
සර්පයෙකු විසින් දෂ්ඨ කළ සෑම විටකම අනිවාර්යෙන්ම නිවරදි ප්‍රථමාධාර ලබා දිය යුතුය. ප්‍රථමාධාර ලබා දීමේ ප්‍රධාන අරමුණු තමයි, විෂ ශරීරය පුරා පැතිරීම වැලැක් වීම. මේක බොහොම වැදගත් කාරණයක්, මොකද සර්ප දෂ්ඨනයකදී වැඩිපුර අනතුරු සිදුවෙන්නේ විෂ ශරීරය පුරා පැතිරිලා ගියොත් තමයි. ඒ වගේම දෂ්ඨ කිරීම නිසා හට ගන්නා අතුරු ආබාධ හැකිතාක් දුරට අඩු කිරීමත් මේ ප්‍රථමාධාර වල තවත් අරමුණක්. ඒ වගේම වැරදි ප්‍රථමාධාර විධි නිසා සිදුවෙලා තියෙන හානිය තවත් වැඩි වෙන්න පුලුවන් කියන එකත් මතක තියා ගන්න. ඒ නිසා අපි කවුරුත් නිවරදි ප්‍රථමාධාර විධි ගැන දැනුම් වත් වීම වඩාත් වැදගත්.
සර්පයෙක් දෂ්ඨ කළාම ඕනෑම පුද්ගලයෙක් තුළ බියක් ඇතිවීම සාමාන්‍යය දෙයක්. වැදගත් දේ තමයි ප්‍රථමාධාර ලබා දෙන පුද්ගලයා බිය නොවී ඉන්න එක. අනිත් අයත් රෝගියා බිය කරන එක නතර කළ යුතුයි. බය වුන ඕනම වෙලාවක අපේ හෘද ස්පන්දන වේගය වැඩිවෙනවා කියලා දන්නවනේ. ඉතින් හෘද ස්පන්දන වේගය වැඩි වුනාම ශරීරය තුළ රුධිර ගමනා ගමන වේගය වැඩි වෙනවා. එතකොට දෂ්ඨ කළ ස්ථානයෙන් ශරීරයට ඇතුළු වුන විෂ ශරීරය පුරා ගමන් කරන වේගය වැඩි වෙනවා. ඒ හින්දා බිය තුරන් කිරීම ප්‍රථමාධාර දීමේදී ඉතාමත් වැදගත් වෙනවා බිය නැති කිරීම. පහත දක්වා තියෙන කරුණු රෝගියාට පැහැදිලි කරලා දීමෙන් බොහෝ දුරට කරන්න පුළුවන්.
සර්පයා විෂ සහිත වුනත් බොහෝ විට ඔවුනට විෂ ශරීර ගත කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ පහර දීම නිසි පරිදි වුනේ නැත්නම් ශරීරයට නිසි විදිහට විෂ ඇතුළු වීමක් වෙන්නේ නෑ කියන එක. ඒ වගේම තමයි ඔවුන්ගේ දළ පහර වැදීම පමණක් විෂ ඇතුළු වූ බවට ස්ථිර සාක්ෂියක් නොවෙයි.
වඩා වැදගත් දේ තමයි මාරාන්තික සර්පයෙක් දෂ්ඨ කරලා විෂ ශරීර ගත වුනත් එයට සම්පූර්ණ සුවය ලබා දිය හැකි ප්‍රතිකාර ක්‍රම ලංකාවේ රෝහල් වල පවතිනවා.