදනාව වෛරස් උණ නිසා ඇතිවන එකක් නිසා සාමාන්‍යයෙන් ප්‍රතිජීවක අවශ්‍ය වන්නේ නැහැ.

ප්‍රතිජීවක හෙවත් ඇන්ටිබයටික් යොදාගන්නේ බැක්ටීරියා නම් විෂබීජ වර්ගය මර්දනය කිරීමටයි. ඒ කියන්නේ උගුර බැක්ටීරියා විෂබීජයක් මඟින් පැසවීමකට ලක් වූ විටක පමණක් මේවා අවශ්‍ය වෙනවා.

ඒ නිසා මේ පිළිබඳ තීරණය සැබැවින්ම වෛද්‍යවරයාගෙන් ලබාගත යුතු දෙයක්. ඒ වාගේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක ඇන්ටිබයටික් ඖෂධ ෆාමසියකින් නිකුත් කිරීමත් බරපතල වරදක්. කෙසේ වෙතත් මෙම වෛරස් රෝගයේ රෝග ලක්ෂණ පාලනයට වෛද්‍යරයෙකුගේ උදව් ලබා ගැනීම වැදගත් වෙනවා. විශේෂයෙන් රෝග ලක්ෂණ තදබල ලෙස ඇති විටත්, රෝග ලක්ෂණ “ඩෙංගු උණ” වැනි භයානක උණ වර්ගවලින් වෙන් කර ගැනීමටත් මෙය උපකාරී වෙනවා.

ඖෂධ ප්‍රතිකාරවලට අමතරව, හොඳින් විවේක ගැනීමත් දියර වර්ග සහ ජලය පානය කිරීමත්, අධික ශීතල බීම වර්ගවලින් වැළකීමත් වැදගත් වෙනවා.

 

උපුටනය: ආරෝග්‍යා

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page