top of page

ඩිමෙන්ෂියාව (Dementia)

ඩිමෙන්ෂියාව යනු:-

විවිධ හේතූන් නිසා මොළයේ ස්නායු සෛල ක්‍රම ක්‍රමයෙන් මිය යාමෙන් ඇති වන රෝග තත්වයකි. මෙය අවුරුදු 65 ට වඩා වයසින් වැඩි අය අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන නමුත් මෙම රෝග තත්ත්වය සාමාන්‍ය වයසට යාමේ ප්‍රතිඵලයක් නොවේ. ඩිමෙන්ෂියාවේ ප්‍රතිඵලයක් ලෙස අමතක වීම ඇතුළු මොළයේ ක්‍රියාකාරිත්වයේ දුබලතා ඇතිවේ. අවසානයේ පුද්ගලයාගේ පෞරුෂය මුළුමනින්ම වෙනස්වනු දක්නට ඇත. ඇතැම් හේතූන් නිසා ඇති වන ඩිමෙන්ෂියාව නැවත යථා තත්ත්වයට පත් කළ හැකි වුවත් බොහෝ අවස්ථා වලදී කළ හැක්කේ රෝග ලක්ෂණ පාලනය කිරීම පමණි.

 

රෝග ලක්ෂණ:-

01. එදිනෙදා කටයුතු නිතර අමතක වීම.

* තමාගේ බඩුබාහිරාදිය තැබූ තැන අමතක වීම නිසා අන් අය ඒවා නැති කළා යයි පැවසීම.

* රැකියාවේ හා අනෙකුත් ගෙදර දොර කටයුතු වලදී අමතකවීම් නිසා අඩුපාඩු සිදුවීම.

* මෑතකදී සිදුවූ දේ හා තමන් ආහාර ගත්තාද යන්න පවා අමතක විය හැක.

* උග්‍ර අවස්ථාවලදී තමන්ගේ සහකරු,දරුවන් පවා හඳුනා ගැනීමට නොහැකිවීම මෙන්ම තමාගේ නම පවා අමතක විය හැක.

 

02. හැසිරීමේ වෙනස්කම් ඇතිවීම.

* නින්දයාම් අඩු වීම.

* අරමුණක් නොමැතිව තැන තැන ඇවිදීම.

* කෙන්ත්යාම හා කලබලකාරී බව.

* අනවශ්‍ය ලෙස කෑගැසීම, හැඩීම හා වැළපීම.

* ලිංගික හැසිරීමේ වෙනස්කම්.

 

03. අහේතුක සැක (Delusions) හා භිය පළ කිරීම. අසාමාන්‍ය සංවේදන (Hallucinations) දැනීම. මේ නිසා පවුලේ අය, නෑදෑයින් හෝ අසල්වාසීන් අනවශ්‍ය ලෙස සැක කිරීමට පටන් ගැනීම.

 

04. විශාදි රෝග ලක්ෂණ පහළ වීම.

 

05. මල-මුත්‍රා පිට වීම පාලනය කරගත නොහැකි වීම.

 

06. නව පරිසරයකට හැඩ ගැසීමේ හැකියාව අඩු වීම.

 

07. අදහස් ප්‍රකාශ කිරීමේ අපහසුතා ඇති වීම.

 

ඔබ කල යුත්තේ කුමක්ද? 

*  ඩිමෙන්ෂියා රෝගය ඇති කරන සමහර හේතුකාරක ප්‍රතිකාර මගින් නිවැරදි කරගත හැකි බැවින් ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්ය. තවද, ප්‍රතිකාර මගින් රෝග ලක්ෂණ පාලනය කරගත් හැක.

 

* මූලික පරීක්‍ෂණ සමහරක් යෝජනා කරන වෛද්‍යවරයා අදාළ නිගමන වලට අනුකූලව ප්‍රතිකාර නියම කිරීම සිදුකරයි. වෛද්‍ය උපදෙස් අනුව රෝගියා රැකබලා ගැනීම හා ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වේ.

 

රෝගියාට ඇති වන ආසාදන රෝග අවස්ථා, වේදනාකාරී තත්ත්ව, අක්ෂි හා ශ්‍රවණ ආබාධ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම වැදගත් වේ.ඩිමෙන්ෂියා රෝගයෙන් පෙලෙන්නන් රැකබලා ගැනීමේ කාර්යභාරය මූලිකවම රැකබලා ගන්නන් අත පැවරේ.

 

ඒවා සමහරක් නම්,

01. රෝගියා හට නැවත නැවත දින වකවානු හා පසුගිය දේවල් සරලව මතක් කර දීම.

02. දින චර්යාව, පරිසරය හා ක්‍රියාකාරකම් පිළිබඳව නිරන්තරයෙන් තේරුම් කිරීම.

03. ජීවත්වන පරිසරය පිළිබඳ නිසි අවබෝධයක් ලබාදීම මගින් නිවස තුළ හා අවට මඟ සොයා ගැනීමට පහසු වේ.

04. රෝගියාට සුපුරුදු පරිසරයක ජීවත්වීමට ඉඩ සැලසීම, වටපිටාව නිතර වෙනස් නොකිරීම හා නව පරිසරයකට රැගෙන යාමෙන් වැළකීම. එවන් නව අවස්ථා වලදී භීතියට පත්වී කලහකාරී වීමටද මඟ පෑදේ.

05. නිතරම දොරවල් සහ ගේට්ටු වසා තැබීම මගින් රෝගියා අනාරක්ෂිතව නිවසින් බැහැරවීම වළකාගත හැක.

06. ස්නානය, වසිකිලියාම, ඇඳුම් ඇඳීම, ආහාර ගැනීම ආදී ක්‍රියාවන් සඳහා ඔබගේ සහය රෝගියාට අවශ්‍ය වේ.

07. රෝගියාගේ පෝෂණය පිළිබඳව නිසි අවධානය යොමු කිරීම. එසේ නොවූ විට විජලනය, මන්දපෝෂණය ආදී තත්ත්ව ඇතිවිය හැක.

08. රෝගියා අනවශ්‍ය ලෙස පීඩනයට පත්වන සමාජයික හා නීතිමට වගකීම් වලින් නිදහස් කිරීම අත්‍යාවශ්‍ය වේ. දේපල පිළිබඳ නීතිමය භාරකාරත්වය සම්බන්ධයෙන් තීරණ ගැනීමද මෙහිදී වැදගත් වේ.

 

*********************************************************************************************************************************************

ඩිමෙන්ෂියා රෝගී තත්වයට තුඩුදෙන සමහර හේතු සඳහා ප්‍රතිකාර ඇති බැවින් මෙම රෝග ලක්ෂණ දුටු විට හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් වේ.

*********************************************************************************************************************************************

 

සැකසුම:

ශ්‍රී ලංකා මනෝවෛද්‍ය සංගමය

"විජේරාම හවුස්"

නො.06, විජේරාම මාවත,

කොළඹ 07.

 

අනුග්‍රහය:

ලෝක සෞඛ්‍ය සංවිධානය,

ශ්‍රී ලංකා කාර්යාලය,

නො.226, බෞද්ධාලෝක මාවත,

කොළඹ 07.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page