top of page

දියවැඩියාව නිසා සිදුවන අතුරු ආබාධ මඟහරවා ගෙන ජීවත්වන අන්දම

බෝ නොවන රෝග ගනයට අයත් අංක එකේ රෝගයක් බවට ලොව පුරා පැතිර යන දියවැඩියාව ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් ද ගිලගෙන අවසන්ය. නිට්ටාවට සුව කළ නොහැකි දියවැඩියාව වැළඳීමෙන්, වළක්වා ගැනීම ඉතාමත් අවශ්‍ය සාධකයකි.

 

හේතුව දියවැඩියාව වැළඳුණහොත් ජීවිතාන්තය දක්වා එම රෝගයත් සමඟ ජිවත් වීමට සිදුවන බැවිනි. නමුත් සුබවාදී එක තත්ත්වයක් පවතී. එය වන්නේ දියවැඩියාව හොඳින් පාලනය කරගත හැකි වීමයි. මේ රෝගය මනා පාලනය කිරීම තුළින් ඔබට වැළඳිය හැකි සංකූලතා මඟ හරවාගත හැක. අද මේ ලිපියෙන් ඔබට පැහැදිලි කරන්නේ ඔබ දියවැඩියා රෝගියෙකු නම් මනා පාලනයකින් යුක්තව ජිවත් වීමෙන් සියලු අතුරු ආබාධ සහ සංකූලතා මඟහරවා ගනිමින් ජිවත් විය හැකි ආකාරයයි. ඒ පිළිබඳ ඔබ දැනුවත් කරන්නේ ගම්පොළ මූලික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ

 

වෛද්‍ය සුමුදු බණ්ඩාරනායක මහතායි. දියවැඩියාව නිසා ඇතිවන අතුරු ආබාධ බොහෝය. නිහඬ මාරයා ලෙස දියවැඩියාව ඇතැමුන් හඳුන්වන්නේ දියවැඩියාව නිසා අප නොදැනුවත්වම අපේ සිරුරේ වෙනත් ඉන්ද්‍රියයන් අකර්මන්‍ය වී ඇතැම්විට ජීවිතයට සමුදීමට හේතුවක් බැවිනි.

 

රුධිරයේ සීනි මට්ටම අනවශ්‍ය ලෙස අඩුවීම

දියවැඩියා රෝගීන්ට මුහුණ දීමට සිදුවන ගැටලුවක් වනුයේ රුධිරයේ සීනි මට්ටම අඩු වීමයි. එවිට දහඩිය දැමීම, වෙව්ලීම, හිසරදය, අප්‍රාණික බව, ක්ලාන්තය, සිහි මුර්ජාව ඇති වී ජිවිතයෙන් සමු ගැනීමට පවා සිදුවේ. මේ අවස්ථාවේදී කළ යුතු ප්‍රතිකාරය නම් රෝගියාට සිහිය තිබේ නම් ග්ලූකෝස් හෝ සීනි තේ හැඳි 2ක් පමණ ලුණු ස්වල්පයක් සමඟ දියකර බීමට දීමයි. සිහිය නොමැති නම් වහාම රෝහල්ගත කළ යුතුයි.

 

පාද ඉවත් කිරිමට සිදුවීම

දියවැඩියාව නිසා ස්නායුවල රුධිර සංසරණය දුර්වල වේ. එවිට පාද අත් පා හිරිවැටීම්, වේදනාව, විවිධ ආසාදන තුවාල ඇති වී අත් පාවල කොටස් ඉවත් කිරීමට පවා සිදු වේ. එබැවින් පහත සඳහන් කරුණු පිළිබඳව සැලකිලිමත් වුවහොත් ඔබේ පාද ආරක්ෂා කර ගැනීමට ඔබට හැකි වනු ඇත.

 

පාද වියළිව තබා ගැනීම (ඇඟිලිකරුවල)

 

තෙත මාත්තු කරන්න. පවුඩර් දැමීම තවදුරටත් යෝග්‍යය.

 

නිපපොතු කැපීමේදී තුවාල සිදු කර නොගැනීමට ප්‍රවේසම් විය යුතුය. නිය උල් කැපීමෙන් වළකින්න.

 

තුවාල ඇති නොවන පාවහන් පළඳින්න. විශේෂයෙන් දියවැඩියා රෝගීන් වෙනුවෙන් නිෂ්පාදනය කර ඇති පාවහන් වඩාත් සුදුසුය.

 

මෙම රෝගීන්ගේ පාද හිරිවැටීමට ලක්වන බැවින් තුවාලයක් වුවද ඒ පිළිබඳ ඔවුන්ට නොදැනෙන නිසා නිරන්තරයෙන් පාද සහ යටි පතුල් පරීක්ෂාවට ලක් කරන්න. එසේම ඔබේ පද සහ යටි පතුල් ඔබට නොපෙනෙන බැවින් කණ්ණාඩියක් පාවිච්චි කර පාදවල තුවාල ඇතිදැයි පරීක්ෂා කර බලන්න. සුළු තුවාලයක් තිබේ නම් වහාම වෛද ප්‍රතිකාර වෙත යොමුවන්න. පාද වියළි ස්වභාවයෙන් යුක්ත නම් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

 

දියවැඩියා රෝගීන් නිරන්තරයෙන් රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමෙන් මෙවැනි සංකූලතාවලින් මිදී දිගුකලක් ආයුවලදා ජීවත් වීමේ හැකියාවක් ඇති බවද අමතක නොකරන්න.

 

විවිධ ආසදාන

දියවැඩියා රෝගීන්ට විවිධ ආසාදනවලට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් ඇත. සුළු ආසාදනයකට ප්‍රතිකාර නොකිරීමෙන් තත්ත්වය උත්සන්න විය හැක. පුද්ගලික පිරිසිදුකම සහ යහපත් සෞඛ්‍ය පුරුදු පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

 

අංශභාගය

ආඝාතය මෙවැනි රෝගීන් මුහුණ දෙන අතුරු ආබාධය.

 

රුධිරයේ සීනි මට්ටම වැඩිවීම

වේගයෙන් හුස්ම ගැනීම, සිහි විකල් වීම, සිහි මුර්ජා වී මරණයට පත් වීම, පවා සිදුවිය හැකි බැවින් වහාම රෝහල්ගත කළ යුතුය.

 

දියවැඩියාව ඇසට බලපාන අන්දම

ඇසේ සුද ඇතිවීම, ග්ලූකෝමා තත්ත්වයක් ඇතිවීම, දෘෂ්ඨි විතානය නරක් වී ඇස සම්පූර්ණයෙන්ම අන්ධ වීම, ඇස් අන්ධ වීමෙන් ආරක්ෂා වීමට නම් දියවැඩියා රෝගීන් මාස 6කට වරක් වත් අක්ෂි වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත යුතුය.

 

වකුගඩුවලට බලපාන අන්දම

දියවැඩියා රෝගීන්ගේ වකුගඩු ආශි‍්‍රත ආසාදන මෙන්ම වකුගඩු දුර්වල වීම ද සිදුවිය හැක. එබැවින් දියවැඩියා රෝගීන් මාස 6කට වරක් වත් වකුගඩු ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර ඉක්මන් ප්‍රතිකාර වෙත යොමුවිය යුතුය.

 

හෘද වස්තුවේ හා රුධිර නාලවල ආබාධ

දියවැඩියා රෝගීන්ට හදවත් රෝග ඇතිවීමේ අවදානම වැඩිය. හෘදයාබාධ, හෘද අකර්මන්‍ය වීම, අධි රුධිර පීඩනය හා නහර අවහිර වීම නිසා විවිධ සංකූලතා ඇති වේ.

 

ස්නායු පද්ධතියේ සංකූලතා

විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ගේ අත් පා වේදනාව සහ හිරිවැටීමක්, මස්පිඬු වේදනාව සහ ලිංගික දුබලතා ද ඇතිවිය හැක.

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page