top of page

 හදිසි අනතුරකදී, දියේ ගිලිමකදී , විදුලි සැර වැදුණ විටකදී, අහිමි වන ජිවිත කීපයක් හෝ බේරා ගත හැකි “ජීවිතය නැවත ලබා දීම” Basic Life Support ප්‍රථමාධාර ක්‍රියාවලිය ගැනයි මේ සටහන.

 

කිසියම් පුද්ගලයෙකුගේ හෘදය, හදිසි හෘදයාබාධයක් හෝ අනතුරක් නිසා අක්‍රීය වූ විට, තවත් පුද්ගලයෙකු තමන්ගේ අතින් රෝගියාගේ පපුව රිද්මයකට තද කිරීමත්, මුවට මුව තබා හුස්ම ලබා දීම අපි අසා තිබෙන, සමහරවිට බටහිර චිත්‍රපටයක් වැනි දෙයකදී දැක තිබෙන දෙයක් වුවත්, සැබෑ ලෙසට අප ඉදිරියේ උද්ගත වන එවැනි අවස්ථාවකදී ඒ ආකාරයට ක්‍රියාකාරී වීමට නම් දැනුමක් ඇත්තේම නැති බව රෝහල්වල හදිසි අනතුරුවලින් පසුව රැගෙන එන මෘත ශරීරවලින් පැහැදිලි වෙනවා. මේ සම්බන්ධව කිසියම් දැනුමක් මඟ පෙන්වීමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.

 

ප්‍රථමාධාර ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ වන්නේ හෘදයාබාධය හෝ හදිසි අනතුරට ලක් වූ පුද්ගලයාගේ හෘදයේ ක්‍රියාකාරිත්වය හා ස්වසනය ඒ කියන්නේ හදවත හා පෙනහලු කෘත්‍රිමව බාහිරින් ක්‍රියාත්මක කිරීමයි. රෝහලකට රැගෙන යන තෙක් මෙම ක්‍රියාවලිය ඒ පුද්ගලයාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට නැවත ජීවත්වීම පිළිබඳ කිසියම් බලාපොරොත්තුවක් ඇති කරනවා කිව්වොත් නිවැරදියි.

 

මේ නිසාම මේ ක්‍රියාව නිසිආකාරයට සිදු කිරිම ඉතා වැදගත් වෙනවා. මිනිසාගේ මොළයට ලේ ගමනාගමනයක් හෙවත් කිසියම් ඔක්සිජන් සැපයුමක් නොමැතිව ජීවත් වීමට පුළුවන් විනාඩි 3 -5 අතර කාලයක් පමණයි. මේ නිසා කිසියම් අනතුරකදී පළමු විනාඩි කීපය “රත්තරන් වටිනා” දෙයක් ලෙස සැලකෙනවා.

 

ප්‍රමාද වෙන මොහොතක් විනාඩියක් පාසා නැවත ජීවිතය ලබා දීම ටිකෙන් ටික ඈතට ඇදී යනවා. මේ නිසාම මේ ප්‍රථමාධාර ක්‍රියාවලිය නිතර මෙනෙහි කරමින් සිහියේ තබා ගැනීමත් පෙරහුරුවක් ලෙස කොට්ටයක් වැනි යමක් භාවිතා කර පුරුදු පුහුණු වීමත් ඉතා වැදගත් වෙනවා. වැඩිපුර තාක්ෂණික උපදෙස් ඔබගේ වෛද්‍යවරයා හෝ පුහුණු හෙද නිලධාරිණියගෙන් ලබා ගැනීමට කිසිවිටකත් පසුබට වන්නත් එපා.

 

මෙම ප්‍රථමාධාර ක්‍රියාවලියේදී, අනතුර සිදු වූ ස්ථානය අනුව රෝගියාත්, ප්‍රථමාධාර ලබා දෙන ඔබත් ආරක්ෂා සහිත ස්ථානයකට වීම හෝ ආරක්ෂාව සහතික කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ කියන්නේ ගින්නක්, දියේ ගිලීමක්, විදුලි සැර වැදීමක් වැනි තත්ත්වයකදී ප්‍රථමාධාර දෙන ඔබත් ආරක්ෂා විය යුතු බව සිහි තබා ගත යුතු වෙනවා. 

 

 ප්‍රථමාධාර ක්‍රියාව ආරම්භයේදී අදාල රෝගියා බිම සතපා ඔහුගේ හෝ ඇයගේ උරහිස් වලින් මඳක් සොලවා “ඔබට කොහොමද?” වැනි සරල ප්‍රශ්නයක් අසා, කිසියම් අදහසක් ලබා ගත යුතු වෙනවා.

 

එහිදී රෝගියා ඔබගේ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වුවහොත් ඔහුට ඒ ආකාරයෙන්ම ඉන්නට සලස්වා ඔහුගේ අනතුරට හේතුව පිළිබඳ යම්කිසි අදහසක් ගන්නට උත්සාහ කරන්න. ඒ සමඟ අවශ්‍ය මීළඟ පියවර සඳහා උදව් ලබා ගන්න. ඒ වගේම ඒ උදව් ලැබෙන තෙක්, රෝහලකට රැගෙන යන තෙක්, වරින් වර රෝගියාගේ තත්ත්වය නැවත නැවතත් සොයා බලන්න.

 

ඔබගේ මූලික ප්‍රශ්නයට, රෝගියාගෙන් පිළිතුරක් නැතිනම් ප්‍රථමාධාරය සඳහා සූදානම් වන්න. ඒ සඳහා ප්‍රථමයෙන් උදව් ඉල්ලා කෑ ගසන්න. ඒ සමඟම රෝගියා උඩුබැලි අතට තබන්න. මීළඟට රෝගියාගේ නලලට අත තබා ඔහුගේ හිස පොළව දෙසට නමන්න හෝ ඇල කරන්න.

 

ඒ සමඟම අනිත් අතේ ඇඟිලි තුඩු රෝගියාගේ නිකට යටින් තබා නිකට උස්සන්න. මේ අනුව රෝගියාගේ හිස කොටස පොළව පැත්තට ඇලවීම මඟින් (Head Tilt and Chin Life) ඔහුගේ ස්වසන මාර්ගය හොඳින් විවෘත කරගත හැකි වෙනවා. ඒ කියන්නේ උඩුබැලි අතට සිටීමේදී දිව උගුර පැත්තට පහතට වැටී හුස්ම ගන්නා මාර්ගය අවහිර වීම මේ නිසා නැතිවී නාසය හා පෙනහලු අතර ගමන් මාර්ගය විවෘත පැහැදිලි එකක් වෙනවා. 

 

දැන් ඔබගේ කන රෝගියාගේ නාසය අසලට ගෙන රෝගියා හුස්ම ගන්නවා ද නැද්ද යන්න තීරණය කර ගන්න. මෙහිදී ඔබගේ කනට රෝගියා හුස්ම ගන්නා සියුම් ශබ්දය ද, ඔබගේ කම්මුලට රෝගියාගේ හුස්ම වදිනවා දැනීමද, ඒ ආකාරයට පරීක්ෂා කිරීමේදී ඔබගේ ඇසට රෝගියාගේ පපුව ඔහු හුස්ම ගන්නවා නම් සිදුවන ඉහළ පහළ යාමද නිරීක්ෂණය කරගත හැකි වනවා.

 

(Look, Listen,Feel) හෘදය වස්තුව නතර වීමකදී (Cardiac Arrest) මුල් විනාඩි කීපයේදී වරින් වර හුස්මක් දෙකක් වැටීම හෝ “පණ අදිනවා” (Gasping) වැනි හුස්ම එකක් දෙකක් ඇතිවීම සාමාන්‍ය ස්වසනය හෝ හුස්ම ගැනීම තවමත් තිබෙනවා යැයි තීරණය කිරිම වැරදි දෙයක් වෙනවා. එවැනි අවස්ථාවක් හුස්ම නොගැනීමක් ලෙස සලකා කටයුතු කළ යුතු වෙනවා.

 

කෙසේ වෙතත් ඉහත සඳහන් “හුස්ම ගැනීම” පිළිබඳ අදහසක් ගැනීමට තත්ත්පර දහයකට වඩා නාස්ති කළ යුතු නැහැ. ඒ තත්ත්පර දහයක කාලය ඇතුළත ඔබට රෝගියාගේ හුස්ම ගැනීම පිළිබඳ සැකයක් ඇත්නම් රෝගියා හුස්ම ගැනීම නතර කළ අයෙකු ලෙස සලකා ක්‍රියාකළ යුතු වෙනවා.

 

අනෙක් අතට මේ අවස්ථාවේදී රෝගියා හුස්ම ගන්නා බවට තහවුරු වුවහොත් ඔහුව ඒ ඉරියව්වෙන්ම වම් පසට හරවා (Recovery Position) (සැතපෙන බුදු පිළිමයක ඉරියව්ව සේ) නිකට උස්සා උදව් සඳහා කෑ ගැසිය යුතු වෙනවා. ඔබ සතු ජංගම දුරකථනයක් ඇත්නම් හදිසි ඇමතුම් අංකයට 118 හෝ 119 අමතා උදව් පැතිය හැකි වෙනවා.

 

ඉහත සඳහන් පළමු තත්පර 10 නිරීක්ෂණයේදී රෝගියා හුස්ම ගන්නේ නැති බවට තහවුරු වුණොත්, වහාම නැවතත් උදව් ඉල්ලන්න, කෑ ගසන්න හෝ තත්පර කීපයක් පමණක් වැයකර ඔබගේ ජංගම දුරකථනයේ හදිසි අංකයට අමතා උදව් හෝ ගිලන් රථයක් ඉල්ලා සිටින්න.

 

උදව් ලැබෙන තුරු මීළඟ ප්‍රථමාධාර ක්‍රියාවලිය හෙවත් ඉතා වැදගත් වන පහතින් විස්තර කෙරෙන කෘත්‍රිම ස්වසනය හා පපුව තද කිරිම (Rescue breaths and Chest Compressions) ආරම්භ කරන්න. කිසිවිටකත් රෝගියා තනිකර ප්‍රථමාධාර ක්‍රියාව කල්දමා උදව් ඉල්ලිමට සඳහා ඉවතට නොයන්න.

 

දැන් වැදගත් ක්‍රියාවලිය ආරම්භ කරමු. රෝගියා අසලින් දණ ගසා වාඩි වන්න. රෝගියාගේ පපුව මැද ඒ කියන්නේ පපුව ප්‍රදේශයේ හරි මැද ඇති ඇට කටු කොටසේ යට භාගය (Lower half of breast bone) එහෙමත් නැතිනම් ඉල ඇට පපුව දෙපැත්තෙන් ඇවිදින් පපුව මැදදී එකතු වන කොටසේ ඇති අස්ථියේ යට භාගය මත ඔබගේ අත්ල (Heel of the hand) තබන්න.

 

රෝගියාගේ පපුව මත තැබූ ඔබගේ ඒ අත උඩ ඔබගේ අනිත් අතේ අත්ල තබා ඇඟිලි එකිනෙක අතරට යවා ගන්න. මෙමඟින් ඔබ ඔබගේ අත්ල හරහා යොදන තෙරපීම ඇඟිලි මඟින් පපුවේ අනිත් ස්ථාන තෙරපී ඉලඇට කැඩීබිඳී යාම වළක්වනවා. ඒ සමානවම මතක තබාගත යුතු දෙයක් වන්නේ කිසිවිටකත් බඩ ප්‍රදේශයේ උඩ කොටස තද නොකර සිටීමයි.

 

මෙමඟින් උදරය තුළ ඇති අක්මාව අමාශය වැනි ඉන්ද්‍රියන්ට හානි වෙන්න පුළුවන් වෙනවා. පපුව මැද ඇති ඇටකටු කොටස පහසුවෙන් හඳුනාගත හැකි නිසා සාමාන්‍යයෙන් මෙම වැරද්ද සිදුවීමේ ඉඩ කඩ අඩුයි.

 

දැන් දණගසා සිටින ඔබගේ අත් දෙක රෝගියාට ඉහළින් කෙළින් කරගන්න. 

 

ඒ කියන්නේ වැලමිට නවන්නේ නැතිව රෝගියාගේ පපුවට හරි කෙළින් ලම්බකව සිටින ඔබගේ අත් දෙක තබා පපුව මත තබාගෙන ඇති ඔබගේ අත්ලට ශරීරයේ බර යෙදීම මඟින් රෝගියාගේ පපුව මැද ඇති අස්ථිය පහළට අඟල් තුනක් පමණ තද කරන්න. ඔබගේ අත්ල ඉවතට නොගෙනම රෝගියාගේ තද කරපු පපුව නැවත ඉහළට එන්නට දෙන්න.

 

නැවතත් ඒ ආකාරයට අඟල් 2ක් පමණ තද කරන්න, ඉහලට එන්නට දෙන්න. මෙම “පපුව තෙරපීම” විනාඩියට වාර 100 -120 අතර ප්‍රමාණයේ ඒ කියන්නේ තත්පරයකට දෙවරක් සිදු කරන ලෙසට දිගටම කරන්න. කරන වාර ගණන කටින් ගණන් කරන්න. 

 

වාර 30 තද කළ පසු ඒ කියන්නේ තත්පර 15 කට පසුව රෝගියාගේ මුවට මුව තබා හුස්ම පිටතට නොයන ලෙසට හුස්ම පිබින්න. මෙහිදී මුවට මුව තබා හුස්ම පිබීමේදී ඔබගේ ඇඟිලි තුඩෙන් රෝගියාගේ නාසය තද කරන්න. (Pinch the nose) මේ ආකාරයට හුස්ම දෙකක් ලබා දී, නැවතත් වාර 30ක් පපුව තද කරන්න. පටන් ගන්න.

 

මේ ආකාරයට සෑම පපුව තද කිරීම් 30කට පසුව (තත්පර 15 පමණ කාලයක්) මුවට මුව තබා හුස්ම තුනක් ලබා දෙන්න. මුවට මුව තබා හුස්ම පිඹින විට රෝගියාගේ පපුව හුස්ම ගන්නා ආකාරයට ඉහල පහල යෑමක් දැකිය යුතු වෙනවා. එසේ රෝගියාගේ පපුව පිරියන්නේ නැතිනම් මුඛය තුළට ඇඟිල්ලක් දමා කිසියම් දෙයක් සිරවී ඇත්දැයි පරීක්ෂා කළ යුතු වෙනවා.

 

මේ ආකාරයට ප්‍රථමාධාර ලබාදීම උදව් ලඟා වන තෙක් හෝ රෝගියාට සිහිය එනතෙක් හෝ ඔහු විසින් නැවත හුස්ම ගැනීමක්, දැගලීමක් ඇතිවන තෙක් කළ යුතු වෙනවා. ඒ වාගේ ප්‍රථමාධාර ලබාදෙන ඔබට අධික වෙහෙසක් දැනෙනවා නම්ද ඒ අවාසනාවන්ත රෝගියාගේ ප්‍රථමාධාර නැවතිය හැකි වෙනවා.

 

මෙහිදී සඳහන් කළ යුතු දෙයක් වන්නේ මුවට මුව තබා හුස්ම ගැනීමේදී රෝගියාගේ සෞඛ්‍යය පිළිබඳ ප්‍රශ්නයක් ඇත්නම් ලේන්සුවක් වැනි දෙයක් තබා හුස්ම පිඹීම කළ හැකි වෙනවා.

ජීවිතයක් බේරාගන්නට මේ ටික දැනගෙන ඉන්න

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page