top of page

දෙමව්පියෝ උදේ පාන්දරින් දරුවන් සූදානම් කරලා ඉස්කෝලෙට යවන්නේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන.

“පුතේ පරිස්සමෙන්...” කියලා කියන වාර ගණන පවා අම්මලාට මතක නැතිව ඇති. ඒ තරම්ම වචනින් ආරක්ෂාව හොයනවා.

නමුත්........

පසුගිය දවස්වල මහනුවර පේරාදෙණිය පමණක් නොවෙයි දිවයිනේ බොහොමයක් රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකකවල වගේම ශල්‍යාගාරවල පාසල් ළමුන් හදිසි අනතුරුවලින් පිරිලා ඉන්නවා දකින්න ලැබුණා.

පාසල්වලදි මොනවද සිද්ධවෙන හදිසි අනතුරු කියලා බොහොම දෙනෙකුට සිතුනත්, දැන් දැන් අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක පාසලේදී සිද්ධ විය හැකි දේ ගැන දෙමව්පියෝ ගුරුවරු හොඳින් කල්පනාවෙන් සිටිය යුතු වෙනවා.

පාසලක බාලදක්ෂ ජම්බෝරියක් අවස්ථාවකදී අඩි විස්සක ඉහළින් තැනූ අට්ටාලය හදිසියේ කඩා වැටීම නිසා එහි හුන් පාසල් දරුවෙක් බිමටම ඇද වැටුණා. ළමයාගේ තත්ත්වය බෙහෙවින්ම බරපතලව මහනුවර රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයේ ශල්‍යගාරයට ඇතුලු කළා.

ඒ වගේම ක්‍රීඩා තරගයක් අතරතුර දරුවෙකුගේ පා පහරක් තවත් දරුවෙකුගේ හිසේ වැදිලා. හිස් කබලට දරුණු ලෙස තුවාල සිද්ධ වෙලා. ඒ දරුවාත් ස්නායු ශල්‍යාගාරයේ.

මේ වගේ ශල්‍යකර්ම කියන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක්. ඒ සටනට මුහුණ දෙන්නේ, විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුයි. ශල්‍ය වෛද්‍යවරුන්ට සටනට සහාය දෙන්නේ, හෙද සොයුරියෝ, හෙදියන්, කනිෂ්ඨ කාර්යය මණ්ඩල සහායකයින් ඇතුලු පිරිසයි. මේ කණ්ඩායම ජීවිතයේ පණ නල බේරගන්න දරන වෙහෙස අප්‍රමාණයි. එහෙත්, මෙවන් අනතුරු වළක්වා ගන්න ගුරුවරු දෙමව්පියෝ වගේම දරුවනුත් කල්පනා කරලා ක්‍රියාමාර්ගයක් ගත්තා නම්, කොයිතරම් කාලෝචිත ද?

මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. ඩී.එල්. සිරිවර්ධන මහතා අදාළ ශල්‍යකර්ම සිදුකළ දරුවන් රැකගැනීම සඳහා කැප වූ අයුරු සහ මෙවන් අවස්ථාවලදී ක්‍රියාත්මක විය යුතු අන්දම පිළිබඳව, විස්තර ගෙන ආවේ මෙසේයි.

“අට්ටාලයෙන් බිමට වැටුණු දරුවාගේ වයස අවුරුදු දහ අටයි. ඔහුගේ හිසට බරපතල ලෙස තුවාල සිද්ධ වෙලා තිබුණා. ඔහුව රෝහල් ගත කරන අවස්ථාවේ ශල්‍යාගාරයේ වෙනත් ශල්‍යකර්මයක් සිදු කිරීමට සූදානම් කරලා තිබුණේ, නමුත්, මේ දරුවාගේ තත්ත්වය දුටු විට, අපි කලබල වෙලා සෙසු සියලුම වැඩකටයුතු පසෙකට දමාලා මොහුගේ ශල්‍යකර්මය ආරම්භ කළා. හිස් කබල විවෘත කරන්න නම්, අපි වෙනදා බොහොම වේලාවක් ගන්නවා. නළලේ ඉහළ කොටසේ සිට හිස වටට හිස් කබල විවෘත කරන්න නම්, කුඩා සිදුරු විද සියුම් ලෙස හිස් කබල ඇති කරනවා.

නමුත් එදා ඒ මොනවත් හිතන්න වෙලාවක් වත් තිබුණේ නැහැ. මේ ළමයාගේ නහයෙන් කටෙන් ලේ ගලනවා. හිස් කබල තුළට ලේ ගැලීම වළක්වා ගැනීම සඳහා කළ යුතු හොඳම දේ හිස්කබල විවෘත කර අමතර රුධිරය ඉවත් කිරීම නිසා අපි හැකි තරම් කඩිනමින් ශල්‍යකර්මය ආරම්භ කළා. ඇත්තෙන්ම ආශ්චර්යයක්. ශල්‍යකර්මය හොඳින්ම සාර්ථකයි.

හිසේ දණහිස වැදුන දරුවාටත් ඒ වගේ තමයි, ඒ දරුවාගේ හිස් කබල ඇතුළට තෙරපිලා දරුණු තත්ත්වයක් ඇති වෙලයි තිබුණේ. මේ වගේ අවස්ථාවක කළ යුතුම දෙය හිස් කබල තුළට රුධිරය ගලායාම වළක්වාලීමයි. ඒ සඳහා අප කඩිනමින් ශල්‍යකර්මයකට යොමු විය යුතුයි.

මේ වගේ හදිසි අනතුරකට ලක් වූ අවස්ථාවක, පාසලේ ගුරුවරු ඇතුලු විදුහල්පතිවරයාත්, දරුවනුත් බොහොම යහපත් මනසකින් කටයුතු කළ යුතුයි. කලබල නොවීම ඉතා වැදගත්. අනතුරට ලක් වූ අයව උස්සන්න හෝ පෙරලන්න එපා. අනතුර සිදු වූ ස්ථානයේ විශාල පිරිසක් ඇත්නම් ඉවත් කරන්න. රුධිර වහනයක් සිදුවන්නේ නම් හැකි තරම් ඉක්මනින්, එම ස්ථානය තදින් ගැටගසන්න.

අනතුරුව අනතුරට ලක් වූ පුද්ගලයා එම ස්ථානයේදීම කකුල් දෙක ළංව තබා එකට රෙදි කැබැල්ලක ඔතා වෑන් රථයක හෝ ලොකු වාහනයක දමා රැගෙන යා යුතුයි. කිසිම අවස්ථාවක ත්‍රීවිලයක ගුලිකර දමාගෙන එන්න එපා.

හැකි නම්, අනතුර සිදුවූ ස්ථානයේදීම අසළ ඇති දොරක් හෝ ගලවා, ඝනකම සහිත කාඩ්බෝඩ් එකක හෝ ගෙන ඒ මත රෝගියා තබාගෙන පැමිණීම වඩා උචිතයි.

එවැනි සුදුසු පරිසරයක තබා රෝගියෙකු රැගෙන ආවොත් ශල්‍යකර්මය සාර්ථකව කළ හැකියි. රෝගියා ගෙන ආවේ ග්‍රාමීය රෝහලකට හෝ වෙනත් රෝහලකට නම්, එතැන් සිට ප්‍රධාන රෝහලට රැගෙන ඒමේදී වුවද සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු කිහිපයක්ම තිබෙනවා.

අනතුරෙන් බරපතල ලෙස තුවාල ලැබු පාසල් දරුවා හෝ වෙනත් අයෙකු ප්‍රධාන රෝහලක් වෙත රැගෙන යාමේදී ගිලන් රථයේදී රෝගියාට ඇතැම් ඖෂධ ලබාදිය යුතු වෙනවා. එහෙයින් හදිසි ප්‍රතිකාර බන්දේසිය, වැඩිපුර ඔක්සිජන් සිලින්ඩරයක් සමඟ වෛද්‍යවරයෙක්, හෙදියක් සහ සෞඛ්‍ය කාර්යය සහායකවරයෙක් පැමිණිය යුතු වෙනවා.

දරුවෙකු හෝ වැඩිහිටියෙකු හෝ වුවද, උසකින් බිමට වැටුණහොත්, ඔලුවට සහ බෙල්ලට මරණීය තුවාල ඇතිවිය හැකියි. පපුව වැඳීමෙන් හෘදය වටා ලේ ගැලීමක් ඇතිවිය හැකියි.

පෙනහලුවලට වාතය පිරීමෙන් බරපතල තත්ත්වයක් ඇති විය හැකියි. මෙවන් අවස්ථාවන්ට රෝගියා මුහුණ දී ඇත්ද නැද්ද යන්න වෛද්‍යවරයා මූලික පරීක්ෂණ සියල්ල සිදු කරනවා. ස්වසන මාර්ගය ආරක්ෂා කිරීමට මූලික තැන ලබාදී අවශ්‍ය ඔක්සිජන් ලබා දීමට ද නැතිනම් කෘතිම ස්වසනය ලබා දීම ද කෙරෙනවා.

මෙවන් අවස්ථාවක් ජීවිතයක් බේරාගන්න කළ යුතු මෙහෙවර කොපමණක්ද?
නාඩි පරීක්ෂා කර රුධිර වහනයක් සිද්ධ වෙනවාද? රෝගියා කතා කරනවාද? මතකය තිබේද? ඇඟිලි අතපය වැඩ කරනවාද? මේ සියල්ල සොයා බලා ශල්‍යකර්ම වෙත යොමුවිය යුතුයි.

ජිවිතයක වටිනාකම මිල කරන්න බැහැ. මිල කළ නොහැකි ජීවිතයක් බේරාගන්න වෙලාව, ශ්‍රමය, කැපවීම, ප්‍රතිකාර සඳහා මිල ගණන් සඳහා මිල තීරණය කරන්න බැහැ. ඒ නිසාම විශේෂයෙන්ම දරුවන් අවධානම් කටයුත්තක නියැලෙන්නේ නම් පෙර සූදානම බෙහෙවින් වැදගත්. උඩකට නගිනවා නම්, වැටෙයි දෝ කියන සැකය මත බිම මෙට්ටයක් හෝ ලී කුඩු හෝ වෙනත් ආරක්ෂිත ආදේශනයක් යොදන්න. මේ කාලයේ එවැන්නක් සිදු කිරීම අපහසු නෑ. හදිසි අවස්ථාවක් ඇති වුවහොත් කියන කාරණාව සමඟ කටයුතු කරන්නට වැඩිහිටියන් සිහි තබා ගත යුතුයි.

සමන්ති වීරසේකර

උපුටනය: ආරෝග්‍යා

ඇක්සිඩන්ට් වුණ දරුවෙකුව රෝහලට රැගෙන යා යුතු අන්දම

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page