top of page

විශාදය (Depression)

විශාදය, බහුලව දක්නට ලැබෙන රෝගී තත්‍වයකි. සෑම පුද්ගලයන් 8 දෙනෙකුගෙන් එක් අයකුට ජීවිතයේ යම් අවස්ථාවකදී මේ රෝග තත්වයට මුහුණ දීමට සිදුවේ.

 

මෙය මොළයේ ඇතිවන විවිධ රසායනික ද්‍රව්‍ය වල අසමතුලිතතාවයක් නිසා හටගන්නක් වන අතර එය ප්‍රතිකාර මගින් සුව කර ගත් හැකි රෝගී තත්වයකි.

 

විශාදය ඇති වීමට හේතු-

මෙම රෝගය ඇති වීමට විවිධ හේතූන් වල එකතුවක් බලපාන බව සොයා ගෙන ඇත.

* ආවේනික ජාන සංයුතිය

* ළඟම ඥාතියකුගේ අභාවය, ධන හානිය, රැකියාව අහිමි වීම.

* ස්වාමියාගේ/පියාගේ දිගු කාලීන මත්පැන් භාවිතය හා ගෘහස්ථ හිංසනය.

* පීඩාකාරී තත්වයන්ට දිගුකාලීනව මුහුණ දීම ළමා වියේදීම මව අහිමි වීම.

* සමීප හා විශ්වාසවන්ත ඇසුරක් නොමැති වීම.

 

විශාද රෝග තත්වය නොවන අවස්ථා-

අප ආදරය කරන කෙනෙක් හෝ දෙයක් නැතිවූ විට ඕනෑම කෙනෙකුට කෙටි කාලීනව දුක්බර අවස්ථා ඇතිවිය හැක. උදාහරණ ලෙස: විභාග අසමත් වීම, මූල්‍යමය පාඩු, හිතවතකු මිය යාම, සබඳතා බිඳ වැටීම, බලාපොරොත්තු නොවූ රෝග තත්ත්ව ආදිය.මෙවැනි පීඩාකාරී තත්වයන්ට මුහුණ දීම නිසා ඇති වන දුක්බර ගතිය වුවද දිගුකාලීනව හෝ වැඩි තීව්‍රතාවයෙන් තිබුණහොත් එය විශාදය විය හැක.

 

රෝග ලක්‍ෂණ-

* නිතර කණගාටුවෙන් පසුවීම හා හිතේ පවතින කනස්සලු බව.

* ශරීර ශක්තිය අඩු බව, ශාරීරික අප්‍රාණිකත්වය හා අධික වෙහෙසකාරී බව.

* ආශාවෙන් කළ කී දේ වලින් තවදුරටත් සතුටක් විඳීමට නොහැකි වීම.

* ආහාර අරුචිය හා බර අඩු වීම.

* නින්ද අඩුකම, රැය අතරමැදදී නින්දට බාධා වීම, ඉතා අළුයම නැගිටීම, දිවා කාලයේ අධික නිදිමත බව දැනීම ආදී නින්දේ ගැටළු පැවතීම.

* සෑම දෙයක් ගැනම උවමනාවට වඩා කනස්සල්ලට පත්වීම සහ අසුභවාදී සිතුවිලි ඇතිවීම.

* අනාගතය ගැන බලාපොරොත්තු රහිත බව හා ජීවිතය හානිකර ගැනීමට සිතීම.

* අවධානය දිගටම පවත්වාගැනීමට නොහැකිවීම නිසා අමතක වීම සිදුවීම හා කාර්යක්‍ෂමතාවය අඩුවීම, එනිසා අධ්‍යාපන හා රැකියා කටයුතු අඩාල වීම.

* හැඬුම්බර වීම, නුරුස්සනා ගතිය හා අනවශ්‍ය ලෙස කේන්ති යාම.

* ලිංගික ක්‍රියාවන් ගැන වෙනදාට වඩා ආශාව අඩුවීම.* ඇඟපත දැවිල්ල හා වේදනාව, හිසරදය, බඩ දැවිල්ල ආදී ශාරීරික රෝග ලක්‍ෂණ කීපයක් එකවිට පැවතීම.

 

********************************************************************************************************************************************

ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට ඉහත රෝග ලක්‍ෂණ සති දෙකකට වඩා කාලයක් දිගින් දිගටම පවතී නම් එය විශාදය විය හැකි අතර මනෝ වෛද්‍යවරයකු ඉක්මණින් හමුවීම ඉතා වැදගත්ය. 

********************************************************************************************************************************************

 

විශාදයේ මෙම රෝග ලක්ෂණ දුටුවහොත් ඔබ කළ යුත්තේ කුමක්ද?-

* හැකි ඉක්මණින් ළඟම රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය සායනයට යොමු වන්න.

 

* එවිට වෛද්‍යවරයා ඔබගේ රෝග විස්තර ලබා ගැනීමෙන් පසුව කළ යුත්තේ කුමක්ද යන්න ඔබට පැහැදිලි කර දෙයි.

 

* විශාද තත්වය ඔබගේ දුර්වලතාවයක් නොවන අතර එම රෝග ලක්ෂණ වෛද්‍යවරයාට පවසා ඉතා ඉක්මණින් ප්‍රතිකාර ගැනීමට යොමු වීමෙන් අනවශ්‍ය විඳවීම්, පසුතැවීම් හා මානසික පීඩාකාරී තත්වයන්ට පත්වීම වළක්වා ගත හැක. එසේම ඉන් ජීවිතයක් බේරා ගැනීමටද හැකිවේ.

 

විශාදයට ප්‍රතිකාර කරන්නේ කෙසේද?-

* ඔබේ වෛද්‍යවරයා විශාදයට ඇති ප්‍රතිකාර ක්‍රම ඔබට පැහැදිලි කර දෙයි.

ඒවා නම්,

01. ඖෂධ ප්‍රතිකාර

02. මනෝ චිකිත්සක ප්‍රතිකාර

03. විද්‍යුත් කම්පන ප්‍රතිකාර (Electro Convulsive Therapy - ECT)

 

* ස්ථිරව හා සාර්ථකව සුවය ලැබීම සඳහා බහුලවම ඖෂධ ප්‍රතිකාර භාවිතා කෙරේ. අනෙක් ඖෂධ මෙන්ම මෙවයේද යම් යම් අතුරු අබාධ ඇති නමුත් ඒවා අවම වන අතර කාලයත් සමඟ කෙමෙන් අඩුවී යයි. මෙම ඖෂධ වලට කිසිදා ඇබ්බැහිවීමක් සිදු නොවේ. මෙම ඖෂධ වලට කිසිදා ඇබ්බැහිවීමක් සිදු නොවේ. මෙම ඖෂධ වෛද්‍යවරයා නිර්දේශ කරන කාලසීමාව තෙක් ලබා ගැනීම වැදගත් වන අතර හදිසියේ නතර කිරීමට ඔබ තීරණය නොකළ යුතුය.

 

* මනෝ චිකිත්සක ප්‍රතිකාර විශේෂඥ වෛද්‍ය උපදෙස් යටතේ ලබාගත යුතු වන අතර එය සුදුසු වන්නේ මඳ වශයෙන් විශාද තත්ත්වයට පත්වී ඇතිවිට පමණි.

 

* විශාද තත්ත්වය තදබල ලෙස ඇති විට විද්‍යුත් කම්පන ප්‍රතිකාර ක්‍රමය (ECT) ලබාදේ. මෙය ඉතා ආරක්ෂාකාරී හා ඉක්මන් සුවය ලබාදෙන සාර්ථක ප්‍රතිකාර ක්‍රමයකි. මෙය ලබා දෙන්නේ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු මඟින් විශේෂ පහසුකම් යටතේ පමණි. මෙම ප්‍රතිකාර ක්‍රමය රෝගියා නිර්වින්දනය කිරීමෙන් අනතුරුව පමණක් දෙනු ලැබේ.

 

ඔබ විශාදයෙන් පසුවන්නේ නම් කළ හැක්කේ කුමක්ද?-

* ඔබගේ ඖෂධ මාත්‍රාව නිවැරදිව ගන්න.

* ඔබේ හැඟීම් හා ඖෂධ පිළිබඳ ගැටළු වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

* එදිනෙදා කටයුතු වල හැකි පමණ යෙදීමට උත්සාහ ගන්න.

* පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීමට හා ශාරීරික ව්‍යායාමවල යෙදීමට හැකි පමණ උත්සාහ කරන්න.

* මත්පැන් හා මත්ද්‍රවය භාවිතයෙන් වළකින්න. ඒවා විශාද තත්ත්වය වැඩි කිරීමට හේතු වේ.

 

ඔබ විශාදය ඇති රෝගියකුගේ භාරකරු හෝ මිතුරකු නම් ඔහුට/ඇයට උදව් කළ හැක්කේ කෙසේද?-

* ජීවිතයේ ඇති වන සමහර ගැටළු හා බාධක, විශාද තත්ත්වය දිගටම තිබීමට හේතු විය හැකි නිසා එම ගැටළු තත්ව විසඳා ගැනීමට හැකි පමණ උදව් කරන්න.

* ඔහුගේ/ඇයගේ උදාසීන බව හා කළකිරීම මෙම රෝග තත්වය නිසා ඇති වන්නක් බව තේරුම් ගෙන එදිනෙදා කටයුතු කරගැනීම සඳහා ඔහුව/ඇයව කාරුණිකව උනන්දු කරවන්න.

* මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීමට උපකාර වන්න. දිගුකාලීනව විශාද තත්ත්වයට කුමක් විය හැකිද?

* නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීමෙන් විශාදයේ රෝග ලක්ෂණ කෙමෙන් පහව යන අතර සමහර විට ඉන් සම්පූර්ණයෙන්ම මිදීමට සති 4-6ක් පමණ හෝ ඊට වැඩි කාලයක් ගත විය හැකිය.

* නමුත් සුවවූ පසුවත් ඖෂධ ප්‍රතිකාර විශේෂඥ මනෝ වෛද්‍යවරයාගේ නිර්දේශ මත තවදුරටත් ගැනීම වැදගත් වේ.

* ඖෂධ නොගත් විට යථා තත්ත්වයට පත්වීමට මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් ගතවිය හැක.

 

සැකසුම:

ශ්‍රී ලංකා මනෝවෛද්‍ය සංගමය

"විජේරාම හවුස්"

නො.06, විජේරාම මාවත,

කොළඹ 07.

 

අනුග්‍රහය:

ලෝක සෞඛ්‍ය සංවිධානය,

ශ්‍රී ලංකා කාර්යාලය,

නො.226, බෞද්ධාලෝක මාවත,

කොළඹ 07.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page